SciTech Publishing Corporation (Pvt) Ltd.
Exploration

රක්වාන තරණ-1 බෝටියතැන්නෙන් හඳපාන්ඇල්ලට..

රක්වාන තරණ-1 බෝටියතැන්නෙන් හඳපාන්ඇල්ලට..

 
බෝටියතැන්නේ සිට හඳපාන්ඇල්ල තැන්නේ මුදුන දක්වා ගොස් නැවත පැමිණි ගමන් මග
 
මොනවහරි කාල ඉමු ද?…
 
පහේ කණුව දෙනගම මහතාගේ කඩය

ගමන පටන් ගන්න කලින් මොනවහරි කාල ඉමු ද? “හ්ම්ම්…” මම මුවින් නොබැන පිට රැඳි බර පොදිය සැහැල්ලු කළෙමි. අසල තරමක ගල්කුළකි. ඒ මත එය තැබීම පහසුවක් පමණක් නොව කූඩැල්ලන් මගහැරීමට ද මනා ය. “ගමන පටන්ගන්නත් කලිං කන්න….”  මා ගමන් සගයා කෙරේ නුරුස්නා හැඟීමක් ජනිත වුව ද එසැනින් එය ලොප් වූයේ හිමිදිරියේ පටන් මේ වන තුරුම අප කිසිවක් සප්පායම් නො වූයේ ‍නොවෙදැයි සිහි වීමෙනි. “චීස් සමග බිස්කට්?” මා ඊට ප්‍රතිචාරයක් දෙන්නටත් කලින් බිස්කට් පැකැට්ටුවක් කඩා හෙතෙම මා වෙත පෑවේ ය.  මම එකක් ගෙන හපමින් ජීපීඑස් උපකරණය ක්‍රියාත්මක කළෙමි. චන්ද්‍රිකා සංඥා ආධාරයෙන් අප සිටින තැන පිහිටීමත්, උසත් එහි සටහන් වේ. “මෙතැන මාර්ක් එකක් දාගෙන ම යමු” මම කීවෙමි. රශ්මි එය සටහන් කර ගත්තේ ය‍.

 
රක්වාන නගරයට ඉහළින් සඳ මෝදු වෙමින්…

අප දැන් සිටින්නේ රක්වාන කඳු අභිමුවේ ය. එතැනට හොඳින් හිරු එළිය පතිත වුව ද ඝන මිහිදුම් පටලයකින් කඳුකරය වැසී ඇත. රකවාන කඳු යැයි පවසන කල බොහෝ දෙනාට සිහි වන්නේ සූරියකන්ද, බුලුතොට ඔබ්බේ දිස් වන තුමුල කඳු පෙත ය. එහෙත් අප සිටින්නේ ඊට ඉඳුරා අන් පස ය. එනම් කලවාන රක්වාන මගෙහි බෝටියතැන්න ලෙස හැඳින්වෙන පෙදෙසේ ය. මෙම පිවිසුම වනයට ඉතාම සමීප ය. එහෙත් අප යා යුත්තේ ඉතා සීග්‍ර බෑවුම් සහිත මගෙක බැවින් එය ඉතා දුෂ්කර වන බැව් නම් නො කිය මනා ය. වනයට මෙපිටින් ඇත්තේ තේ මංඩියකි. ඒ මැදින් යා යුතු යැයි අපි සිතුවෙන්,  තේ පඳුරු අතරින් ඉහළට ඇදුනෙමු. තේ පඳුරු සිටුවා ඇත්තේ සමෝච්ච පේළි ලෙසිනි. දළු නෙලන්නියන් ගමන් කරන්නේ ඒ පේළි ඔස්සේ ය. එය අපහසු නොවූවත් තේ මංඩියක් හරහා යෑම එක්තරා භාධක දිවීමකි. “මේ පැත්තෙන් එන්ඩ….” කිසිවෙක් හඩගෑවේ අපගේ ඒ දුෂ්කර ව්‍යායාමය දෙස ඇස ගසාගෙන සිටීමෙන් විය යුතු ය.

 
නවාතැන්පොළ

“හඳපාන් ඇල්ලට යනව නම් මෙන්න මේ පැත්තෙන් උඩහට ගිහිං කැලේට යන්න.” සරත් මහතා පැවසී ය. ඔහු ඒ වත්තේ අයිතිකරු ය. “හැබැයි බලාගෙන යන්නෙ නිතරම මේ මංඩියෙ අලි ගැවසෙනවා” අප යන්නේ හඳපාන්ඇල්ලට නොව, කඳු මුදුනේ ඇති තැන්නට බව පැවසූ විට තවත් උපදෙස් හා තොරතුරු පැවසීමට හෙතෙම යුහුසුළු විය. “උඩ තැන්නෙ දිවිය ඉන්නවා. ඉඳහිට ගමටත් එනවා.” දිවියා ගම් වදිනු දැක ඇත් දැයි මා විමසූ විට ඔහු කීවේ, ගමේ බලු පැටව් ඈ සතුන් ඩැහැගත් අවස්ථා එමට බව ය.

අහස් කුස මැවෙන විසිතුරු රටා..
 
රක්වාන කඳු පාරට දිස් වන හැටි
 
රඹුක පාසලේ විජේවර්ධන ගුරුතුමා
 
කේ. ඒ. සෝමතිලක ගොවිමහතා

ඔහු කී පරිදි කානුව දිගේ ඉහළට ගිය ද මද දුරක් යද්දී මං සලකුණක් නොවූයෙන් විපිළිසර වීමු. “මෙතැනින් උඩහට යන්න…” එවිට අපට මං කියාදුන්නේ දළු නෙලන්නියකි. අපි වන මායිමට සේන්දු වීමු. කැලයට ඇතුළු වූ සලකුණු සහිත මංපෙත් එකක් නොව කිහිපයක් ම විය. එක් මගක් ඔස්සේ අප ගමන් ගතිමු. වැඩි දුරක් යෑමට මත්තෙන් ම ඒ මග සලකුණු අතුරුදන් විය. ඒවා දර කැපීමට හෝ වෙනත් කාරියක් සඳහා ගමේ මිනිසුන් කැලෑ වැදීමෙන් තැලී පොඩි වී ගිය මං පෙත් බව අවබෝධ වීමට අපට වැඩි වේලාවක් ගියේ නැත. එවැනි මගක් වැඩි ඈතකට දිවෙන්නේ නොවේ. දැන් කුමක් කරමු ද? අප අරමුණ වන්නේ වන මැදින් රක්වාන කඳු මත්තේ ඇති තැන්නට ලඟා වීම ය. එයට අඩිපාරක් හෝ ඇතැයි සිතිය නොහේ. නොතැලුණු වන මැදින් මංපෙතක් පාදා ගත යුතු ය. යා යුතු ඉසව්ව අනුමානයෙන් අපි ඉදිරියට ඇදුනෙමු. කුඩා ගස් වැල් කැපූ ලකුණු හමු වේ. “මේක අඩිපාරක් වෙන්න ඕන… පිහියකින් කපපු පාරක්නෙ මේ තියෙන්නෙ” පැළෑටියක් හෝ වැලක් තියුණු පිහිපහරකින් කපා දමා තිබෙනු දුටු අවස්ථාවක රශ්මි පවසයි. එවැනි මගක් ඔස්සේ ඉදිරියට ඇදුනෙමු. වැඩි දුර නො ගොස් ම මං සලකුණු අතුරුදන් වේ. නැවතත් මිනිසකු ගමන් කළ බවට සලකුණක් හෝ නැති වනයයි. ආපසු හැරීමක් නම් නැත. අප ඉදිරියටම ඇදෙමු. නැවතත් පිහිපහරින් කැලැල් වූ ගස් වැල් දැකි ය හැකි ය. මේවා වන මං නොවේ. කිසියම් කටයුත්තකට වනයට ඇතුළු වූවන් විසින් තැන තැන ඇති කළ සලකුණු ය. මෙවැනි සලකුණු හඹා යෑම නුවණට හුරු ‍නොවේ. කූඩැල්ලෝ එකා දෙන්නා එල්ලෙති. උන් ගලවා දැමීමට වේලාවක් නැත. එල්ලෙන විටම නියගින් පහරක් ගැසීමෙන් පහසුවෙන් උන් ගලවා දැමිය හැකි ය. ඒ ඉඳහිට එකෙක් දෙන්නෙක් එල්ලෙන්නේ නම් පමණි. රශ්මිට නම් එසේ කිරීමේ හුරුවක් නැත. ඔහු එල්ලෙන කූඩැල්ලා ගලවා දැමීමට ලබන ඉසිඹුවෙන් තවත් ‍දෙදෙනෙක් පමණ ඇඟට ගොඩ වේ. ටික වේලාවක් යන විට මා අනුකරණය කරමින් ඔහු ද, කූඩැල්ලන් ගණනකට නොගෙන වේගයෙන් ගමන් කරන්නට පුරුදු විය. උන්ගෙන් වන හානිය අවම කර ගත හැක්කේ එලෙස ය.

 
රඹුක සිට බෝටියතැන්න දක්වා…
 
ඩී.එම්. කේ. මුදියන්සේ ගොවිමහතා

දැන් අපගේ ඉදිරි මග නිශ්චය කර ගත යුතු ය. ඇතැම් තැනෙක නැගිය නොහැකි තරමේ ගිරි දුර්ගයකි. එවැන්නක් මගහැර මග පාදා ගත යුතු ය. සමොච්ච රේඛා සහිත සිතියමක් වැදගත් වන්නේ එවිට ය. අපි ඒ සඳහා වෙසෙසින් ම සිතියම් රැගෙන ආවෙමු. “රශ්මි මට සිතියම දෙන්න” කූඩැල්ලන්ගෙන් මිදෙනු වස් කුඩා ගල්කුලක් උඩට නැග ගනිමින් මම විමසීමි. ඔහු මුව අයා මා දෙස බලන්නේ, “හුටා… සිතියම් බටේ කාර් එකේනෙ” යැයි පැවසූයේ අසරණ විලසිනි. දැන් කුමක් කරමු ද? මම නො බිණීමි. විපාකය දෙදෙනාට ම එකසේ විඳීමට සිදුවනු ඇත. තත්කාලීන පිහිටීම, උස, සටහන් කර ගැනීමටත් යන මග සිතියම්ගත කර ගැනීමටත් ජීපීඑස් උපකරණයක් අප සතු වුවත් යා යුතු මග නිර්ණය කිරීම සඳහා සිතියම මහෝපකාරී වේ. දැන් ඒ ගැන සිතීමෙන් ඵලක් නැත. පහසුම විකල්පය වන්නේ දොළ පහරක් ඔස්සේ ඉහළ නැගීම ය. ගමන් දිශාව වෙනස් කරමින් සමෝච්ච ලෙසින් දකුණට ගමන් කළේ, දියපහරක ලකුණු එදෙසින් දිස් වූ හෙයිනි. එහෙත් එය එතරම් පහසු නොවූයේ ඇතැම් තැනෙක කටුකොහොලින් ද, නෙරාගිය ගල්කුළුවලින් ද මග ඇහැරී තිබූ බැවිනි. එහෙත් අප නොවේ පසුබට වූයේ. විඩාව අඩුවක් නොවුවද දිය දහරක් දකිනු රිසියෙන් වේගවත් වීමු.

කුළෙන් කුළේ ජලය වැදී බි‍ඳෙන හඬක් ඇසේ. මටත් වඩා වේගවත් වූයේ රශ්මිය. අහා! කටු වැල්, ගල් මුල් සහිත යටිරෝපනය අතරින් රිංගා ආ අපට එය සොඳුරු දසුනක් ම විය. ‘ඉක්මන් කොටයි’ කියන්නාක් මෙන් රශ්මි ‘දබොක්’ යන අනුකරණයෙන් දොළ මගේ ඇද වැටුණේ ය. මම එතැනට ලඟා වීමටත් පෙර දනිපනි ගා නැගී ගත් හේ ගල් කුලක් මතට නැගී හති හලන්නට වූවේ ය. මම ද සියලු බර උනා දමා ගල් තලයක් මත වැතිරුනෙමි.

 
බෝටියතැන්න පහේ කණුව අසල..

අප මෙම ගමනට ලක ලෑස්ති වූයේ දින ගණනාවක සිට ය. මුල දී තිදෙනෙකු දායක වීමට සැලසුම් කළත් අවසන දී එය දෙදෙනකුට සීමා විය. මේ පිළිබඳ අදහස මා මිතුරු සිසිල්ට පැවසූයේ, මේ පෙදෙස ගැන පසුබිම් තොරතුරු බිඳක් විපරම් කිරීමේ අරමුණෙනි. “ආ… මම මුලින් ම ඉගැන්නුවෙ ඔයපැත්තෙ ඉස්කෝලෙක” ඒ මින් දශක දෙකකටත් පෙරාතුව ය. දැන් ඔහු මා හා එකම කාර්යාලයයේ සේවය කරන මධ්‍යවේදියෙකි. “පොඩ්ඩක් ඉන්නකො..” සිය දුරකථනයේ අංක එබූ හෙතෙම ටික වේලාවක් කිසිවෙකු හා සංවාදයේ යෙදිනි. “විජේ ඔක්කොම සෙට් කරල දෙයි. රඹුක ඉස්කෝලෙට ගිහිං එයා හමුවෙන්න” හෙතෙම පැවසී ය.

 
සරත් මහතාගේ බංගලාවට ඉහළින්…
 
දොළමගේ මද විරාමයක්

රඹුක යනු ඉතා දීර්ග ඉතිහාසයක් ඇති ගම්පියසකි. රජකාලයේ රජවාසල වෙත රඹකැන් හෙවත් කෙසෙල් සැපයූ ගම රඹුක වූයේ යැයි පැවසේ. එය පිහිටියේ කලවාන සිට රක්වානට දිවෙන මගෙහි ය. එහෙත් එකල එහෙමටයි කියා මගක් තිබුණේ නැත. තිබු‍ණේ අඩිපාරක් පමණි. “සුද්දන්ගෙ කාලෙ ඩීප්ඩීන් වත්තෙ ඉඳල රක්වානට පාර තිබුණ.” රඹුක ගමේ වැඩිහිටියෙකු වන මුදියන්සේ මමා සිය මතකය අවදි කරන්නේ ය. “ඒ කාලෙ ගෙරිකටු පෝර ගේන්න මිනිස්සු රක්වානට යනවා. ඩීප්ඩීන් වත්තට වෙනකන් පයින් යන්නෙ. රක්වානෙ ඉඳල එතැනට පොඩි ලොරියක පෝර ගේනවා” දැනට සිව්සැත්තෑ වියේ පසුවන හෙතෙම මේ පවසන්නේ මතක ඇති කාලයේ සිදු වූ දෑ ය. “ඒ කාලෙ එච්චර මුදල් භාවිතයක් තිබ්බෙ නෑ. මිනිස්සු බවබෝග දීල තමයි හිලව්වට ගෙරිකටු ගෙනාවෙ.”

රඹුක ගමේ සිට ඩීප්ඩීන් වත්ත දක්වා පාර ඉදි වූ අයුරු ද අපූරු ය. “එක්දාස්නවසිය පනස් ගණන්වල දී රඹුක ඉස්කොලෙ හිටිය අප්පුහාමි මහත්තය කියල විදුහල්පති කෙනෙක්. එයයි, ඉන්පස්සෙ ධර්මදාස කියල ඉංගිරිසි ගුරුතුමෙකුත් මුල් වෙලා මිනිස්සුන්ව එකතුකරගෙන ශ්‍රමදානයකින් තමයි මේ පාර හැදුවෙ.” ඒ රඹුක විද්‍යාලයයේ ආදිසිසුවකු වන දැනට හැට වැනි වියේ පසුවන සෝමතිලක මහතා ය.

 
දැන් අපි යමුද?…

මා උත්සුක වන්නේ රක්වාන වනපෙත ගැන, රක්වාන කඳු ගැන වැඩි දුර යමක් දැන ගැනීමට ය. “ඒ පැත්තෙ මැණික් ගරන්න මේ පැත්තෙනුත් මිනිස්සු ගියා. ඇහැලේපොළ දිසාවෙ පවා ඔය හඳපාන් ඇල්ල ඉහළ මැණික් ගරල තියෙනව කියල කතාවකුත් තියෙනවා‍” මා සිතැඟි තේරුම් ගත්තාක් මෙන් සුනිල් මහතා පවසන්නේ ය. ඔහු අරුක්ගොඩ පත්තිනි දේවාලයේ කපු මහතා ය. “ඔය කන්දෙ ඉහළ පළතුරු උයනක් එහෙමත් තියෙනවලු. කාල ආවත් කිසිම පළතුරක් අරං එන්න බැයිලු” වන ගත කඳු අරභයා මෙවැනි කතා පොදු ය. අරුමය වන්නේ මෙවැනි කතා කියන ගම්මුන් කිසිවෙකුත් එවැනි කඳු ශිකර තරණය කර නොමැති වීම ය.

රඹුක සිට ඩීප්ඩීන් වතුයාය දක්වා දැන් ගම්මාන රැසක් ම පසු කර යා යුතු ය. එහි ජනයාගේ ප්‍රමුඛත ම ආදායම් මගක් වී ඇත්තේ තේ වගාව ය. වතුයාය පිහිටියේ මුහුදු මට්ටමේ සිට මීටර් හත් අටසියයක් ඉහළිනි. මෙම මගෙහි ඉහළින් ම පිහිටන්නේ බෝටියතැන්නයි. මේ ඉසව්වේ අලංකාර මලින් සැරසුණු බෝවිටියා ගස් සුලබ ය. මෙනමින් නම් තැබෙන්නට ඇත්තේ ද එනිසා විය හැකි ය. අප වනපෙතට පිවිසිය යුත්තේ මේ ඉසව්වෙන් වුවත්, අද මෙහි නැවතීමට නොහැකි ය. නවාතැන්පොළක් සොයා යන්නේ රක්වාන දෙසට ය.

නවාතැන්පොළේ පසෙකින් වූ පිළ, අවට සිරි විඳීමට අපූරු ය. එහි දකුණු පසින් දිස් වන්නේ රක්වාන කඳු වැටියයි. ඉදිරියේ පහළින් රක්වාන නගරය දිස් වේ. ඉන් ඔබ්බේ සමනොළ කඳු පෙළ ය. මහා වෘක්ෂයක් පුරා වසාගත් කණාමැදිරි එළි රාත්‍රියේ නිවි නිවී දැල්වෙන්නේ යම් සේද, මා දෑස ඉදිරියේ රක්වාන නගරය ද එසේ ම ය. නෙක නෙක පාටින් විදිලි පුංජ බැබලේ. එලෙස වැඩි වෙලාවක් ගත වූයේ නැත. අහස ක්‍රමයෙන් ආලෝකවත් විය. කන්ද කපා සඳ පායා එයි. වඩාත් චමත්කාර දසුන වනුයේ නෙක හැඩයෙන් යුත් වලා කැටි තුළ සඳවතිය සැඟව එබී බැලීම ය. සඳ වඩා ඉහළ‍ට නැගෙත්ම වලාවෙන් මුළු අහසම වැසී ගියේ ය. මම නින්දට ගියෙමි.

තවමත් අලුයම පහමාර පසු වී නැත. නැගෙනහිර අහස රත් පැහැයෙන් දිලේ. මෙතරම් කලියෙන් හිරු නැගේ ද? සැබැවි! ඒ අරුණාලෝකයයි. සමොනළ ගිරි මුදුනේ දුටු ඉර සේවය මෙහි දී ද දැක ගත හැකි වෙද? අඩහෝරා අඩක් රැඟුම් පෑ හිරු කුමරිය අවසානයේ සිය සළු උනා හිනැහුණා ය.

“හ්ම්ම්…” අතීතාවර්ජනයෙන් මා පියවියට පැමිණියේ ගලෙන් ගලට ඇදහැලෙන දිය දහරෙන් බිඳක් වත මත පතිත වීමෙනි. දියපහරේ වේගය උස්පහත් වේ. වේගවත් වූ විටෙකය එලෙස දිය බිඳිති විසිරී ගියේ. රශ්මි දුරකථනය පිරික්සයි. ඉන්වත් සිතියම බලාගත හැකි දැයි ඔහු උත්සාහ කරනවා විය යුතු ය. එහෙත් එය නිශ්ඵල ව්‍යායාමයකි. මන්ද තවත් මොහොතකින් දුරකථනයේ සංඥා අවහිර වූ විට ඉන් ඵලක් නොලැබෙන බැවිනි.  “දැන් අපි යමු ද?” මම නැගී සිටියෙමි. නැවතත් පිට මත බර පොදිය පැටවිණි. එක් අස්වැසිල්ලක් වූයේ හිසේ, කරේ පැටැලෙන්නට දොළ පහරට ඉහළින් කටුවැල් නොතිබීම ය. එහෙත් වරෙක එක එල්ලේ ඉහළට විහිදෙන දොළපාරෙන් ඉහළ නැගීම ලෙහෙසි පහසු කාරියක් නම් නොවේ. මම ඉස්සර වීමි. මා ලිස්සා ගියහොත්, පය රැඳුණු ගලක් ගිලිහී ගියහොත් පහළින් සිටින අනෙකා ඉන් ගැලවිය යුතු ය. එබැවින් ඔහු පැමිණියේ මදක් පිටුපසිනි.

දොළ පාරේ ගොජ ගොජ නද පරයා කැලේ බි‍‍ඳෙන හඬකි. රශ්මි මුවින් නොබැන මා දෙස බලා සන් කළේ ය. ශබ්දය නැවතුනේ ය. නැවතත් පෙරට වඩා වේගකින් එය අප දෙසට ඇදේ. එය මිනිසකුගේ නම් විය නොහැක. එසේ නම්…?

ඊළඟ කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *