SciTech Publishing Corporation (Pvt) Ltd.
Nature

හෝටන් තැන්න 1 – මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ…

 
මංගල ඇඳුමින් තැන්නට යනු බෑ නංගෝ

හෝර්ටන් තැන්න වෙත ළඟා වන විට රෑ බෝ වී තිබිණි. වනෝද්‍යානයේ කඳවුරු බිමක් අප වෙනුවෙන් වෙන් කර තිබුණත්, සවස හතරට පෙර ඒ වෙත ළඟා විය යුතු වූයෙන් දැන් වනෝද්‍යානය තුළට යා නොහැකි ය. නවාතැනක රැය පහන් කිරීමට ද කිසිවකු ගේ මනාපයක් නැති සේ ය. හිමිදිරියේ ම වනෝද්‍යානයට ඇතුළු විය යුතු ය. එබැවින් මොටෝරිය තුළ ම මේ පැය කිහිපය ගෙවා දැමීම යෙහෙකැයි සැවොම සිතූයෙන්, සුවපහසු ලෙස ආසන සකසාගෙන නින්දට සැරසුනෙමු. තනුරටත් මටත් මින් පෙර මෙවැනි අත්දැකීමක් ඇත. ඒ සමනොළ ගිර තරණයට ගිය විටෙක නල්ලතන්නියේ දී ය. එදින ද අප රැය පහන් කළේ මෙලෙස ය. පිටත උෂ්ණත්වය සෙල්සියස් දහයක් දොළහක් තරම් අඩු අගයකි. එබැවින්, කවුළු වසා ඇති විටෙක පවා, මොටෝ රිය තුළ එතරම් උණුසුමක් නො දැනේ.  මැස්සෙකුටවත් රිංගා යා නොහැකි තරමේ විවරයක් සෑදෙන සේ ෂටරය විවර කර තැබූයේ වා සංසරණය හොඳින් සිදු වීම පිණිස ය. එපමණක් නොව, උණුසුම යාමනය කිරීමට ද ඉන් පිටිවහලක් ලැබිණි.

 
හිමිදිරියේ තණ පිටියේ

අරුණාලෝකයට පෙර අපි අවදි වීමු. මුහුනකට දොවාගෙන දැන් ලක ලෑස්ති විය යුතු ය. සියල්ලන්ට කලියෙන් මම දොර හැර බැහැරට ගියේ, අන් අය සූදානම් වන අතරේ සේයාරුවක් දෙකක් ‘තලා ගැනීමට’ හැකි වෙතැයි සිතමිනි. රිය තුළ උණුසුම වියැකී ගියෙන් දැඩි සීතෙන් සියොලඟ සලිත වේ. සැනෙකින් ඊට හුරු වුණෙමි. වටින් ගොඩින් එළිය වන විට වනෝද්‍යානය තුළට පැමිණෙන වාහන එක දෙක සමීපයේ නවතාලූයෙන් අපි ද දනි පනි ගා පිටත්වන්නට සැරසුනෙමු. හිමිදිරියේ පැමිණෙන සියල්ලෝ ම පාහේ විදේශිකයෝ වෙති. මෙහි සොඳුරු දසුන් දැක ගැනීමට නම් හිමිදිරියේ යෑම ණුවනට හුරු ය.

 
මහ මග අයිනේ ගුලි වූ හා පැංචා

හෝටර්න් තැන්න වනෝද්‍යානයේ කඳවුරු බිම වෙන්කර ගත යුත්තේ, වනජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයෙනි. අපි අවසරපත් පෙන්වා රථගාල වෙත රිය පදවාගෙන ගියෙමු. ව‍නෝද්‍යානය තුළට පොලිතීන් ඇසුරුම් රැගෙන යෑම තහනම් ය. එබැවින් එවැනි දෑ ඉවත් කොට අපේ අඩුවැඩිය මළුවල හා පෙට්ටිවල අසුරා ගතිමු. සියලු සැරියන්ගේ ගමන්මලු හාරාඅවුස්සා බැලීමෙන් අනතුරුව ය, වනෝද්‍යානයට ඇතුළු කෙරෙන්නේ. අපේ වාරය එන තුරු දැන් පෝලිමේ ය. ගේට්ටුවේ සිට රථගාල දෙසට කඩිමුඩියේ දිව යන විදෙස් යුවලකි. අරුමයිකි! ඔවුන් සැරසී සිටින්නේ මංගල ඇඳුමෙනි. විළුඹ දක්වාම දිග් වූ සිය ගවොම එක් අතෙකින් ඔසවා ගනිමින්, උස් අඩි පාවහන් යුවල අනෙක් අතේ දරා ගනිමින්, බොරළු ඇනෙන පය අපහසුවෙන් හසුරුවා ගනිමිනි ඇය ගමන් කළේ.

 
කඳවුරු බිමට ලඟාවෙමින්

අපේ ගමන් මළු පරීක්ෂා කෙරෙන අතර තුර දී ඒ විදෙස් යුවල ආපසු එනු පෙනිණි. එහෙත්, මංගල ඇඳුම් වෙනුවට ඔවුහු සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටිය හ. “වී ආ වෙරි සොරි මැඩම්..” ඇය අප පසු කර යත්ම වනජීවී නියාමකයකු පවසනු ඇසිනි. සිද්ධිය කුමක් දැයි විපරම් කර බැලූයේ තනුර ය. “ඒ ගොල්ල ඇවිත් තියෙන්නෙ වෙඩින් ෂූට් එකක් කරන්න. එහෙම දේවලට මේක ඇතුළෙ අවසර නෑ කියල එයාලගේ ගයිඩ් කියල නැහැ.” “ඒ මදිවට ඒ ගයිඩ් ගේට්ටුවෙ ඉන්න අයත් එක්ක තර්ක කරන්නත් එනව ඇයි අවසර දෙන්න බැරි කියල”

මංගල යුවල මෙන්ම ඔවුන් සමග පැමිණි පිරිස ද ඡායාරූප ගැනීම පසෙක ලා, වනෝද්‍යානයේ සොබා සිරි නරඹනු අපට ටික වේලාවකින් දැක ගත හැකි විය. ගේට්ටුවේ සිට කඳවුරු බිමට වැඩි දුරක් නැත. අප එහි ළඟා වන විට හොඳින් හිරු නැගී තිබිණි. පළමුව කළේ කූඩාරම් සකසා ගැනීම ය. මමත් තනුරත් කූඩාරම් ඇටවීමට යුහුසුළු වූයෙන් ජෙහාන් අපට උදව් කළේ ය. ඒ අතරතුර උදෑසන ආහාරය සඳහා මරේස් තේ පිළියෙල කළා ය.

 
කඳවුරු බිම අසල ජල තලය

හොර්ටන් තැන්නේ කඳවුරු බිම් තුනක් ඇත. ඒ සියල්ල පිහිටා ඇත්තේ මනරම් නිම්නයක් මැදින් ගලා බසින බෙලිහුල් ඔයේ ඉහැත්තෑව අසබඩ ය. ඉහළින් ම පිහිටියේ පළමු වැනි කඳවුරු බිම ය. දෙවැන්න ඊට පහළින් ද තෙවැන්න ඊටත් පහළින් ද පිහිටා ඇත. පළමු වැනි කඳවුරු බිම වෙන්කර ගන්නට අප වාසනාවත්ත වීමු. එහි පිහිටීම වඩාත්ම මා සිත් ගත්තේ, අන් සියල්ලෙන් වෙන්ව හුදෙකලාව පැවති බැවිනි. ඒ හුදෙකලාවට අපුලක් එක් කළේ කපුටන් දෙදෙනෙකි. අප එහි ගොස් මිනිත්තු කිහිපයක් ගත වන්නට මත්තෙන් කපුටෙක් පියඹා විත්, අසල වූ මහරත්මල් ගසක අත්තේ වැසුවේ ය. ඉන් පසුව තවත් එකෙකු දක්නට ලැබිණි. ම‍ගේ මතකය දශකයකට එහා ඇදී යයි. “ඒ කාලෙ බේතකටවත් කපුටෙක් හොයා ගන්න බෑ” මම සෙස්සන් හා පැවසීමි. ඉදින් තවත් වෙනසක් සිදුව ඇත. එකල දැන් මෙන් කඳවුරු බිමේ වැසිකිලියක් හෝ කසල බඳුනක් තිබුණේ නැත. වැසිකිලියක් හා කසල බඳුනක් පැවතීම මෙහි කඳවුරුලන්නන්ට මහත් වූ පහසුවකි. එහෙත් විය යුත්තේ කසල නිසි ලෙස බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට වගබලා ගැනීම ය.

 
මහ රත්මල්

කූඩාරම් අටවා, අප රැගෙන ආ අඩුවැඩිය සියල්ල ඒ තුළට ඇතුළු කර වසා දැමුවේ, හැකි ඉක්මනින් අපේ පා ගමන සඳහා පිටත් වීමට ය. ඊට පෙර හොඳින් කුස් පුරවා රස තේ කෝප්පයක පහස විඳින්නට ද අමතක නොකළෙමු. මෙහි සාදන තේ කෝප්පයේ රසයේ වෙනසක් ඇත් දැයි කුකුසකි. එසේ වීමට එක් හේතුවක් විය හැක්කේ මෙහි වතුර නටන උෂ්ණත්වය වෙනස් වීම ය. අප සිටින්නේ මුහුදු මට්ටමේ සිට සෑහෙන උසකිනි. වඩා ඉහළට යන්නට යන්නට වායුගෝලයේ පීඩනය ද අවම වේ. ඒ අනුව වතුර නටන උෂ්ණත්වය ද වෙනස් වේ. මුහුදු මට්ටමේ වතුර නැටවීමට සෙල්සියස් අංශක සියයක් දක්වා රත් කළ යුතු වුව ද ඊට වඩා බොහෝ අඩු උෂ්ණත්වයක දී මෙහි දී වතුර පැසවිය හැකි ය. එ‍තෙකුදු නොව ‘තරු පෙනෙන්නේ’ අල තැම්බීමට ගිය විට දී ය. පීඩනය අඩු බැවින් යමක් තම්බා ගැනීමට නම් වැඩි වේලාවක් ඉවසා වැදෑරීමට සිදු වේ.

 
බෙලිහුල් ඔය ඉහැත්තෑවෙන් එගොඩ වෙමින්

අද දිනයේ දී කිරිගල්පොත්ත කඳු මුදුන වෙත ගොස් පැමිණීම අපගේ අරමුණ ය. කඳවුරු බිමෙන් පිටත් වෙත්දී ඉර මුදුන් වීමටත් ආසන්නව තිබිණි. හිමිදිරියේ හාත්පස පැතිර තිබූ මීදුම උදෑසන හිරු කිරණින් වියැකී ගියෙන් අවට පරිසරය පහැදිලි ය. එහෙත් අහස නම් එතරම් පැහැදිලි නොවන්නේ, කඩින් කඩ වලාවෙන් වැසී යන්නේ ය. සවස් කල නම් වැසි වැටේ යැයි නිසැක ය. එහෙත් දිවා කල හෝ වැසි නොවැටුණ හොත් අපට ඉමහත් පහසුවකි. කිරිගල්පොත්ත වෙත දිවෙන පැහැදිලි පියමගක් ඇත. අපි ඒ ඔස්සේ පය ඉක්මන් කොට ගියේ නමුදු, මදක් සුනංගු වූයේ සේයාරූ සටහන් කර ගැනීමේ දී ය. මා පමා වී පිටුපසින් ගමන් කරත්දී, තනුර, ජෙහාන් හා මරේස් බොහෝ  දුර ගොස් ය. විටෙක ඔවුන් මා එනතුරු නැවතී සිටී. තනුර කෑ ගසන්නේ , “ඉක්මනට එන්න… මෙන්න මෙතැන මිනී ඔළුවක්!”

 
කඳවුරු බිම ඈතට දිස් වන අයුරු. ඈතින් පෙනෙන්නේ කිරිගල්පොත්ත කඳු මුදුන ය

ඊළඟ කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *