SciTech Publishing Corporation (Pvt) Ltd.
Exploration

දුම්බර 1- පුංචි ලෝකාන්තයෙන් පහළට

දුම්බර 1- පුංචි ලෝකාන්තයෙන් පහළට

 

 
පුංචි ලෝකාන්තය

එක් පසෙක අහස එළිය වන්නේ, මෙදෙස නැගෙනහිර යැයි කියන්නාක් මෙනි. මා මුහුන ලා සිටින්නේ ද එදෙස ය. කුරුලු කූජනය එන්න එන්නම තීව්ර වේ. හිරු උදාවට තවත් කල් වේලා ඇත. නින්දෙන් අවදි වූ මා වාහනයේ ද්වාරය හැර බිමට බැස ගත්තේ අඩ අඳුරේ ම ය. එළිය එන්න එන්නම වැඩි වූයෙන් මේ නම් හිරු උදාවමැයි මට සක් සුදක් සේ පැහැදිලි ය. උදාසන එළිය වන්නේ හිරු උදාවන දෙසිනැයි අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් පෙර දා රැයේ සිට මෙහි සිටින අපට විපිළිසර බවක් ඇති වූයේ, මුළු රෑ පුරාවට ම අහසේ එක් පසක් අඳුරින් බර වුවත් අන් පස මන්දාලෝකයක් දිස් වූ බැවිනි. වලාකුළුබර රැයක දී වලා රැඳි දෙස අඳුරු වීම සාමාන්‍ය දෙයකි. එහෙත් එය නොවෙනස්ව පවතින්නක් නොවේ. වලාකුළු විසිර යන විට අහසේ අඳුර ආලෝකය ද වෙනස් වේ. මුළු රෑ පුරාම එක් පසක් අඳුරින් වැසී යෑමටත් අනෙක් පස මන්දාලෝකයක් පැවැතීමටත් හේතුව කිම? දුම්බෑම ය. දැන් අප සිටින්නේ දුම්බර වන පෙතේ එක් පසෙක ය. දුම්බර වන පෙත තෙත් කලාපයේ සිට වියළි කලාපය දක්වාම විහි දී යන්නේ, පොළොවේ, තුරුලතාදියේ පමණක් නොව අහසේ ද වෙනසක් ඇති කරලිමිනි. නිරතුරු මීදුමෙන් වැසී යන්නේ තෙත් වනය දෙසින් වූ දුම්බර මිටියාවත ය. අහස ආලෝකවත්ව පවතින්නේ වියළි කලාපය දෙසිනි.

අප මේ පය ගසා සිටින්නේ පිටවල පතන වන බිමහි ය. මාතලේ, රත්තොට හරහා රිවර්ස්ටන් පසුකරමින් මෙහි පැමිණීම පහසු ය. රිවර්ස්ටන් යනු බොහෝ දෙස් සැරිසරුවෝ ඇදී එන තැනකි. මේ සොඳුරු බිම ඇත්තේ ඉන් මදක් ඔබ්බෙනි. පිටවල පතන වන මධ්‍යස්ථානය වෙත තවමත් කිසිවකුත් පැමිණ නැත. කැලයට ඇතුළු වීම සඳහා සුළු මුදලක් ගෙවීමෙන් මෙහි අවසර පතක් ලබා ගත යුතු ය. “කවුරුහරි ටිකට් කවුන්ටර් එකට එනකන් මේ හරියෙ අපි පොඩ්ඩක් ඇවිදිමු” දැයි තනුර යෝජනා කළෙන් මා ද ඊට කැමති වූයේ, නැතහොත් පළමු හිරු කිරණ පොළොවට වැටෙන මොහොතේ දක්නට ලැබෙන සොඳුරු දසුන අපෙන් ගිලිහෙතැයි සිතූ නිසාවෙනි. පතන් බිමේ ඉහළට වන මගක් සලකුණු කොට ඇත. ඒ පුංචි ලෝකාන්තය වෙතට ය. අපි එදෙසට පියමං කළෙමු. තණ බිමේ තැන තැන මතුව ඇති කුඩා ගල් කැබලි මත කහ පැහැ තීන්ත ආලේප කොට වන මග සලකුණු  කර ඇත්තේ ඕනෑම සැරියෙකුට මග නොවැරැ දී යා හැකි විලස ය. ඒ ඔස්සේ අප ඉහළට ඇදුනා නොව, ගසාගෙන ගියේ යැයි කිවහොත් වඩා නිවැරැදි ය. මන්ද, එපමණට ම මෙහි සුළං රැලි සැඩපරුෂ ය. එක් තැනෙක සිටගෙන සිටීම පවා අසීරු ය. වරෙක ගිලිහී ගිය මගේ හිස්වැසුම මීටර් සියයක් පමණ එපිටින් පිහිටි පඳුරක නො රැඳුනේ නම්, එය අල්ලනවා බොරු ය. වහා එය ඩැහැ ගත් මා තනුරගේ මල්ලේ එබීමි. මෙසේ දැඩි සුළං හමා එන්නේ මෝසම් කාලයට ය. සැඩ සුළ‍‍ඟේ  අතොරක් නැති පීඩාව විඳ ගැනීමට මෙහි ඇති තුරුලතා හැඩගැසී ඇති සැටියෙකි. දැඩි සුළඟ පොළොව පිස යන තැනෙක දැකිය හැක්කේ පොළොවට ම ඇලුණු තණ පලස පමණි. භූ විෂමතාව අනුව තැන්නේ තැන තැන විසිරී ඇති පඳුරුවල උස් මිටි බව වෙනස් වේ. තරමක් හෝ උසට වැඩී ඇත්තේ සුළං‍ඟේ පීඩාව මදක් අඩුවෙන් දැනුණු තැන්හි පිහිටි තුරුහිස් පමණි. සුළඟ හමා එන්නේ අප පිටුපසිනි. වෙහෙසක් නැතුව ම අපි ඉදිරියට ඇදුනෙමු. මග වම් දෙසට හැරේ. දෙපස දක්නට ලැබෙන්නේ නො උස් ශුෂ්ක පඳුරු ය. අප සුළඟට මදක් මුවා වූවා සේ ය. එහෙත් ඉදිරියෙන් ඇසෙන්නේ මහත් ඝෝෂාවකි. කන්දේ අද්දරක් දිස් වූයේන් අපි පය ඉක්මන් කළෙමු. අහා! මේ නම් පුංචි ලෝකාන්තයක් ම නොවේ දැයි මට සිතිනි. කන්දේ අද්දරින් හෙළට විහිදුණු ගල් කුළු මතට අප පා තබා ගියේ ඉමහත් වෑයමකිනි. ඒ අන්කිසිවක් නිසා නොව හෙළේ මුවවිටෙන් ඇදී එන දැඩි සුළං පහර නිසාවෙනි. අවදානමක් ගෙන හෝ අද්දරේ ම පිහිටි ගල්පොත්ත උඩට යෑමට මට අවැසි වූයේ ජායාරූප ගැනීම සඳහා ය.

හෙළ පහළ වනයෙන් වැසී ඇත. එහෙත් වන මැද හෙළි පෙහෙළි වූ තණබිම් කිහිපයක් දිස් වේ. කලෙකින් වගා නොකළ කුඹුරු සේ ය ඒවා දිස් වන්නේ. එය නිම්නයක් වැන්න. ඉන් ඔබ්බේ දිස් වන්නේ උස් කඳු වලල්ලකි. ඈත කඳු වලල්ල මොහොතකින් වැසී යයි. ඒ ඉහළ සිට පහළට බානා මීදුම නිසාවෙනි. එවැනි මීදුම් වලාවක් නිම්නය සිසාරා පැතිරීමට වැඩි වේලාවක් නොයේ. දැන් හිරිපොද වැස්සක් සේ අප ගත දැවටෙන්නේ ඒ මීදුම ය. ඊළඟ මොහොතේ එය පහව ගොස් නැවත කඳු වලල්ල දිස් වේ. මීදුම් වලාවෝ ගෙනෙන මේ උද්වේගකර රංගනය නිසා හිරු කිරණට පොළොව සිප ගැනීමේ ඉඩක් නොලැබෙන තරමි.

නැගී සිටි අපි වන මගේ ඉතිරි කොටසට පිවිසියෙමු. මග වැටී ඇත්තේ උස්ව වැඩුණු තුරු ගොමුවක් මැදිනි. ඒ හරහා කිසිදු අපහසුවකින් තොරව ගමන් කළ හැකි වූයේ යටිරෝපණයක් නැති තරම් වූ බැවිනි. තැන තැන දුටු අලි බෙටි කියාපාන්නේ මේ පෙදෙසේ ද අලියා කරක්ගසනා බව ය. මීටර සියයක් දෙසීයක් යෑමට මත්තෙන් නැවතත් පිළිපන්නේ තැන්නට ය. එහි තැන තැන පඳුරුවල අලංකෘත මල් පිපී ඇත. හිරිපොද වැස්සක් ගත දැවටේ. සලකුණු කර ඇති මග දිගේ පහළට එන අපට පොළෙවේ තැන තැන මතුව, පුළුල් ලෙස පැතිරී ගිය ගල් තලා කිහිපයක් ම දිස් වේ. වැසි වැටෙන කාලයේ ඒ මතින් දිය ගලා ගිය සලකුණු මොනොවට දැකි ය හැකි ය. එහෙත් දැන් ඒ ගල් තලාව ම වියළි ය. වරින් වර හමා යන හිරිපොදයෙන් ඉසෙන පැන් බිඳකින් පමණි දැන් එයට ජීවයක් ලැබෙන්නේ. මෙහි වෙසෙන උභයජීවීන් මෙකල දිවිසරි කර ගන්නේ කෙසේ දැයි විමතියකි. ගල් තලාවේ සෑම තැනෙකම පාහේ ගැලවී විසිරී ගිය ගල් පතුරු දැක ගත හැකි ය. ඒවා යට යම් පමණෙක තෙතමනයක් රැ‍‍ඳෙන්නේ රෑ කාලයේ මීදුමෙන් ලැබෙන ජලයෙන් විය යුතු ය. මැඩියන් ඈ කුඩා සතුනට වියළි කාලයේ විසිය හැකි පරිසරයක් එහි සැකසෙන්නේ එලෙසිනි.

වන මග රවුම් වී පැමිණෙන්නේ පිවිසි ඉසව්වට ම ය. එය කිලෝමීටරයකට මදක් වැඩි නොවේ. අපි ප්‍රවේශපත් කවුළුව වෙත පිය නැගුවෙමු. “මහත්තයල උදෙන්ම ඇවිල්ල. මම හතයි කාලෙ බස් එකේ තමයි මෙතෙන්ට එන්නෙ.” සිනාමුසු වතින් අප පිළිගත් ලොකුබණ්ඩා මහතා පැවසී ය. මෙම වන මධ්‍යස්ථානයේ අද දවසේ රාජකාරියේ යෙදෙන්නා ඔහු ය. “අද ටිකට්ස් නම් ඉවරයි. මම රිසිට් එකක් දෙන්නම්” හෙතෙම පැවසී ය. අපි මුදල් ගෙවා ලදුපතක් ලබා ගතිමු. එහි සඳහන් වූයේ ‘දුම්බර සුරකින්නෝ සංවිධානය – පිටවල’ යනුවෙනි. එක් අයකුට ගාස්තුව බදු සමග රුපියල් විසි අටකි. මේ ආදායමෙන් කොටසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය. අනෙක් කොටස දුම්බර සුරකින්නෝ සංවිධානයට ය. සේවක පඩි නඩි, මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු ආදිය සිදු කෙරෙන්නේ සංචාරකයන්ගෙන් ලැබෙන ඒ සුළු මුදලෙනි. “මෙතැනට ගොඩක් සෙනග එනවද” මම විමසීමි.  “දේශීය සංචාරකයො ගොඩක් එන්නෙ රිවර්ස්ටර්න්වලට විතරයි. ඊට වඩා සුන්දර පරිසරයක්, බලන්න තැන් මේ අතළඟ ම තියනව කියල ඒ අය දන්නේ නෑ. තවත් හේතුවක් තමයි, වැඩි දෙනා විනෝදචාරිකා එන්නෙ බස්වලනෙ. ඒවයෙ රියැදුරු මහත්තුරු රිවස්ටර්න්වලින් මෙපිටට එන්න හොරයි. එතන වෙළඳන් කරන කට්ටියත් කොහොම හරි බලන්නෙ සෙනග එතන රඳව ගන්න.” හෙතෙම පැවසූයේ නෝක්කාඩුවක ස්වරයෙනි.

පිටවල පතන බෙහෙවින් ම සොඳුරු ඉසව්වකි. කුඩා දරුවන්ට පවා පහසුවෙන් ගමන් කළ හැකි සොබා වන මං තීරයකි මෙහි ඇත්තේ. දැන් අපට අවැසිව ඇත්තේ ඒ ලෙහෙසි පහසු වන මගෙන් ඔබ්බේ වූ කටුක වන මං සොයා යෑමට ය. පුංචි ලෝකාන්තයට පහළින් පෙනෙන නිම්නය වෙත පියමං කළ හැක්කේ නම් මැනවැයි, අප සිතැඟි ‍ලොකුබණ්ඩා මහතාට පැවසුවෙමු. “ලෝකාන්තෙ අයිනෙන් පහළට බහින්න පුළුවන්. ඒත් ඒක අමාරු අවදානම් වැඩක්” තනුර මද සිනාවක් පෑයේ ‘ඉතිං අපිටත් ඕන ඒක තමයි” කියන්නාක් මෙනි. එම වන මධ්‍යස්ථානයේ සංචාරකයන් සඳහා වැසිකිලි, තුරුලතාතුර සුවපහසුව හිඳ ආහාර ගැනීමට මනාව සැකසූ ආසනාදී පහසුකම් ඇත. උදය ආහාරය පි‍ළියෙල කර ගැනීමට අපට වැඩි වේලාවක් ගත වූයේ නැත. ක්ෂණිකව සකසාගත් අහරින් කොටසක් අපි‍ ලොකුබණ්ඩා මහතාට ද පිළිගැන්වුවෙමු. ඔහු ගෙදරින් ගෙන ආ බත්පතෙන් කොටසක් ද අපට දීමට නොමසුරු විය. එය අපට වටනේ සංචාරය අතරතුර දිනගණනාවක් යන තුරු ම බත් බුදීමට ලැබෙන්නේ කලාතුරකින් බැවිනි. පොළොස් මාළුවක් හා හාල්මැස්සන් හොද්දක් සමග කැකුළු හාලේ බත ඉතා රසවත් ය.

පුංචිලෝකාන්තයෙන් පහළ බැසීමට අප පිටත් වූයේ ලොකුබණ්ඩා මහතාගේ මග විස්තරය ද මතකයේ රඳවා ගනිමිනි. “ඔය හෙළෙන් එහාපැත්තෙ කැලේ එක පවුලක් ජීවත් වෙනවා. ඒ අය මේ මංඩියට එනයන අඩිපාරක් හෙළ අයිනෙන් තියෙනවා” අප ගියේ ඒ අඩිපාර සොයමිනි. පයට පෑගීමෙන් පෑදුණු මග වැටි තිබුණේ ඉතා අවදානම්, දැඩි බෑවුමක් ඔස්සේ ය. අපි පරෙස්සමෙන් පහළට බැස්සෙමු. වන චාරිකාවක නියැලෙන අපට එය එතරම් දුෂ්කර කාරියක් සේ  නොපෙනුනත් එදිනෙදා අවැසිතාවන් සඳහා අයෙකු මේ මග ගමන් ගන්නේ නම්, එය විස්මය දනවන්නකි. “ලෝකාන්තයෙන් පහළ අපේ වන පැළ වගාවක් හමු වේවි.”  අප දැන් සිටින්නේ එහි ය. ගැටලුව ඇත්තේ වන වගා කොට ඇති ඉසව්වේ ඇත්තේ එක් අඩි පාරක් පමණක් නොවේ. එක් එක් දෙසට ගමන් කළ මං සලකුණු එහි ඇත. අප ගත යුත්තේ කුමන මග ද? එක් වරම වැස්සක් ඇද හැලේ! මෙහි උස්ගස් නොවූයෙන් වැස්සෙන් මුවා වූයේ පඳුරක පිහිටෙනි. මෙහි වසින්නේ ‘දුවන වැහි’ ය. ඊළඟ මිනිත්තුවේ වැස්ස හමාර ය. දැන් අප පිවිසෙන්නේ යටිරෝපයණය අඩු තරමක් උස් ගස් සහිත වන බිමකට ය. එහි මිනිසුන් ගමන් ගත්තේ යැයි සිතිය හැකි මගක් ඔස්සේ ඉදිරියට ඇදුනෙමු. වැඩි දුරක් යෑමට මත්තෙන් අප පිළිපන්නේ පුළුල් මගකට ය. එය වාහන යා හැකි පුළුල් මාවතකි. එහෙත් දශක ගනණාවකින් එහි එවැන්නක් ගමන් ගත් බවට සලකුණක් නොමැත්තේ, මුළු මාවතම වල් බිහි වී කුඩා අඩිපාරක් පමණක් ඉතිරිව ඇති හෙයිනි. මේ මාවත කුමක් ද? අපි ඒ ඔස්සේ කුතුහලයෙන් යුතුව ඉදිරියට ඇදුනෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *