SciTech Publishing Corporation (Pvt) Ltd.
Exploration

සිංහරාජය හරහා දින ගණනක ගමනක්

දිය දහර ඇදහැලෙන ස්ථානයේ පුළුල් ලෙස විහිදුනු ජල තාටාකයකි. එහි කාලවර්ණ පැහැය නිසාවෙන් එය ඉතා ගැඹුරු බව පැහැදිලිය. ඝන හිරු රැස් දහරාවක් ජල තලය මත වැටී තිබුණ ද, අඩි කිහිපයකට වඩා ගැඹුරට කිසිවක් නොපෙනේ. දිය මතට පැන සිත් සේ කිමිදෙන්නට මා සිත පොපියමින් ඇත. එහෙත් ඒ සඳහා ඇල්ලෙන් පහළට බැසිය යුතු ය. එය එතරම් අමාරු කාරියක් නොවන බව පෙනී යන්නේ දැනටමත් අපේ එකෙකු දැදහැලෙන දිය කඳට දකුණු පසින් ඇති ගල්තලාව ඔස්සේ පහළට රූටමින් සිටින නිසාවෙනි. මම ද යුහුසුළුව ඒ මග ගතිමි. ගල් තලාවේ බෑවුම ඉතාමත් දැඩි වුව ද, දෙපා දෑත්වලින් හොඳ ග්‍රහණයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් කුඩා සිදුරු ඒ මත වූයෙන් ශරීර කූඩුව වාරු කර ගනිමින් පහළට රූටා යෑම එතරම් අපහසු වූයේ නැත. ජල තටාකටයට අඩි කිහිපයක් දක්වා සමීප වන විට මට තවත් නම් ඉවසා සිටින්නට සිත් නොවූයෙන්, දිය මතට පත බෑ වුනෙමි. ඊය විද්දා සේ මා ජල තාටාකයේ ගැඹුරට ඇදී ගියේ ය. තත්ත්පර ප්‍රමාණය මතක නැත. තවත් නිමේෂයකින් මා ජලතලයෙන් මතු වුනෙමි. දැන් එගොඩට පිහිනා යා යුතු ය. අඩි හැට හැත්තෑවක් පිහිනීමෙන් පසු එගොඩ ගල් තලාව මතට ගොඩ වීමට හැකි වූයෙමි. ඒ වන විටත් මට පෙර පැමිණි ගයාන් ගල් තලාව මත ගිමන් හරිමින් සිටියේ ය. අනෙක් දෙදෙනා තවමත් ඇල්ල මුදුනේ ය. මම ඇල්ලට පහළින් ගල් තලාව මත සුමට ලෙස නිර්මාණය වූ ජල බිලයක් තුළට වැදී උඩු බැලි අතට දිගෑදුනෙමි. මා ඉහළින් ඇත්තේ නිල්වන් අහසය. මේ පෙදෙසේ ගඟ ඉතා පුළුල් වූයෙන් ඉවුරු පිහිටියේ ඉතා ඈතිනි. එබැවින් තුරුලතාවන්ගෙන් තොර නිල්වන් අහස මොනවට දිස් වේ. දැඩි හිරු රැස් පතිතව තිබුණ ද ගතට දැනෙන්නේ සිහිල් ගතියකි. දිය දහරේ ඝෝෂාව නිසාවෙන් අවට වෙනත් කිසිදු ශබ්දයක් නෑසෙන තරම් ය. එහෙත් මේ ඝෝෂාව කන්කලු ය. නගරයේ දී නිරන්තරයෙන් ඇසෙන කටෝර ඝෝසාව වෙනුවට මෙවන් මිහිරි ඝෝසාවක් අසා සිටීම කෙරම් ප්‍රියජනක ද? තැන්පත් වූ මා ‍අපේ ගමනාරම්භය ගැන සිහිපත් කළෙමි.

සිංහරාජ වනාන්තරය හරහා යැවෙන මේ පා ගමන පිළිබඳ යෝජනා කළේ විදෙස් රටක ජීවත් වන මා මිතුරු ගයාන් ය. කිහිප වතාවක්ම ඔහු සිංහරාජ වනාන්තරය වෙත පැමිණ තිබුණ ද, එය තරණය කරමින් එක් පසෙක සිට අනෙක් පස දක්වා පා ‍ගමනේ යෙදීමට ඔහු තුළ වූයේ පුදුම දොලදුකකි. ගිය වසරේ ලංකාවට පැමිණි අවස්ථාවක මේ අදහස පැවසූ වේලේ පටන්, වරින් වර මා අමතමින් එය මතක්කරන්ට තරම් ඔහුගේ උනන්දුව දැඩි විය. මෙවර ඔහු පැමිණියේ ගමන සඳහා අවැසි උපකරණ උපාංග ද සමඟිනි. අප සැලසුම් කළේ, ‘කුකුළා අතේ අරගෙන’ කොළඹින් පිටත් වීමට ය. එහෙත් සුපුරුදු පරිදි පාන්දරින් කෙසේ වෙතත් උදේ දහයයි තිහ පමණ වන විට මතුගම හරහා කලවානට ළඟාවීමට අපට හැකි විය. ඇතැම් අඩුම කුඩුම කිහිපයක් කලවාන නගරයෙන් මිල දී ගැනීමට අපට සිදු විය. එදා කලවානේ පොළ දවසකි. බස්නැවතුමේ මෙන්ම කුඩා කඩබක්කියක පවා අතුරු සිදුරු නැතුව සෙනග ය. ඒ නිසා මිල දී ගැනීමේ කටයුතු වෙනුවෙන් සැහෙන වේලාවක් මිඩංගු කිරීමට සිදු වූ නමුත් කෙසේ හෝ මද්දහන වීමට මත්තෙන් වැද්දාගල දක්වා යන බසයකට ගොඩවීමට අපට හැකි විය. සිංහරාජ වනයේ ප්‍රධාන පිවිසුම වන කුඩව දක්වා ධාවනය කෙරෙන බසයක් තිබුණ ද, මීට මොහොතකට පෙර එය පිටත්ව ගොසිනි. නැවත බසයක් පැමිණීමට තවත් හෝරාවකට අධික කාලයක් ගතවනු ඇතැයි බස් නැවතුමේ කෙනෙකු අප හා පැවසූයෙන් වැද්දාගලට ගොස් කුඩව දක්වා පාදයාත්‍රාවේ හෝ වෙනත් ක්‍රමයකින් ගමන් කිරීමට අපි තීරණය කළෙමු. දැන් කුඩව දක්වා මාර්ගය තාර දමා පිළිසකර කර ඇති නිසාවෙන් ත්‍රීරෝද රථයක වුව නැගි යා හැකි ය. වැද්දාගල හන්දියේ තිබුණු ත්‍රීරෝද රථයකට අපි ගොඩ වුණෙමු. එය ඒ පරිසරයට ම ගැලපෙන ඩීසල් වර්ගයේ ලොකු රථයකි. අප සිව් දෙනා සමඟින් දැවැන්ත ගමන්මලු ගොන්න ද පටවා කිසිදු අපහසුවකින් තොරව එහි ගමන්ගත හැකි විය. අප කුඩව වන කාර්යාලය අසලින් බැසගන්නා විට ඉර අවරට ද හැරී තිබිණි.
අද වනය තුළට පිවිසීම කළ නොහැක්කකි. ඒ සඳහා දැන් කාලවේලාව මදි ය. එබැවින් අපි පළමු දවස කුඩව ගමමානය අවට ගත කිරීමට තීරණය කළෙමු. ඒ සියල්ලට කලින් අප අපගේ මිතුරා හමු විය යුතු ය. තණ්ඩුල නම් ඔහු සිංහරාජ වනයේ ප්‍රවීණත ම මගපෙන්වන්නෙකි. අප එනතුරු ‍පොරොත්තුවෙන් සිටි ඔහු ටික වේලාවකට මත්තෙන් වෙනත් කාරියක් සඳහා පිටව ගොස් තිබිණි. අපගේ පිහිටට පැමිණියේ ගුණරත්න ය. ඔහු ද කුඩව වන කාර්යාලයට අනුයුක්ත මගපෙන්වන්නෙකි. තණ්ඩුල පැමිණෙන තුරු වන කාර්යාලය තුළ ගිමන් හැරීමට සලස්වාදුන් ඔහු කුඩව අවට සංචාරය කළ හැකි ස්ථාන පිළිබඳව අප දැනුම්වත් කළේ ය.
සිංහරාජ වනාන්තරය සදාහරත නිවර්ථන වැසි වනාන්තරයකි. මීට වසර සියයකට දෙසීයකට ඉහත දී නිවර්ථන වැසි වනාන්තර එක දිගට විහිදුනු තීරුවක් සේ ලෝකයේ නිවර්තන කලාපය හරහා විහිදී තිබිණි. එය ඇමේසන්, අප්‍රිකාව හා ඈත පෙ‍රදිග ලෙස ප්‍රධාන කොටස් තුනකින් යුක්ත විය. එහෙත් දැන් මෙම නිවර්තන වැසි වනාන්තරවලින් බොහෝමයක් වියැකී ගොස් ය. කඩින් කඩ ඉතිරි වූ වනාන්තර රැසක් නිවර්තන කලාපය තුළ ඉතිරි වී පවතී. ඒ අතරින් ඈත පෙරදිග වන කාණ්ඩයට අයත් සිංහරාජ වනාන්තරයට සුවිශේෂි තැනක් හිමි වේ. ඒ, ඊට ම ආවේණික වූ ලක්ෂණ මෙහි දැකි ය හැකි නිසාවෙනි. ඉතා ඈත අතීතයේ ශ්‍රී ලංකාවට අයත් භූමිභාගය පිහිටියේ ගොඩ්වානාලන්තය ලෙස හැඳින්වූ කොටසේ ය. මීට වසර මිලියන 140කට පමණ පෙර යුගයේ දී එය කැබැලි වීමට පටන් ගත් අතර ඉන්දියාව හා ලංකාව අයත් වූ ඩෙකෑන් තැටිය නම් වූ ‍කොටස මීට වසර මිලියන 60කට පමණ ඉහත දී සමකය දෙසට ඇදී ගොස් උතුරු දෙසින් පිහිටි ලොරේෂියාව නම් වූ කොටසේ ගැටුණේ ය. ඒ අනුව එහි පැවැතියේ සමක දේශගුණික තත්ත්වයකි. මීට වසර මිලියන 20කට පමණ ඉහත දී ඉන්දියාව හා ලංකාව අතර වූ ගොඩබිම් තීරුව මුහුදින් යට වූ අතර ලංකාව දූපතක් ලෙස වෙන් විය. මේ හේතුව නිසාවෙන් සිංහරාජයෙහි දක්නට ලැබෙන තුරුලතා හා සතා සීපාවන් ගොඩ්වානාලන්තයේ හා ඩෙකෑන් තැටියේ තුරුලතා හා සතාසීපාන්ට සමිප බවක් දක්වයි. එහෙත් ඉන් ඇතැම් කොටසක් නොවෙනස්ව පැවතෙන්නට ඇති බව විශ්වාස කළ හැකි වුවත් මේ සා විශාල අතීතයක ඇවෑමෙන් මේ සත්ත්ව හා ශාකවලින් කොටසක් අලුත් විශේෂ ලෙස වර්ධනය වන්නට ඇතැයි ද සිතිය හැකි ය. එබැවින් ජීවවිද්‍යාත්මකව ගත් කල සිංහරාජය ඉතාමත් සුවිශේෂී වනාන්තරයකි.
තණ්ඩුල තවමත් පැමිණියේ නැත. එබැවින් ගුණරත්නගෙන් මග අසා ගනිමින් අපි කුඩව අවට සැරිසැරීමට තීරණය කළෙමු. කුඩව වන කාර්යාලය පසු කරමින් ඉදිරියට යන විට පාරේ වම්පස දිස්වන්නේ කුඩව පාසලයි. දකුණුපසින් කුඩා කෙලිපිටියක් හා කඩමංඩියක් ද ඇත. ප්‍රදේශවාසීන් මෙන්ම සිංහරාජය නැරඹීමට පැමිණෙන්නන් ද සිය අඩු වැඩිය මිල දී ගන්නේ මේ කඩමංඩියෙනි. ඒ පසුකර ඉදිරියට ඇ‍දෙන විට හමුවන්නේ පාලමකි. ඉන් වමට හා දකුණට දිවෙන මං දෙකකි. වම් පස මාර්ගය සිංහරාජ වනයට ය. අප දැන් යන්නේ දුහුවිලි ඇල්ල නැරඹීට ය. ඒ සඳහා දකුණු මගෙහි ගමන් කරන ලෙස ගුණරත්නගේ උපදෙස් ලැබිණි. එම මග දෙපස කුඩව ගම්මානයේ නිවාස පිහිටා ඇත. තවත් දුරක් යන විට එක් පසෙක කැලෑ කැපීමෙන් අනතුරුව සිටුවන ලද ෆයින් වගාවක් ද අනෙක් පස තේ වගාවන් ද දක්නට ලැබේ.
වැඩිවෙන ජනගහනය නිසා කැලෑ එළිපෙහෙළි වීම නිරන්තරයෙන් සිදු විය. තවමත් සිදු වේ. අතීතයේ දි ලංකාවේ වෙරළබඩ පෙදෙස් හැරුණ කල මුළු නිරිතදිග කලාපයම ජනාවාසවලින් තොර විය. එහෙත් දහඅටවැනි සිය වසේ පටන් මෙරටේ වැඩිම ජනගහනයක් ඇති කලාපය බවට පත්ව ඇත්තේ නිරිතදිග තෙත් කලාපය ය. දැනට ලංකාවේ මිනිස් ක්‍රියාකාරීත්වයට භාජනය නොවූ වැසි වනාන්තර ඇත්තේ භූමි ප්‍රමාණයෙන් සියයට එකහමාරකටත් වඩා අඩුවෙනි. මේවා ‍බොහෝමයක් රක්ෂිත ප්‍රදේශවලට සීමා වී තිබේ. මොරපිටිය, රූණකන්ද, දෙල්ගොඩ හා පනගල රක්ෂිතයන් ද ඇතුළුව මුඵ සිංහරාජ වන සංකීර්ණය ම හෙක්ටයාර් හතලිස් හත් දහසක් පමණ වේ. මෙය තෙත් කලාපීය වන ආවරණයෙන් සියයට හතලිස් තුනකි.
මීට දශක තුන හතරකට ඉහත දී තුනී ලෑලි වෙනුවෙන් සිංහරාජ වන්නාත්තර‍ය වැනසීම මහාපරිමාණයෙන් සිදු වූ අතර පසුව මහත් විරෝධතා මැද එය හකුලා ගැනීමට සිදු විය. සිංහරාජය 1978 ව‍සරේ දී යුනෙස්කෝව විසින් මානව හා ජෛවගෝල රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. විද්‍යාඥයන්ගේත්, ර‍ජයේ හා ජනතාවගේත් අවධානය මේ වනාන්තරය වෙත යොමු වීම ඇරඹුණේ ඉන් අනතුරුව ය. 1988 දී සොබාදහම පිළිබඳ ලෝක සංරක්ෂණ සංගමය හා ලෝක වනසත්ත්ව අරමුදල විසින් එය සංරක්ෂණය සඳහා පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරිණි. පසුව යුනෙස්කෝව විසින් එය ලෝක උරුම නාමාවලියට ද ඇතුළත් කෙරිණි.
අලුත සකස් කරන ලද තේ වතු මැදින් ටික දුරක් ගමන් කළ අපට කන්දෙන් පහළ දිය දහරාවක ඝෝසාවක් ඇසිණි. එය දූවිලි ඇල්ල විය යුතු ය. සිංහරාජ වනාන්තරයේ “දූවිලි ඇල්ල” ලෙස නම් ලද දිය ඇලි කිහිපයක් ම ඇත. අප මේ යන්නේ කුඩව ගමට ආසන්නයෙන් දකුණු පස පිහිටි දුහුවිලි ඇල්ල වෙත ය. මේ මාර්ගය ට්‍රැක්ටරයක් හෝ ජිප් රථයක් වුව ගමන් කළ හැකි තරම් පුළුල් ය. ඇල්ලේ හඬ ඇසෙන මානයෙන් පාරෙන් දකුණු පස පහළට වැටී ඇති අඩි පාරකි. ඒ ඔස්සේ මද දුරක් පල්ලම් බැස්ස විට අලංකාර ගල් කුළුවලින් ගහන පුළුල් දිය දහරාවක් හමු වේ. එහි ගල්කුළු දෙකක් මත සිර වන සේ පෙරළා දැමූ විශාල ශාක කඳකි. එය ඒදණ්ඩකි. එගොඩ ගොඩේ පිහිටි ගෙවල් කිහිපයකට යෑම සඳහා එය සකස් කර ඇත. ගඟ දෙපස නොසිඳුණු තුරු ලතා ඉතිරි වී තිබුණ ද, ඉන් ඔබ්බේ තැනින් තැන කැලය ‍එළිපෙහෙළි කර ජනාවාස සාදා ඇත. ගල් කුළු මතින් පනිමින් ගඟ දිගේ පහළට යන විට විශාල ගල්තලාවක ගැට්ටෙන් පහළට රූරා හැලෙන දූවිලි ඇල්ල හමු වේ.
මා ආවර්ජණයෙන් පියවියට පත් වූයේ අපේ සගයකු එල්ල කළ ජලපහරකිනි. සැතපී සිටි සුවපහසු ජල බිලයෙන් ගොඩට පැමිණියෙමි. ඒ වන විටත් සැන්දෑවෙමින් තිබූ හෙයින් මේ දහවල සඳහා යමක් සප්පායම් වීමට කාලයයි. අභිරුචික සිය ගමන්මල්ලේ රැගෙන විත් තිබූ මාලුපාන් සැමටම බෙදා දුන්නේ ය.
**
සැඳෑ හිරු රැස් තුරුලතා අතරින් පෙරී එයි. අපි නැවත කුඩව වන කාර්යාලය දෙසට යෑමට පිටත් වුණෙමු. කෙතරම් සිහිල් දිය දහරක පහස විඳිමින් සිටිය ද නැවත කුඩව දෙසට පල්ලම් බසින විට අප සැවොම දහදියෙන් නැහැවී ගොසිනි. සැඳෑ කල වුව ද හිරු රැස් දැඩි ය. අප එන මග සෙවන සදන්නට තුරුලතා නොමැත. ‍ඒ සියල්ල තේ වගාවට යට වී ගොසිනි. දැන්නම් අප මිතුරු තණ්ඩුල එහි පැමිණ සිටිය යුතු ය. කිව්වත් වාගේ ම වන කාර්යාලය දෙසට අපි පියමං කරද්දී අප එන තුරු පොරොත්තුවෙන් සිටින ඔහු ඈත තියාම දැක ගැනීමට හැකි විය. ගුණරත්න ද ඔහු අසල සිටී. දෙදෙනා කතා කරමින් සිටින්නේ අප ගැන විය යුතු ය. දැන් ඉතින් අද රෑ නැවතීමට තැනක් සොයා ගැනීමට එතරම් අපහසු වන්නේ නැත. වන සංරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නවාතැන්පොළක ලැගුම් ගන්නේ නම් එය කලින් වෙන් කරවා ගත යුතු ය. අප ඒ සඳහා උනන්දු නොවූයේ ගම අයිනේ ඇළ ‍දොළක් අසල කූඩාරම් ලෑමට රිසි වූ නිසා ය. දැන් ඒ සඳහා සුදුසු ස්ථානයක් සොයා ගත යුතු ය. ඒ ගැන විමසිය යුත්තේ තණ්ඩුලගෙනි. ඔහු උණුසුම් ලෙස අප පිළිගත්තේ ය. බොහෝ වේලාවක් ආ ගිය තොරතුරු පිළිබඳව දොඩමලු වූ අපි අපගේ අදහස ඔහුට ඉදිරිපත් කළෙමු. හේ මදක් කල්පනාවේ නිමග්න විය. ඉන්පසු ගුණරත්න සමඟ මොනමොනවාදෝ කුටු කුටු ගෑවේ ය. ලොකු සිනහවක් පෑ ඔහු “හරි හරි… අපි ඒවා ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ. ඒ ගැන වද වෙන්න එපා.” යැයි පැවසී ය.
මීට වසර ගණනාවකට ඉහත දී, සිංහරාජය නැරඹීමට පැමිණෙන්නන්ට නවාතැන්පොළක් වූයේ වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ‘සංචාරක කඳවුර’ පමණි. එය පවත්වාගෙන යනු ලබන්නේ තුනී ලෑලි සඳහා කැලෑ කැපූ කාලයේ ඒ වෙනුවෙන් ඉදි කළ ගොඩනැගිල්ලක ය. එහෙත් දැන් කුඩව දෙසින් සිංහරාජයට පිවිසෙන්නෙකුට නවතින්නට තැනැක් සොයා ගැනීම එතරම් අපහසු කාරියක් නොවන්නේ, පෞද්ගලික ලැගුම්හල් කිහිපයක් ම ඒ අවට ඉදි කර ඇති නිසාවෙනි. තණ්ඩුල අප වෙනුවෙන් සූදානම් කර තිබුණේ ද එවැනි ලැගුම්හලකි. ඔහුගේ පෙරැත්ත කිරීම මත අපගේ කූඩාරම් අදහස වියැකී ගියෙන්, ලහි ලහියේ ඒ කුඩා ලැගුම්හල වෙත පියමං කළෙමු. එය කුඩව ගමේම, ගං ඉවුරේ කඳු ගැටයක් මත මනරම් තැනෙකි. වන සංරක්ෂණ කාර්යාලයේ සිට එතැනට හූවක දුරක්වත් නැති තරම් ය.
සිංහරාජ අවට ගම්මාන සියවස් ගණනාවක් ති‍ස්සේ ම ජනාවාස වී තිබූ බවට සාක්ෂි ඇත. ඒ පිළිබඳ පැරැණි ම ලේඛන හමුවන්නේ පෘතුගීසි පාලන සමය තුළ ය. කිතුවසින් 1505 සිට 1656 දක්වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළ පෘතුගීසීහු එම පෙදෙස්වලින් බදු එකතු කළෝ ය. එම කාරිය පහසු කරනු වස් සිය පාලනයට නතු වූ පෙදෙස්වල විස්තර ලේඛනගත කරන්නට ද ඔවුහු කටයුතු කළෝ ය. එක් එක් ගම්මානයේ නම, විශාලත්වය පමණක් නොව එහි ඇති ශාක වර්ග, ඵලදාව දාදී තොරතුරු ද “තෝම්බු” ලෙස හැඳින් වූ එම ලේඛනවලට ඇතුළත් කර තිබිණි. සිංහරාජය අවට පිහිටි කලවාන, පොතුපිටිය ආදී ඇතැම් ගම්වල නම් සියවස් හතරකට පමණ පෙර එනමින් ම එම ලේඛනවල ඇතුළත් වී තිබීමෙන් එම ගම්වල පෞරාණික බව මොනවට පැහැදිලි වේ.
නවාතැනට පැමිණි අප පිට බැඳි ගමන් මලු උනා තබා පහළින් ගලා ගිය ගං දියට බැස දෝවනය කර ගතිමු. දසත අඳුර පැතිරෙමින් පවතී. පරිසර උෂ්ණත්වය සෑහෙන ලෙසකින් අඩු වී ඇත. ගං දිය සීතල ය. වැඩිවේලා දියේ බැස සිටීමට නොහැකි ය. කොහොමටත් ඒ ඉසව්වේ ගං දිය දණහිසක් ගැඹුරට තරම්වත් නොවූයෙන් දියබුංගසමින් නෑමට තරම් අවකාශයක් නොවිණි. අපේ ඇතැමෙකු මුහුණකට දොවා ගැනීමෙන් පමණක් සෑහීමට පත් වූයේ, ගං දිය ‍නොගැඹුරු වූ නිසා ම නොවේ. වැඩි වේලාවක් දියේ බැස සිටීමට තරම් ජල දහරාවේ සීතල ඉවසුම් නොදුන් හෙයිනි. සීතලේ වෙව්ලමින් පැමිණි අපට කිතුල් හකුරු සමඟින් ලැබුණු උණුසුම් කහට කෝප්පය අගනා පානයකි. දැන් හෙට දිනයේ කටයුතු පිළිබඳව සැලසුම් කිරීමට කාලයයි.
මම සිංහරාජවනයේ සිතියම මේසය මත එලා ගතිමි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකසා ඇති එම සිතියම සහිත පෝස්ට‍රයේ සිංහරාජය පිළිබඳව බොහෝ තොරතුරු ඇතුළත් වේ. සමෝච්ච රේඛා හා සියලු වැදගත් ස්ථාන සහිතව සකසා ඇති එයට මෑතකාලීන දත්ත ඇතුළත් කර ඇත.
එහෙත් පළමු වරට සිංහරාජය සිතියම් කර ඇත්තේ ලන්දේසින් ය. පෘතුගීසීන්ගෙන් පසු මෙරට මුහුදුබඩ පලාත් පාලනය කළ ලන්දේසීහු ඔවුන්ගෙන් ලබා ගත් තොම්බුවල තොරතුරු අනුව, එම පෙ‍දෙස් සිතියම් ගත කිරීමට කටයුතු කළ හ. ඒ අනුව 1789 වන විට සිංහරාජයට අයත් වූ පෙදෙස සිතියම් ගත කර තිබිණි. සිංහරාජ පෙදෙසෙන් ඇරඹෙන ගිං ගඟ හා කළු ග‍ඟ ද එම සිතියම්වලට ඇතුළත් කර තිබිණි. ඉන්පසු පැමිණි ඉංගිරිසි ජාතිකයන් කෝපි වගාව සඳහා මෙම පෙදෙස යෝග්‍ය දැයි සොයා බැලීම සඳහාත් දැව සම්පත තක්සේරු කිරීම සඳහාත් එය ගවේෂණය කර සිතියම් ගත කර ඇත. දහනව වැනි සියවසේ අගභාගය වන විට, වන විද්‍යාඥයන් මෙන්ම මිනින්දෝරුවන් ද සිංහරාජය ගවේෂණය කළ අතර ඔවුනගේ ලිපි ප්‍රධාන පෙළේ ප්‍රකාශනවල පළ වී තිබේ. ඒ අතරින් 1896 දී ‘ද සිලෝන් ‍ෆොරෙස්ටර්’ නම් සඟරාවේ පළ වූ ෆෙඩ්රික් ලුවිස් නමැත්තා විසින් සිංහරාජය හරහා සිදු කෙරුණු ගමනක් පිළිබඳ විස්තරය සුවිශේෂී වේ. එකල සිංහරාජය මුඩු බිම් ආඥාපනත යටතේ රජයට අයත් භූමිභාගයකි. 1875 දී සිංහරාජ මූකලාන යන නමින් අක්කර 6000ක පමණ බිම් පෙදෙසක් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ හෙයින් විසි වැනි සියවස ඇරඹීමට මත්තේ සිට ම සිංහරාජ වනයෙන් කොටසක් ‘රක්ෂිතයක්’ බවට පත් වී තිබිණි.
මෑතකාලීන අතීතයේ දී, එනම් එක්දහස් නවසිය තිස්ගණන්වල දී තෙමසක් පමණ සිංහරාජයේ ගත කරමින් ඒ පිළිබඳ ලිපි මාලාවක් සකස් කිරීමට ජෝන් බේකර් නමැත්තා කටයුතු කර තිබිණි. සිංහරාජය පිළිබඳව සිදු කෙරෙණු පළමු විධිමත් අධ්‍යයනය එය ලෙස පිළිගැනේ. එම වකවානුවේ දී අග්‍රගන්‍ය දේශීය විද්‍යාඥයෙකු වූ ආචාර්ය පී.ඊ.පී. දැරණියගලයන් ද සිංහරාජයේ සංචාරය කරමින් වාර්ථා සකස් කර ඇත.
අප යා යුතු ගමන් මාර්ගය තීරණය කළේ තණ්ඩුලගේ හා ගුණරත්නගේ උපදෙස් පරිදි ය. අප සැරසෙන්නේ සිංහරාජය තරණය කිරීමට ය. සිංහරාජය තුළ පැහැදිලි, නොවරදින ගමන් මාර්ගයක් ඇත්තේ සිංහගල දක්වා පමණි. ඉන් ඔබ්බට කිසිවෙකු පිවිසෙන්නේ නම් අලුතෙන් මං සොයා ගෙන යා යුතු ය. සිතියමේ සමෝච්ච රේඛා පිහිටීම අනුව කඳු හෙල් පිළිබඳ ව දළ අදහසක් ලබා ගනිමින් ගමන් කළ හැකි පහසු මගක් තීරණය කර ගත හැකි වුවත්, ප්‍රායෝගිකව ගත් කල වනයේ ස්වභාවය තැනින් තැනට වෙනස් වන බැවින් පහසු මගක් තීරණය කර ගැනීමේ දී පෙර අත්දැකීම් බොහෝ සේ ඉවහල් වේ. පළපුරුදු මගපෙන්වන්නකුගේ උපදෙස් වැදගත් වන්නේ එබැවිනි. “කැලේ ඇතුලෙ සමහර තැන්වල බට වගේ යටිරෝපණය ඝනට වැවිල තියෙනවනම් යන්න අමාරුයි. ඒ තැන් මගඇරල යන්න ඕන. සමහර වෙලාවට ඒ වගේ තැනක් මගහරින්න රවුමක්ම යන්න වෙනවා. ඒ නිසා සිතියමෙන් බැලුවට විතරක්මත් පාර හොයාගන්න අමාරුයි” තණ්ඩුල එසේ කී විට ඊට පිළිතුරු දෙන්නේ අභිරුචික ය. “අපිගාව මාලිමාවක් තියෙනවා. ජී.පී.එස්. එකකුත් තියෙනවා. ඉතින් පාර හොයා ගන්න අමාරු වෙන්නෙ නෑනෙ.” ඒ අසා මුවගට සිනාවක් නගා ගත් ගුණරත්න පැවසූයේ සිංහරාජයේ ඇතැම් ස්ථානවල මාලිමාවේ පාඨාංක නිවැරැදිව නොලැබෙන බවකි. මේ පිළිබඳව අයෙකු පර්යේෂණයක් කර ඇති බව ද ඔහු පැවසුවේ ය. එහි යම්කිසි ඇත්තක් තිබේ. ප්‍රාදේශීය වශයෙන් පොළොවේ පාෂාණවල චුම්බකත්වයේ වෙනස්වීමක් නිසා මාලිමාවේ පාඨාංක ඇතැම් ස්ථානවල අපගමනයකට ලක් විය හැකි ය. එය සාධාරණීකරණය කරමින් අදහස් දැක්වීමට එවර ඉදිරිපත් වූ‍යේ අපේ කණ්ඩායමේ හේතු දක්වන්නා වන මංජුල ය. කෙසේ වුව ද, රෑ කෑම සූදානම් වන විට, දළ වශයෙන් ගමන් මග නිශ්චය කර ගැනීමට අපට හැකි විය.
“හෙට හොඳට බර අදින්න තියෙනවා. ඒක නිසා අද පුළුවන් තරම් ලෝඩ් කර ගන්න” හොඳින් රෑ කෑම සප්පායම් වන ලෙස ඒ ඔවදන ලැබෙන්නේ මංජුලගෙනි. එහෙත් ගයාන්ගේ කෑමේ වේගය දකින මට සිතා ගත නොහැකි වූයේ එවැනි ඔවදනක් කුමකට ද යන්න ය. අපි සැවොම මදි නොකියන්නට සප්පායම් වීමු. කුඩාරම්ලමින් රෑ කෑම පිසීමට අවැසි නොවූ නිසා, රාත්‍රිය නිදහසේ ගත කිරීමට වාසානාව උදා විය. කුඩව ගම්මානය නිහඬ ය. නවාතැන් පොළේ ලැගුම් ගෙන සිටි ඇතැම් විදේශීය යුවලක ගේ මිමිණුම් හඬ විනා වෙනත් මිනිස් හඩක් නෑසෙන තරම් ය. අසලින් ගලා බසින නදියේ හඩ සෙමෙන් ඇසේ. ඒ සියල්ල පරයා තීව්ර ලෙස ඇසෙන්නේ රැහැයියන්ගේ අඬහැරයයි. අපි නදිය දෙසට මුහුන ලා පිහිටි නිදන කුටිය වෙත ගොස් ඇඳන් මත දිගා වුනෙමු. ටික වේලාවකින් සියලු හඬ පරයා ඇසුනේ අපේ අයෙක් ගොරවන හඬ පමණි. තවමත් නිදිමතක සේයාවකුදු නොමැති වූයෙන් මංජුල හා මා සල්ලාපයේ යෙදී සිටියෙමු. “තාරක අයියේ, සිංහරාජයේ නම හැදිල තියෙන්නේ කොහොම ද?” ඔහුගෙන් පැනයකි. මා නිරුත්තර වීමි. එකවර දිය හැකි පිළිතුරක් මා මතකයට පැමිණියේ නැත.
සිංහරාජය පිළිබඳ මිථ්‍යා කථා මෙන්ම ජනප්‍රවාදයන් ද රාශියකි. කෙසේ හෝ සිංහල ජාතියේ නම ‘සිංහ’ ලෙස මීට ඈදී ඇති බව ඇතැමෙකුගේ මතයයි. සිංහල ජාතිය බිහි වූයේ කැලයේ සිටි ප්‍රබල සිංහයකු හා රාජකුමාරිකාවක් අතර සංවාසයෙන් යැයි ජනප්‍රවාදයේ පැවසේ. ඒ අනුව සිංහරාජය සිංහලයාගේ ප්‍රධාන වනාන්තරය යන අරුතින් එලෙස හැඳින්වෙනවාය යන්න ඇතැමෙකුගේ මතයයි. ඇතැම් ජනකතාවල පැවසෙන්නේ මෙය රජවරුනට අයත් වනාන්තරයක් වූ බවයි. ඉංගිරිසි සමයේ ලේඛනවල එය “රාජසිංහ වනය” ලෙස හඳුන්වා තිබීම ඊට කදිම නිදසුනකි. තවත් කතාවක පැවසෙන්නේ වඳ වී ගිය සිංහ පරපුරක අවසන් සිංහයා රැඳී සිටියේ මේ පෙදෙසේ බව ය.
කෙසේ වුව ද මෙවැනි ජනප්‍රවාදවලින් වනයේ විශාලත්වය හෝ පිහිටීම පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබේ. සිංහලයෙන් ‘රාජ’ යන වදන විසල් හා ප්‍රමුඛ යන අරුත් දැනවීමට ද භාවිත කෙරේ. ඒ අරුතින් ගත් කල ‘සිංහලයාගේ ප්‍රමුඛතම වනාන්තරය’ යන අරුතින් සිංහරාජය ලෙස නම් කෙරෙන්නට ඇතැයි ද ඇතැමුන් තර්ක කරති. අතීතයේ දී සිංහරාජය විසල් පෙදෙසක් පුරා පැතිරී තිබෙන්නට ඇත. ඈත අතීතයේ දී දකුණේ සිට ශ්‍රීපාදය පිහිටි රත්නපුරය හරහා මාර්ගය වැටී තිබී ඇත්තේ මේ වනය හරහා ය. වෙසෙසින් ම ගාල්ලේ සිට සිරිපා කන්ද දක්වා පැරැණි මාර්ගයක් ඇත. ගාලු වාරායෙන් මෙරටට බට විදෙස් ගවේෂකයන් සිරිපා කරුණා කරන්නට යන්නට ඇත්තේ මේ මග ඔස්සේ ය. දාහතර වැනි සියවසේ දී මෙහි පැමිණි ප්‍රකට අරාබි ජාතික දේශාටකයකු වූ ඉබන් බතුතා එවැනි ගමනක් ගැන සඳහන් කරයි. මේ නිසා සිංහරාජය ගැන ඉතා ඈත අතීතයේ පටන් දැන සිටියා පමණක් නොව ඒ හරහා මිනිසුන් ඔබ මොබ යන්නට ඇතැයි ද විශ්වාස කළ හැකි ය.
දැන් සියල්ලෝ නින්දේ ය. මම ද පොරෝනය තුළට ගුලි වීමි.
***
අපි පාන්දරින් ම අවදි වීමු. මේ, රෑ පුරා රැව් දුන් නිශාචරයන්ගේ නද වියැකී යමින් කුරුළු කූජනය ඇරඹෙන හෝරාවයි. ගමන් මලු නැවත අසුරා ගනිමින් සූදානම් වීමටත් මත්තෙන් උදය ආහාරය සකසා තිබිණි. විගසින් අහර ගෙන ලහි ලහියේ සූදානම් වූ අප නැවත කුඩව කාර්යාලයට පැමිණියේ වනයට ඇතුළු වීම සඳහා අවසරපත් ලබා ගැනීමට ය. අප සමග ගමනට එක් වීමට නියමිත මග පෙන්වන්නෙකු වූ ධනුෂ්ක, ඒ වන විටත් එහි පැමිණ තිබිණි. කුඩව පාලම පසු කර යන විට මග දිව යන්නේ දළ බෑවුමක් හරහා ය. බර පොදි පිට මත වුව ද අපේ පිරිස ‘ගිනි කසයට’ කන්ද නගිති. තවමත් ගමන ඇරඹුණා පමණි. එම නිසා වැඩි මහන්සියක් නොමැත. හාත්පස හොඳින් එළිය වී තිබුණ ද තවමත් හිරු කිරණ දක්නට නැත. ඝන මීදුම නිසා අවට වන ස්ථරයට අපූරු චමත්කාරයක් එක් වී ඇත. වඩාත් පිටුපසින් ඇති වන වියන අපට දක්නට ලැබෙන්නේ ස්ථර වශයෙන් පිහිටි මිහිදුම් පටල අතරිනි. එය සොඳුරු සිතුවමක් වැන්න.
පිරිසේ ඉදිරියෙන්ම ගිය ධනුෂ්ක එක් වරම මග අයිනෙන් ගලා යන කුඩා දිය සීරාවක් දෙසට එබිකම් කරමින් අපහට ද එදෙස එන්නැයි සන් කළේ ය. ‘පළා පොළඟෙක්!’ “අපි කවුරුත් දැක්කේ නෑනේ. ඔයා කොහොම ද එක පාරට ම ඌව දැක්කෙ?” ගයාන්ට පුදුම ය. ධනුෂ්ක පැවසූයේ “අපිට ඒක පුරුදු වෙලා… සත්තු ඉන්නවනම් පේනවා” යනුවෙනි. එය සැබෑවකි. ඔවුන් ගේ ඇස ඊට හුරු වී ඇත. පරිසරය කෙරේ මනා අවධානයකින් ගමන් කරන්නේ නම්, එහි දැකිය හැකි දෑ බෝ ය. වෙසෙසින් ම, සර්පයින්, කුරුල්ලන්, ගෙම්බන් වැනි සතුන් දැක ගැනීමටත් හඳුනා ගැනීමටත් එවැනි පුරුදු පුහුණු කළ දෑසක් අවැසි ය. ඇතැමුන්ට මේ දස්කම පුදුමාකාර ලෙස පිහිටා තිබේ. පළා පොළඟා සිත් සේ ඡායාරූපයට නැගීමට අපේ අයට හැකි විය. කෙතරම් ආලෝක ධාරාවන් එල්ල වුව ද වෙලී සිටි බට කිනිත්තෙන් මදකුදු සෙලවූයේ වූ නොවේ.
අලුතෙන් ඉදිකර ඇති නමුත් තවමත් විවෘත කර නොමැති වන කාර්යාලය ද පසු කර ප්‍රවේශපත් පරීක්ෂා කරන මාර්ග භාධකය අසලට එන කුඩා දුර තුළ පවා සතුන් හා ශාක සෑහෙන ප්‍රමාණයක් පෙන්වා විස්තර කිරීමට ධනුෂ්ක සමත් විය. ඒ වන විට කූඩැල්ලන් එකා දෙන්නා අපගේ දෙපා මත සිය මිනුම් කටයුතු අරඹා තිබිණි. ප්‍රවේශපත් පරීක්ෂාකරන මාර්ග භාධකය අසල ගිමන්හැරීම සඳහා ඇති අසුන් මත හිඳගෙන අපි පා වසා සිටි කූඩැල්ලන් ඉවත් කළෙමු.
මද ඉසිඹුවක් ලද අපි නැවතත් ගමන් ඇරඹුවෙමු. එතැන් සිට ගමන් කළ යුතු වූයේ තැනි බිමක ය. පාරේ දකුණු පසින් තරමක් විශාල දෙණියක් දක්නට ලැබිණි. “මේක කුඹුරක් වගේ…” මංජුල පැවසුවේ ය. “බො‍හෝම කාලෙකට ඉස්සෙල්ල මේක අස්වද්දල තියෙනවා. ඒත් සිංහරාජය රක්ෂිතයක් කළාට පස්සේ ඒවා තහනම් නිසා අතහැරල තියෙන්නෙ” ඒ ධනුෂ්කගේ පිළිතුර ය. මේ ඉසව්වේ විවිධ ශාක මත, මග ගමන්ගන්නන්ට මනාව දිස් වන සේ නාම පුවරු සවි කර ඇත. ඒවායේ විද්‍යාත්මක නම් මෙන්ම සමාන්‍ය වරහරේ භාවිත කෙරෙන නම් ද දක්වා තිබීම හේතුවෙන්, නරඹන්නන්ට ශාක වර්ග හඳුනා ගැනීමේ ලා එය මහත් පිටිවහලකි.
දැන් හිරු රැස් තුරු ලතා අතරින් පෙරී එයි. රූස්ස ගස් අතරින් පෙරී එන එවැනි හිරු කදම්භයන්ගෙන් වනයේ ‍‍ප්‍රෞඩත්වය තවත් ඔපවත් කෙරේ. කුරුල්ලන්ගේ කිචි බිචි නද මදක් අඩු වේ…. නැවතත් පෙරදීට වඩා මතුව එයි. එක්වර මහත් ගෝසාවක් ඇසෙන්නේ කුරුල්ලන් රංචු ගැසී ඇති විට ය. සවනත වැකෙන නෙක නෙක කූජන හඬ මැද්දේ මේ අසවල් කුරුල්ලා යැයි හඳුනා ගැනීමට අපේ මග පෙන්වන්නාට හැකි ය. එපමණක් නො‍වේ ඔහුට කුරුල්ලන්ට සන් කිරීමට ද හැකි ය. වරක් අප ඉදිරියේ රැගුම් පෑවේ මදක් දුඹුරු පැහැ කුඩා කුරුල්ලෙකි. (Brown breasted flycatcher). අප අසල ම රැඳී වුන් නිසාවෙන් ඌ ඡායාරූපයට නැගීමට අපේ අය උත්සුක වූහ. ඇති තරම් ඡායාරූප ද ගැණිනි. එහෙත් අත්තෙන් අත්තට පනිමින් එතැනම කැරකෙනවා විනා ඌ ඉවත් ව යන පාටක් නම් නැත. අපට කරුණ කිමැ යැයි වැටහුණේ මද වේලාවකට පසුව ය. එපමණක් වේලා ඌ රැඳී සිටියේ ධනුෂ්කගේ සන් කිරීමට ප්‍රතිචාරයක් වශයෙනි.
එක තැන ටික වේලාවක් හෝ නැවතී සිටීම කූඩැල්ලන්ගේ නම් අමානන්දයට හේතුවකි. මේ වන විටත් අපේ දෙපා පුරා හොඳහැටි කූඩැල්ලෝ එල්ලී සිටිති. උන් ගැලවීමට ඉසිඹුවක් ලැබීමට නම් මගෙහි පඳුරු ‍කොළරොඩුවලින් තොර තැනක් වෙත ඉක්මනින් ගමන් කළ යුතු ය. නැතිනම් එකෙකු ගලවන විට තවත් කිහිප දෙනෙකු එල්ලීමට මාන බලති.
සිංහරාජයේ දී දැකිය හැකි අපෘෂ්ඨ වංශික සතුන් අතරින් සුලබ ව දැකිය හැක්කේ බිම් කූඩැල්ලන් ය. ඒ කෙතරම් ද යත් ඇතැමුන්ට සිංහරාජය කියූ සැනින් මතකයට නැගෙන්නේ කූඩැල්ලන්ගේ අමිහිරි අත්දැකීම ය. මද දුරක් යද්දී තවත් අපෘෂ්ඨවංශිකයෙකුගේ මළ සිරුරක් අපට දැක ගත හැකි විය. ඒ යෝධ බිම් පණුවෙකි (Giant earthworm). උගේ සිරුර කුහුඹුවන් වසාගෙන සිටි හෙයින් එය දිස් වූයේ එකම කළු ගුලියක් ලෙස ය.
නැවත අපි ගමන් ගන්නේ මද නැග්මක් සහිත මගක ය. එහි ඉස්මත්තට පැමිණි විගස “කෝල්ස් ගන්නවානම් මෙතනදී ගන්න. මෙතනට විතරක් සිග්නල් තියෙනවා” යැයි ධනුෂ්ක පැවසුවේ ය. අතැති ජංගම දුරකථන ක්‍රියාත්මක වූයේ එසැනිනි. මෙතැන උස් මුදුනක් හෙයින් දුරකථන සංඥා භාධාවකින් තොරව ක්‍රියාත්මක විය. ඊට මදක් ඔබ්බෙන් උඩවැඩියා මල් ගොමුවකි. ඒ අසලම බාඳුරා ගොටුවලින් ගහන ගොමුවක් ද විය. පාරෙන් මදක් ඔබ්බෙන් වූ එම බාඳුරා ගොටු ගොන්න නරඹන්නන්ගේ අවධානයට කෙතරම් පාත්‍ර වී ඇත්තේ ද යත් ඒ ව‍ටා කැලය තැලී තැනී ඇති අඩිපාර අනුව ම සිතා ගත හැකි ය.
මේ වන විට පිරිසේ අවධානය වැඩිපුර යොමු වී ඇත්තේ කුරුල්ලන් නැරඹීමට ය. වන දෙපස නරඹමින් ගිය අපේ එකෙකු එක් වරම මකුළු දැලක පැටලුණේ ය. යෝධ කැලෑ මකුළුවා සිංහරාජයේ බහුලව දක්නට ලැබෙන බහුපාද සත්ත්වයෙකි. “මේ ලොකුවට පේන්න ඉන්නේ ගෑණු සතා” ධනුෂ්ක විස්තර කරයි. “එතකොට ඇහැට පේන්නැති තරමේ පුංචිඋන් පැටව් ද?” අභීගෙන් පැනයකි. “නෑ නෑ උන් තමා පිරිමි සත්තු” හ්ම්ම්…. ගයාන් සුසුමක් හෙලුවේ ය. මකුළු වර්ග ගණනාවක් ම සිංහරාජය තුළ දක්නට ලැබෙන අතර දිවි මකුළු විශේෂයන් ද ඒ අතර වේ. ගෝනුස්සා මෙන්ම හැකරැල්ලා ද සිංහරාජයේ සුලබ ව දක්නට ලැබෙන බහුපාද සතුන් ය.
දැන් අපි හෝරාවක දෙකක ඇවෑමෙන් සිංහරාජ වනයේ පර්යේෂණ මධ්‍යස්ථානය අසලට පැමිණ ඇත. ලංකාවට ආවේණික විශේෂයක් වන වලි කුකුළා සිංහරාජ පර්යේෂණ මධ්‍යස්ථානය අසල සුලබ ව දක්නට ලැබෙන දසුනකි. එහෙත් අප ටික වේලාවක් ඒ අසල රැඳී සිටිය ද වළි කුකුළෙකු දැක ගත හැකි වූයේ නැත. මේ දිනවල පර්යේෂණ මධ්‍යස්ථානයේ කිසිවෙකුත් රැඳී සිටින්නේ නැත. පාලුවට ගිය ඒ බිම් කඩට පැමිණිමෙන් වළිකුකුළන්ට වාසියක් නැති සේ ය. උන් ඒ අසලට පැමිණීමට පුරුදුව ඇත්තේ මුළුතැන් ගේ අසල යමක් අහුලාගෙන කෑමට ය.
දිය පොදක් පානය කර මද ඉසිඹුවක් ලද අප නැවතත් පර්යේෂණ මධ්‍යස්ථානය අසලින් සිංහගල දෙසට වැටී ඇති මාර්ගය වෙත පිවිසුනෙමු. තවත් මීටර් සියයක් හමාරක් ගිය තැන බකුසු කූඩුවක් ( Frog mouth owl) මේ දිනවල දැකගත හැකි බව මිතුරෙකුගෙන් දැනගන්නට ලැබිණි. ඒ අනුව ඒ වෙත ගිය අපට කූඩුව දැක ගත හැකි වුව ද පැටවුන් දැක ගත නොහැකි වූයේ ඒ වන විටත් උන් ඒ හැර දමා ගොස් සිටි බැවිණි. දැන් අප ගමන් ගන්නේ සිංහගල දෙසට ය. දහවල අහර සඳහා ඒ වෙත ගමන් කිරීම අපගේ අරමුණයි. කුඩව සිට සිංහගල වෙත කිලෝමීටර් දාහතරක් වැනි දිගු දුරක් ගෙවා යා යුතු ය. අපගේ ගමන් සැලසුමේ හැටියට මේ මාවත ඔස්සේ අප නැවත පැමිණෙන්නේ නැත. සිංහගල හරහා මහ වනය තරණය කරමින් අනෙක් පසට ගමන් කරීම අපගේ අරමුණයි. ඒ අනුව, අපගේ මග පෙන්වන්නා තවදුරටත් කැටුව යෑම ඔහුට කරන අසාධාරණයකි. මන්ද, ඔහු තනියම ආපසු පැමිණිය යුතු නිසාවෙනි. අපි ඔහුට සමු දී තනියම ගමන් කළෙමු.
සිංහගලට සමීප ඉසව්ව දක්වා ම පුළුල් මාර්ගයක් දශක කිහිපයකට පෙර තනා තිබිණි. කාලයාගේ ඇවෑමෙන් දැන් එය අඩි පාරක් බවට පෙරලී තිබේ. පාර පුළුල් ලෙස දක්නට ලැබෙන්නේ බෝක්කු දමා සකසා ඇති ඇතැම් තැන්වල පමණි. මීට වසර ගණනාවකට පෙර මග දෙපස ඇතැම් තැනෙක දක්නට ලැබුණු කපා හෙලූ දැවැන්ත දැව කඳන් දැන් දිරා ගොසිනි. ඇතැම් දොළ පාරක් හරහා යොදා තිබූ එවැනි ශාක කඳන්වල නටඹුන් පමණක් තවමත් දැක ගත හැකි ය. කණ්ඩි කපා පාර සකස් කර තිබූ තැන්වල පස් කඩා වැටීමෙන් ඒ ඔස්සේ ගමන් කිරීමට පවා අපහසු ය. කාලයාගේ ඇවෑමෙන් වනය තුළ බොහෝ දෑ වෙනස් වෙමින් ඇත. එහෙත් ඒ ඉතා සෙමිනි. ඉතා කෙටි කලකින් වනයක් වැනසිය හැකි වුව ද, එය නැවත ප්‍රතිනිර්මාණය වීමට වසර දහස් ගණනක් ගත වේ.
අපට දිය කඩිත්තක් හා මඩ වගුරක් වැනි ස්ථානයක් ද පසු කර යෑමට සිදු විය. දණහිසට මදක් පහළට වන්නට ම බූට්ස් පැළැඳ සිටි ගයාන්ට හා අභීට එය මහත් හිසරදයකි. කෙසේ හෝ පෙර පැමිණියවුන් දමා තිබූ ලී කඳන් මත පා තබමින් යන්තම් මඩේ නොඑරී එගොඩ වීමට ඔවුනට හැකි විය.
සිංහගල ඉසව්වට තවත් ඇත්තේ ටික දුරකි. පිට බැඳි බර පොදි මදකට උනා තබා විවේකයක් ලැබීමට සියල්ලන් අපේක්ෂාවෙන් සිටිය ද මදකට හෝ සුනංගු වුවහොත් කූඩලු හමුදාවෙන් ගැලවීමක් නැත. එබැවින් මහන්සි නොබලා අපි අඩිය ඉක්මන් කළෙමු. දොළ පහරක් හරහා කපා හෙලූ කදන් මත ලී පතුරු යොදා සකස් කළ කුඩා පාලමකි. එය කූඩැල්ලන්ගෙන් ගැලවීමටත්, කූඩැල්ලන් ගැලවීමටත් කදිම තැනකි. දෙපා පුරා ලේ උරා බී පිමිබී සිටි කූඩැල්ලන් එකිනෙකා ගලවා දැමුවෙමු. දොළ පහරේ ජලයට වැටෙන කූඩැල්ලන් ඩැහැ ගැනීමට මාලුවෝ පොරකති. දන්නට ලැබෙන්නේ කූඩැල්ලා ජලයට වැටෙනවා පමණෙකි. බිස්කට් දෙකතුනකින් සප්පායම් වී බඩ පුරාවට දිය බී නැවතත් ගමන ඇරඹුවෙමු.
දැන් ඇත්තේ කුඩා අඩි පාරක් පමණි. බැලූ බැලූ අත රූස්ස වනය ම පමණි. අපි අඩිපාර ඔස්සේ ඉදිරියට ඇදුනෙමු. කූඩලු ගහනය එන්න එන්න ම වැඩි ය. කරන්නට දෙයක් නැත. උන් ගලවා ගලවා සිටින්නට බැරි ය. දැන් අප සිටින්නේ සිංහගල අයත් වන කඳුකර‍යේ ය. පෙර පැමිණි වේගයෙන් දැන් ගමන් කළ නොහැක. එහෙත් නැවතුමක් නම් නොමැත. අඩිපාර ඔස්සේ තැනින් තැන කුඩා දිය පහර හමු වන නිසා, එවැනි තැනක මද ඉසිඹුවක් ලැබීමට පුළුවන. කන්දේ බෑවුම දැන් එන්න එන්න ම වැඩි වේ. එතරම් අපහසුවකින් තොරව රැගෙන ආ ගමන් මලුවල බර දැනෙන්නේ දැන් ය. සෙමෙන් ගමන ද එතරම් නුවනට හුරු නොවේ. කාලය ඉතිරි කර ගත යුතු ය. අපි හති හලමින් කන්ද නැග්ගෙමු. දැන් දෙපාවලින් පමණක් නැගීම කළ නොහැකි ය. ගල් මුල්වල එල්ලෙමින් අත් පා සියල්ලේ වීරියෙන් මුදුන බලා ඇදුනෙමු.
දළ බෑවුමක් සහිත මේ පෙදෙසේ පහළ වූ තරම් විසල් ශාක දැකිය නොහැකි ය. කන්ද ඉහළට ඉහළට යන්නට වන ගහනයේ ස්වභාවය ද වෙනස් වේ. සුළඟට ඔරොත්තු දීමට අනුවර්තනය වූ කුඩා පත්රට හා කඳන් සහිත ශාක දැකීමෙන් දැන් සිංහගල මුදුන ඉතා ආසන්නයේ බව අපට පසක් විය. එහෙත් අපගේ ජී.පී.එස්. පාඨාංකවලට අනුව නම් අප තවත් දුර යා යුතු ය. සැබවි, අප ජී.පී.එස්. යන්ත්‍රයට ඇතුළත් කර ඇත්තේ සිංහගල කන්දේ උස ම ස්ථානයයි. ඒ සඳහා තවත් මීටර් සිය ගණනක් යා යුතු ය. එහෙත් අඩි පාර ඔස්සේ අප නගින්නේ සිංහරාජ වනයේ තුරු පියස පෙනෙන තෙක්මානය ම නැරඹිය හැකි බැලුම් ගල වෙත ය.
හතර ගාතයෙන් පොළොවට ම එබී ගමන් කළ අපට කඳු මුදුනක සේයාවක් දිස් විය. අඳුරු වනය තුළින් ආලෝකවත් පෙදෙසක් දැන් මතු ව පෙනේ. මහන්සිය අමතක කර ඉතිර අඩි කිහිපය ද නැග ගතිමු. අහා!! මෙය කෙතරම් සොඳුරු දසුනක් ද? සියලු විඩාවන් පහව ගියා සේ ය. අප සිටින්නේ ගැඹුරු ප්‍රපාතයක මුව විට ය. ප්‍රපාතය පහළ ඈතට ඈතට දිස් වන්නේ සිංහරාජය නම් ප්‍රෞඩ වනයේ තුරු හිස් මුදුන ය. මෙවන් දසුනක් නොදුටූ දෑසක් කුමකට දැයි සිතේ.
සුන්දර සිංහගල හාත්පස දසුනෙන් මන්මත් වූ අප එලෙස බොහෝ වේලාවක් ගත ‍කළෙමු. දැන් යමක් සප්පායම් විය යුතු ය. කඳු මුදුනේ වතුර නැත. ඇත්තේ පහළ දොළකින් පුරවා ගත් ජල බෝතල දෙකක් පමණි. ඒවා බීමට පමණක් ඉතිරි කර ගත යුතු ය. නවාතැන්පොළෙන් රැගෙන ආ බත් ගෙඩි ලිහාගත් අපි කූඩලු ලේ තැවරුණු අත් පිටින් ම කෑදරයෙන් ගිල දැමුවෙමු. ප්‍රපාතයට විවර වූ ගල්තලාව අපට සුව පහසු සයනයක් විය. රිදුම් දෙන කොඳුනාරටි දැන් ටිකක් දිගහැර ගත යුතු ය. එකිනෙකා තැන් තැන්වල වැතිර ගතිමු. හ්ම්ම්ම්ම්…… යන හඩින් වරින් වර ඇදී යන සැඩ සුලං පහරකි. එය මදක් ඉහිල් වූ පසු පහළ තුරු ගොමුව තුළ සැඟව ගලා යන ඇල්ලක හඬ ඇසේ….. වනය සිසාරා කීරිගැසෙන හඬක් නංවමින් පා වී යන සර්ප රාජලියකුගේ හඬින් මා තිගැස්සී ඇහැරුනෙමි. දැන් ගමනේ අවදානම් අඩියට එළඹ ඇත… සියල්ලෝ ඒ සඳහා සූදානම් ය…
****
පල්ලම් බැසීමට කිසිවෙකුගේ මනාපයක් නැති සේ ය. මැලිකමට හේතුව සාධාරණ ය. නෙතු පිනවන, මන බඳවන, එවන් සොඳුරු මස්තකයක් හැර පියා කෙසේ නම් නික්මෙන්න ද? එහෙත් අකමැත්තෙන් හෝ එය සිදු කළ යුත්තේ පමා වන මොහොතක් පසා මුහුන දීමට සිදු වන අවදාන ම ද දැඩි වන බැවිනි. බරපොදි නැවතත් පිටමත පැටවිණි. සිංහගලේ සුලං මුහුනතෙන් මෑත් වත් ම සුළ‍ඟේ ඝෝසාව පහව ගොස් නැවතත් වනයේ නිහැඩියාව මතු විය. එය නිහැඬියාවක් වන්නේ අපගේ කන් හුරුවැ ඇති ඇඬියාව හා සැසඳීමෙන් විනා වනය සැබවින් ම නිහඬ නිසා නොවේ. වරෙක කන් කීරි ගැසෙන සේ උස්ව ඇසෙන රැහැයි නද ය. වරෙක කුරුළු කූජනයකි. මේ සියලු ශබ්දයන්ගේ සුමුදු සංකලනයක් පසුබිමෙන් ඇසේ. එය වන යේ හඬ ය. වනයේ ගීතය ය. ආ මග ඔස්සේ ම අපි සැහැල්ලුවෙන් පල්ලම් බැස්සෙමු. එහෙත් එය වැඩි දුරකට නොවේ. සිංහගල මුදුනේ සිට පල්ලම් බසින විට හමුවන පළමු නිමිනය දක්වා පමණි. දැන් අපගේ ගමන් මග වෙනස් කළ යුතු ය. අප දැන් ඇතුළු වන්නේ කිසිදු මං සලකුණක් නොමැති නොයිදුල් වනයටයි.
අඩිපාරෙන් නික්මෙන්නට මත්තෙන් අප සිටින ස්ථානයේ ඛණ්ඩාංකය ජී.පී.එස්. යන්ත්‍රයට ඇතුළු කළෙමු. ඒ, යම් හෙයකින් මග වැරැදී ගිය හොත් අවසන් ස්ථානයේ ඛණ්ඩාංකය වඩාත් වැදගත් වන බැවිනි. අප යා යුතු දෙසට වූ දිය පහරකි. දිය දහරාවක් ඔස්සේ ගමන් කිරීම ඇතැම් විට පහසු ය. වන‍යේ යටිරෝපණය ඝනට වැවී ඇති තැන්වලින් ගමන් කිරීම පහසු කටයුත්තක් නොවේ. එවැනි තැන්වල වඩාත් සුදුසු වන්නේ දියපහරක් ඔස්සේ ගමන් කිරීම ය. එහෙත් දිය පහරක් ඔස්සේ පවා එක දිගට ගමන් කිරීම නොකළ හැක්කකි. ගල්කුළු මතින් ඇදහැලෙන තැන්, ගැඹුරු තැන් මෙන්ම මඩ සහිත තැන් ද දිය පහරක් දිගේ ගමන් කරන්නෙකුට හමු ‍වේ. එතෙකුදු ‍නොව ඉදිරී වැටුණු ශාක කඳන් ඉපල් ආදිය දිය දහර හරහා වැටී ඇති ස්ථාන එමට ය. ඉදින් එක දිගට දිය දහරක් ඔස්සේ හෝ ගොඩබිම ඔස්සේ ගමන් කිරීම එතරම් ප්‍රායෝගික නොවන්නකි. ඒ වෙනුවට අපි ඇතැම් තැනෙක දොලපාර ඔස්සේ ද ඇතැම් තැනෙක ගොඩබිමින් ද ගමන් ගතිමු. කෙසේ හෝ දිය දහරක් සමීපයෙන් ගමන් කිරීම මදක් පහසු කටයුත්තකි.
ඝන වනය තුළ ගමන් කළ ද කූඩැල්ලන්ගෙන් පෙර තරම් කරදරයක් නැත. නිතර නිතර මිනිසුන් ගමන් කරන මාර්ග අසල කූඩලු ගහනය ඉතා වැඩි ය. සතුන් ගමන් ගන්නා මාර්ගයන් හි එය ඊටත් වඩා වැඩි ය. මේ පෙදෙසේ කූඩලු ගහනය වැඩි වූයේ නම් අපට මහත් කරදරයකට ලක් වීමට සිදු වේ. මන්ද, වනය මැදින් වේගයෙන් ගමන් කළ නොහැකි නිසා ඒ අවසරයෙන් පොදි පිටින් අප සිරුරු වසා ගැනීමට උන්ට ඉඩහසර ඇති හෙයිනි.
සෑහෙන දුරක් අපි හැල්මේ ගමන් කළෙමු. දිය දහර ඔස්සේ වූ ගමන් මග දැන් වෙනස් කළ යුතු ය. නැවත කුඩා කඳු ගැටයක් නැගීමට ඇත. එය තරණය කිරීම පෙර තරම් පහසු වූවක් නොවේ. ඒ පෙදෙස පුරා ම මාවේවැල් හා කටු කිතුල් වැනි කටු සහිත ශාක පැතිරී ඇත. යටි රෝපණය ද ඝනට වැවී ඇත. ගල්කුළු සහිත අවිධිමත් පොළොව ඊට ‍නොදෙවෙනි ය. කෙසේ හෝ සෙමින් සෙමින් අපි එය තරණය කළෙමු. ගමන් අපහසුවට වඩා අපට ඇති අභියෝගය වන්නේ ඉක්මනින් ගමන් කිරීම ය. පය ඉක්මන් නොකළ හොත් සිංහගල ඉසව්වෙන් ඔබ්බේ ගමමානය වෙත අද දින තුළ යෑම කළ නොහැක්කකි. සිංහගලේ සිට දකුණු මායිමට එතරම් දුරක් නැත. එහෙත් අප ගමන් ගන්නේ පෙර පුරුදු මං පෙතක් ඔස්සේ නොවන නිසා ගමන හිතුවාට වඩා සෙමිනි. කඳු ගැටය තරණය කළ අපි නැවතත් පල්ලම් බසින්නට පටන් ගතිමු. මේ පෙදෙසේ ‘කූඩලු’ වර්ගයේ ශාකයනට නෑකම් කියන ඝන යටිරෝපණයකි. ඉන් එක් කරුණක් පැහැදිලි ය. දැන් දැන් දිය සීරාවක් හමු විය යුතු ය. මදක් පහළ‍ට යන විට එය සනාත කෙරෙන සාධක හමුවන්නට විය. අඩිය තියන තියන තැන රූරා පහළට ලිස්සා යයි. අඩමානයට අඩිය තබන හැම විටෙකම, පය ලිස්සා පහළට ඇදී ගොස් පස්ස බිම ඇනේ. අපහසුවෙන් තවත් මදක් පහළට බැස යද්දී, දොල පහරක ඇරඹුම යැයි සිතිය හැකි දිය සීරාවක් හමු වූයෙන් ඒ ඔස්සේ ම පහළට ගියෙමු. දැන් එය මදින් මද පුළුල් දිය දහරක් දක්වා වර්ධනය වේ.
“මෙන්න කොටියෙක්….!!!!” මම මොහොතකට ගල් ගැසුනෙමි. ඉදින් නම් කුමක් කරන්න ද?
ඒ කෑමොර දුන්නේ අභී ය. එවිට මා සිටියේ අන් අයට වඩා ඉදිරියෙනි. මා දියපාර ඔස්සේ ම නොයා ගල්කුලක් තරණය කරමින් කෙටි මගකින් ගමන් ගත් නමුදු අභී පැමිණියේ දිය පහර ඔස්සේ ය. මම වහා එදෙස හැරුනෙමි. අන් සියල්ලෝ ද තූස්නිම්භූත ව බලා සිටිය හ. “කෝ.. කෝ… කොහෙද ඉන්නෙ…” මා අභි සිටි දෙසට පැන ගනිමින් ම ඇසුවෙමි. බියපත් ඔහු කිසිවක් නොකියා පොළොව දෙස බලන ලෙස මට ඉඟි කළේ ය. එය දොළපාරේ වැලි එකතු වී තැනුණු කුඩා දූවක් වැනි ස්ථානයකි. වැලි මත කොටි අඩි මනාව සටහන් වී ඇත. ඔහු බිය වී කෑ ගැසූයේ එම අඩි සලකුණු දැකීමෙනි. ඒවා අලුත් අඩිසලකුණු වූ හෙයින් ඇතැම් විට කොටියා ඒ ලඟපාතක විය යුතු ය.
වියළි කලාපයේ වනාන්තරයක දී මෙන් නොව සිංහරාජය වැනි වැසි වනාන්තරයක දී කොටියා සියැසින් දැක ගැනීමට ලැබෙන්නේ ඉතාමත් ම කලාතුරකිනි. ඒ, වනයේ ස්වභාවය නිසා ය. මෙවැනි වනාන්තරයක, අප සමීපයේ ම සිටියා වුව ද අපට නොපෙනී සැඟවී සිටීමට උන්ට ආයාසයක් දැරීමට සිදු නොවේ. උන් සිටිනා බව දැන ගත හැක්කේ අඩි සලකුණු හා මළපහ ආදිය මගිනි. කොටියා මෙම වනයේ හමුවන දැවැන්ත ම මාංශ භක්ෂගකයා ය. ඊට අමතරව බළල් දිවියා, කොළදිවියා හෙවත් හඳුන් දිවියා ආදීන් ද මෙම වනයේ වෙසෙන මාංශ භක්ෂගකයින් ය.
අපට වැඩි දුරක් ගමන් කිරීමට ලැබුනේ නැත. කණ වැකුනේ දැවැන්ත ඝෝසාවකි. ඒ, කළුවඳුරන් රංචුවකි. අප සිංහගල මුදුනේ සිටින විට පහළ වනවියන මත වඳුරන්ගේ කෑමොර දීම ඈතට රැව් පිළිරැව් දෙමින් විහිදී යන අයරු මනාව අත්විදින්නට හැකි විය. දැන් උන් අප හිසට ඉහළ උස් තුරු මුදුන් මත සිට කෑ මොර දෙනවා පමණක් නොව තුරුවියනේ පිනුම් ගසමින් විවිධ හැසිරීම් රටාවන් දක්වයි. සිංහරාජ වනයේ ක්ෂීරරපායින් අතරින් වඩාත් ම පහසුවෙන් දැක ගත හැක්කේ ද මේ කළු වඳුරන් ය. උහු සාමාන්යරයෙන් සාමාජිකයන් දහයකින් පහළොවකින් සැදුම් ලත් රංචු ලෙස තුරු මුදුන් මත සරති. සිංහරාජ වනයේ රිලවුන් ද දුලබ නොවූවත්, උන් පහසුවෙන්ම දැක ගත හැක්කේ වන මායිම් පෙදෙස්වල ය.
දොළ පහරේ බෑවුම අඩු වී එය සමතල භූම් භායකට පිවිසිණි. එහෙත් එය එතරම් දුරකට විහිදී යන තැන්නක් නොවේ. මීටර් තිහ හතලිහක වපසරියක් පමණි. දිය දහරේ ගැඹුර අඩියක් තරම් වත් නැත. එහෙත් ඉවුරු පුළුල් ලෙස විහි දී ඇත.
“මෙන්න මෙතන කවුරුහරි ඉඳලා තියෙනවා” ගයාන් පවසන්නේ දොළ ඉවුරේ ඉදි කර ඇති ගරා වැටුණු මැස්සක් පෙන්වමිනි. කලකට ඉහත එහි මිනිසුන් ලැග සිටි බවට බොහෝ සාක්ෂි ඇත. “මේ සිංහරාජ වනාන්තරේ මැද්දෙ මිනිස්සු මොනව කරනවා ද” මංජුල විමසයි. බොහෝ දුරට එය මැණික් ගැරීම සඳහා වනයට ඇතුළු වූ පිරිසක් නාවාතැන් ගත් වාඩියක් විය යුතු ය. දිරාපත් නොවූ තරමක් විශාල පොලිතීන් කැබලි කිහිපයක් ද දොළ පහරේ ඉපල් අතර රැඳී තිබෙනු දක්නට ලැබේ. තවත් බොහෝ දෑ මෙහි තිබෙන්නට ඇති නමුත්, දිය පහර වැඩි වී වේගයයෙන් ගලන අවස්ථාවන්වල දී ඒවා ඈතට ගසාගෙන යන්නට ඇත.
වනය තුළ සැමවිටම ඇත්තේ අන්ධකාරයකි. එබැවින් සාමාන්‍ය ලෙස අඳුර ආලෝකය අනුව කාලය පිළිබඳ අදහසක් ගැනීම වනය තුළ දී සාර්ථක ක්‍රමයක් නොවේ. දැන් බොහෝ සවස් වී ඇත. අඩිය ඉක්මන් නොකළහොත් රෑ බෝ වීමට මත්තෙන් ගම්මානයක් කරා යෑම සිහිනයක් පමණක් වනු ඇත. එසේ කීව ද මේ ඉසව්වේ ඉක්මනින් ගමන් කිරීම ද කළ ‍නොහැක්කකි. හදිසි වීමට ගොස් බැරිවීමකින් හෝ පය ලිස්සා අනතුරට ලක් වුව හොත් එය ඊටත් වඩා අවදානම් තත්ත්වයක් වනු ඇත. අපි ප්‍රවේසමෙන් නමුත් හැකි තරම් ඉක්මනින් ග‍මනේ යෙදෙමු. අප යන මග තැනින් තැන පොළොව මුල්ලු කළාක් වැනි අයුරකින් හාරා අවුස්සා ඇති අයුරු දැකගත හැකි ය. ඒ වල් ඌරන් විය යුතු ය. වල් ඌරන්ගේ කුර සටහන් ‍පොළොව මතුපිට තැනින් තැන දක්නට ලැබිණි. ඒ පෙදෙස පසු කර අපට වැඩි දුරක් යෑමට නොලැබිණි. සැලකිය යුතු පෙදෙසක වනය තැලී පොඩි වී ඇති අයුරු දක්නට ලැබිණි. තරමක් විශාල කිතුල් පැල බිම හෙළා ඇති අයුරු හා තළා දමා ඇති අයුරු ද දිස් විය. මෙය නම් කිසි විටෙකත් මිනිස් ක්‍රියාකාරකමක් නොවන බව නම් පැහැදිලි ය. ඒ බව තහවුරු වූයේ තවත් මදක් ඉදිරියට යද්දී ය.
“අලි බෙටි… අලි බෙටි…” ඇස් ලොකු කර ගත් අභී වටපිට බලයි. එහෙත් බිය වීමට කාරියක් නැත. මේවා අඩුම තරමින් සති දෙකක්වත් පරණ අලි බෙටි ය. දැන් අප සිටින්නේ සිංහගල පහළ නිම්නයේ ය. බොහෝ දුරක් ගමන් කළ නමුදු කන්ද වටා ගමන් කිරීමට සිදු වූ නිසා කෙලින් දුර බැලූ කල සිංහගලේ සිට අප සිටියේ එතරම් දුරකින් නොවේ. සිංහරාජය තුළ අලි දෙතුන් දෙනෙකුගේ රංචුවක් සිටින බව වාර්ථා වුවත් උන්ගේ වාස භූමිය හැටියට සැලකෙන්නේ මෝර්නිං සයිඩ් හෙවත් සිංහරාජයේ නැගෙනහිර පැත්ත ය. දැන් අප සිටින්නේ දිගු වන තීරුවක් වන සිංහරාජයේ මැද පෙදෙසේ ය. අලි රංචුව සිංහගල පෙදෙසට පැමිණෙන බව තණ්ඩුල ද අප හා පවසා තිබිණි.
සබැවින් ම අලි රංචුව අපට මුණගැසුන හොත් ඇතිවන අවදානම් තත්ත්වය ගැන අටුවා ටීකා වුවමනා වන්නේ නැත. එය භයානක තත්ත්වයකි. කෙරම් අවදානම් වුව ද එවැනි දසුනක් දැක ගැනීමේ දොළක් මා සිත කොනක තැන්පත් වී තිබිණි. වාසනාවට හෝ අවාසනාවට හෝ අපට හමුවුණු අලි බෙටි අනුව දැන් උන් මේ පෙදෙසින් ඉවත් ව ගොස් ඇතැයි අනුමාන කළ හැකි ය. එහෙත් ඉදිරියට කොනැක හෝ උන් හමුවීමේ අවස්ථාවක් නැත්තේ ද නොවේ.
දැන් අඳුර වැටෙන්නටත් ආසන්න ය. වනය තුළ කොහොමත් අඳුරු ය. එබැවින් ඉර බැස ගිය පසු ඒ තුළ ගොම්මන් එළියක් දැක ගත නොහැකි ය. හිටිවන ම රෑ ‍බෝ වේ. බරපතල ගැටලුවකට අප මුහුන දී සිටී. මේ යන අයුරින් අද දවස තුළ ගම්මානයට ළඟා විය නොහැකි ය. එහෙයින් කුමක් කරමු ද? වනය තුළ නැවතී සිටින්නට ද නොහැකි ය. අලි කොටි ගැවසෙන මේ ඉසව්වේ නැවතීම තවත් බිය දනවන්නකි.
අඩු ගණනේ දැන් නැවතීම සඳහා යන්නමින් හෝ ආරක්ෂිසත තැනක් සොයා ගත යුතු ය. අප සතුව සිව් දෙනෙකුට ප්‍රමාණවත් තරම් කූඩාරමක් ද, කෑම බීම, අඩුම කුඩුම ආදිය ද ඇත. එහෙත් බැලූ බැලූ අත ගල්කුළු, බෑවුම් සහිත වනය ම විනා කූඩාරම් ලෑමට තරම් බිම් කඩක් සොයා ගත නොහැකි ය. කළ හැකි එකම දේ එවැන්නක් හමුවේ යැයි අපේක්ෂාරවෙන් දොළ පහර දිගේ පහළට යෑම පමණි. වේගයෙන් අඳුර පැතිරේ. අපි දැඩි අදිටනින් යතුව වේගයෙන් ගමන් කළෙමු. දොළ පහර වඩා පුළුල් ඇලක් තරමට විසල් වන ලකුණු පෙනේ. එමෙන් ම දැන් බෑවුම අඩු වී තැන්නක් සහිත ඉසව්වකට ගමන් කරන්නාක් මෙන් හැඟේ. එය කිසියම් සුබ ලකුණකි. එහෙත් අලියා සහ කොටියා ගැන මතකය අප කිසිවෙකු ගේ සිත්වලින් බැහැරව නැත. දිය දහර දෙපස තැනින් තැන විසල් ගල් කුළු ය. ඇතැම්වා ගල් ගුහාවන් ලෙස ද සැලකිය හැකි ය. මෙවන් ගල් ගුහාවක් කොටියාට අපූරු ලැගුම්හලකි.
දොල මත වූ විසල් ගල් කුලක් පසෙකින් වූ තවත් පැතැලි කුඩා ගල් තලයකි. දෙවරක් සිතීමට අවකාශ නැත. “අපි මෙතන නවතිමු” මම පැවසීමි. සියල්ලෝ එය අනුමත කළ හ.
ඒ වන විටත් අඳුර වැටී හමාර ය. අපි යුහුසුලු ව මද බෑවුමක් සහිත ගල් තලය මත කූඩාරම ඇටෙව්වෙමු. කූඩාරමේ තරමට ගල් තලය ප්‍රමාණවත් වූයේ යන්තමිනි. එහෙත් එය අපූරුවට සකසා ගැනීමට අපට හැකි විය. කූඩාරමට ඉහළින් විශාල ගල්කුලේ කොටසක් ඇත. අයෙකුකට එය වැස්සෙන් ආවරණය වීම සඳහා වුව ප්‍රමාණවත් ය. එහෙත් කෝකටත් කියා අපගේ සියලු බඩු බාහිරාදිය එළියේ නොතබා කූඩාරම තුළ ම ඇසුරුවෙමු. ඉඩකඩ ගැටලුවක් නොවූයෙන්, වැස්සෙන් සිදුවන ආපදාවක් වළක්වා ගැනීම සඳහා එය හොඳ පියවරකි.
දොළපාරේ ජලය ඉතාමත් සීතල ය. සීතල නොතකා අපි ඉන් ගැඟ දෝවනය කර ගතිමු. කුණු, මඩ, ලේ, තැවරුණු ඇඳුම් උනා තබා අලුත් ඇඳුමක් ඇඟලා ගතිමු. දැන් හොඳට ම බඩගිනි ය. උණුවතුර ලිප තබා සාදාගත් ක්ණික නූඩ්ල්ස් අප ගිල දැමුවේ කට පිචිචීම ගැනවත් නොතකා ය. හාත්පස කට්ට කරුවල ය. අප සතු වූ එකම ආලෝකය වූයේ විදුලි පන්දම් කිහිපය පමණි. යුහසුලුව සැවොම කූඩාරම තුළට ගොනු වුනෙමු.
නිදන්නට උත්සහ කළ ද නිදි සුව පැමිණියේ නොවේ. සැමගේ යටිහිත තුළ බිය නළියමින් ඇත. කිසිවෙකුත් ශබ්දයක් නොනඟයි. ගල් දෙබොක්කාව මැදින් ගලා හැලෙන ජල පහරේ හඬ නිසා, වනාන්තරයේ නිහැඬියාව යටපත් වී යයි. එය තවත් බිය දන්වනකි. මන්ද ඒ නිසා අවට ශබ්ද කිසිවක් අපට නෑසේ. ‘කොටියා පනී ද, අලියා පාගයි ද’ වැනි සිතුවිල්ලක් සිත තුළ කැකෑරෙමින් ඇත…
“දරාං…..” මහා ශබ්දයකි. මා ඉද්ද ගැසුවාක් මෙන් නැගිට්ටෙමි. ඊ ළඟ මොහොතේ දී කුමක් සිදු වනු ඇත්දැයි සියල්ලෝ ලොමුදැහැගැන් වී බලා සිටිති…….

මම නින්දෙන් අවදි වීමි. මා සිටින්නේ ගෙදර හුරු පුරුදු සයනය මත නොවන බව අවබෝධ විමට නිමේෂයක් ගත විය. සිංහරාජ හිම යේ වල් වැදී, වලමත් ව, ඉතා අවදානම් අඩියක, සැලෙන හදින් වුව නොසැලෙන අදිටනින් යතුව ඊයේ රෑ මේ කූඩාරම තුළ නිදන්ට ගුලි වූ අයරු මා සිහියට නැඟුණේ ය. සිංහරාජ මහ වනය තරණය කිරීමේ අදිටනින් අප සිව් දෙනකුගේ කණ්ඩායම කොළඹ සිට කලවාන ඔස්සේ කුඩවට පැමිණ එහි ගත කළ අයුරුත්, පසු දින වන අසිරිය සිත් සේ විඳිමින් සිහකුළු මස්ථකාරූඩ වූ සැටිත්, මං නොවූ වන මං ඔස්සේ පැමිණ මෙහි වල්මත් වූ අයුරුත්, දෑස් ඉදිරියේ දිග හැරෙන දසුන් පෙළක් සේ මට සිහිපත් විණි.
අවදි වන විට මා කූඩාරමේ පහළට රූරා ගොස් තිබිණි. ඒ, ඇලයට පිහිටි ගලක් මත අප එය අටවා තිබූ බැවිණි. අන් තිදෙනා ම තවමත් නින්දේ ය. මම මංජුලව අවදිකරවා ගතිමි. කූඩාරමේන් පිටට පැමිණි අපට දැඩි සීතලක් දැනිණි. හිරු උදාවීමට තව බොහෝ වේලා ඇත. තවම පාන්දර 4.30 පසු වූවා පමණි. මට වුවමනා වූයේ හිමිදිරි පාන්දර වනයේ හඬට සවන් දීමට ය. එය රෙකෝඩරයට උකහා ගැනීමට ය. ඒ සඳහා කූඩාරම් ලූ ස්ථානයෙන් මදක් ඈතට යා යුතු වූයේ දොලපාරේ ‘ගෂ් ගොෂ්..’ හඬ විනා එහි දී අන් කිසිවක් නෑසුණු නිසාවෙනි. තවමත් කට්ට කරුවල ය. කිසිදු එළියක් නොපෙනේ… තුරුහිස්වලට ඔබ්බෙන්වත් සහන් එළියක් දැක ගත හැකි වේද? මම උඩ බැලුවෙමි. අහා…! මේ නම් කිනම් ආශ්චර්යයක් ද? තුරු හිස් ගොමු අතරින් ‘තාරකා ඇස්’ ඉඟිකරයි. අතුපතරින් තැනින් තැන දිස්වන අහස්කුස තුළ මිණි කැට මෙන් දිදුලන තාරකා ය. මා ඒවා හාඳුනා ගැනීමට උත්සහ කළෙමි. “කෑව… කෑව…” මට ඉබේට ම කියැවුණේ මංජුල අත වූ විදිලිපන්දම දැල්වීමෙන් දෑස් නීලාංකාර වී ගිය හෙයිනි. අඳුරට හුරුව තීබූ දෑස් නැවතත් පෙර තත්ත්වයට පැමිණීමට තවත් අඩහෝරා අඩක් වත් ගත වනු ඇත. හිස මත වූ කුඩා විදිලිදහරාව දල්වා ගත් මම ද දොලපාරෙන් ඈතට යෑමට පිටත් වුනෙමි.
මංජුල සියතේ වූ ප්‍රබල විදිලිපන්දම දල්වා අවට පිරීක්සූයේ යා යුතු මග නිශ්චය කර ගැනීමට ය. ‘දරාං…’ යන හඬින් පෙර දා රැයේ අප බිය ගැන් වූ දැවැන්තයා දැන් අප අභිමුව ය. එහෙත් බිය වීමට කාරණා කිම? ඒ දැවැන්ත වෘක්ෂයෙකි. වියපත්ව දිරා ගොස් තිබූ සුවිසල් ශාක කඳ දොලපාර හරහා පතබෑ වී තිබිණි. අපි ඒ මතින් එගොඩ වීමු. සෑහෙන දුරකට ශාක කඳ මතින් ම අපට යා හැකි විය. දැන් දොලේ ශබ්දය නෑසෙන තරම් ය. විදුලිපන්දම් නිවා දැමූ අපි නිසොල්මන් වීමු. තවත් මද වේලාවක ඇවෑමෙන් අපගේ ඇස් කන් වනයේ දසුනට, හඬට සුසර විය. දිය දහරකට නොදුරින් අප සිටි හෙයින් වැඩිපුර ම ඇසෙන්නේ ගෙම්බන්ගේ නද ය. එකෙකු දෙන්නකු නොව සිය දහස් ගණනක නද ය. එකෙකු පරයා තවෙකෙකු ගේ නද තීව්ර වේ. නැවත ඒ හඬ ගිලී යමින් වෙනත් එකෙකු ඉහළ නැඟේ. කාලය ගෙවීයෑමත් සමග වනයේ හඬ වෙනස් වන අයුරු අපූරු ය. නිශාචර නාදය තුනී වී යන අතර දැන් දැන් වටින් ගොඩින් විඟුන්ගේ නද මතුව එයි. අපි පහන් වන තුරු ම වනයේ නද රසවිඳිමින් සිත් පහන් කර ගතිමු. හිරුගේ පළමු රැස් දහරින් ආලෝකවත් වන්නේ තුරු හිස් පමණි. තාමත් බිම් කරුවල ය. අපි නැවත කූඩාරම වෙත පැමිණෙන විට ගයාන් හා අභී උදය ආහාරය ද සකසා තිබිණි.
පෙරදා තෙහෙට්ටුව දැන් පහව ගොසිනි. කහවන් හිරු රැස් දහරා හාත්පස තුරු ලතා අතරින් පෙරී එයි. සිහින් ආලෝක කදම්භ වනයෙන් නැගෙන මීදුම ආලෝකවත් කරමින් තුරු ලතාතුරින් විසිරී යන දසුන, කෙතරම් සුන්දර ද? සීතල වෙලා ගත් අපගේ සියොලග හිරුගේ පළමු කිරණින් නහවන විට කොපමණ සැපයක් ද, උණුසුමක් ද? අපි ඒ සිත් සේ විඳ ගත්තෙමු. එවන් දසුනක් ඡායාරූපයකින් දුටු විට පවා අපගේ නෙතු පිනා යයි. ඉදින්, ඒ සියල්ල පසිඳුරන්ට ම විවර වූ කල්හි දැනෙන සුවය සැනසුම නොකිවමනා ය.
අහරකිස නිමවූ අපි කූඩාරම ඇතුළු අනෙකුත් දෑ පිට බැඳි මලු තුළ අසුරා ගතිමු. දැන් නැවුම් දවසක නැවුම් පිබිදිමක් සමග ම අප ගමනට සූදානම් ය. පෙර දා රෑ මෙහි ලැගුම් ගන්නා විට හාත්පස නිරීක්ෂදණය කරන්නට තරම් ආලෝකයක් නොතිබිණි. දැන් අපට එහි චමත්කාරය මොනවට දිස් වේ. මේ පෙදෙස මිටියාවතක් වැන්න. ටික දුරක් ගමන් ගත් විට හමු වූයේ බෙහෙවින් ම තැනිතලා බිමකි. එහි දී අප පැමිණි දොල මග ‍නොගැඹුරු ජල තටාකයක් ලෙස පුළුල්ව විහි දී ඇති අයුරු දිස් විය. සිතියමේ සමෝච්ච රේඛා හා සැසදීමේ දී මේ පෙදෙස පහසුවෙන් ම හඳුනා ගැනීමට අපට හැකි විය. දැන් දොල දිගේ ආ ගමන් මග වෙනස් කළ යුතු ය. නැවතත් අපි නැගෙනහිර දෙසට මුහුන ලා ඇති කුඩා දිය දහරක් දිගේ ඉහළට ගමන් ‍කළෙමු. ඒ පෙදෙසේ කටුපඳුරු සහිත ඝන යටිරෝපණයක් වූ බැවින් ගොඩබිමින් යෑම ඉතාමත් අසීරු කටයුත්තක් විය. ලොකු ම ගැටලුව මතු වූයේ බරැති බූට්ස් පැළඳ සිටි ගයාන්ට සහ අභීට ය. ඒ තුළට දිය පිරිණු විට තවදුරටත් ඒ පැළඳීම නිරර්ථක වූ බැවින්, වහාම ගලවා ලේස් නූල් එකට ගැටගසා කර වටා පැළඳගත් විට, මංජුලටත් මටත් සිනා නවාතා ගැනීම අසීරු විය. 
‘අප්පච්චියේ…..’ නැවතත් අංශක හැත්තෑවක අසූවක තරම් බෑවුමක් සහිත කන්දකි. වඩා පහසු වන්නේ දියදහර ඔස්සේ ම ඉහළ නැගීමය. එහි ලොකු කුඩා ගල්කුළු මතු වී තිබූ හෙයින් කුළෙන් කුළ මත එල්ලී ඉහළ නැගීම මඳ පහසුවක් විය. වැඩිදුරක් ඒ ඔස්සේම ගමන් කිරීමට නොහැකි විය. නැවතත් වනය තුළට බට අපි අසීරුවෙන් කන්ද නැග්ගෙමු. මුදුනට ම පැමිණියෙමු. දැන් දළ බෑවුමකි. එය බැසිය යුතු ය. නැවතත් නැග්මකි. මෙසේ කිහිප විඩක්ම කඳු නැගීමටත් බැසීමටත් අපට සිදු විය. ඒවා එතරම් උසකට විහිදුනු කඳුවැටි නොවූවත් නිරන්තයෙන් නැගීමත් බැසීමත් මහත් විඩාව ගෙන දෙන්නක් විය.
නැවතත් අප කුඩා දොලපාරකට පැමිණියෙමු. ‘මේ දොල ගලන්නෙ අනිත් පැත්තටනෙ….’ ගැටලුවකි! වහාම අප සිටින ඉසව්ව පැහැදිලි කර ගත යුතු ය. ගමන් දිශාව තීරණය කළ යුතු වූයේ ඉන් අනතුරුව ය. ජී.පී.එස්. තිරයට නෙත් යොමු කරගෙන සිටි ගයාන්ගේ නෙත් විශාල වන අයුරු මම දුටුවෙමි. ‘සැටලයිටි සිග්නල්… එකක්වත් නෑ…’ ඔහු වඩාත් විපිළිසරව පැවසුවේ ය. සෑම දෙසින්ම කඳුවලින් වට වූ ස්ථානයක අප සිටි හෙයින් ඒ පෙදෙසට චන්ද්‍රිකා සංඥාවන් දුබල වූවා විය හැකි ය. දැන් මාලිමාවේ සහ සිතියමේ පිහිට පමණි. එහෙත් තවත් ගැටලුවකි. ජී.පී.එස්. යන්ත්‍රය ඇති නිසා අපගේ ගමන් මග සිතියමේ සටහන් කර ගැනීමට අපි මැලි වීමු. සිතියම ඇසුරින් අපගේ ස්ථානය උපකල්පනය කළ අප, යා යුතු දිශාව තීරණය කර සෑම විට ම මාලිමාවෙන් කෝණය මැන ගනිමින් ගමන් ගතිමු.
දැන් මද්දහන ද පහු වී ඇත. එහෙත් අපගේ ගමන සෙමිනි. මීට වඩා ඉක්මනින් මේ සා දුෂ්කර බිමක ගමන් ගැනීම අසීරු ය. අපි නැවතත් දැඩි බෑවුම් සහිත සානුවකට අවතීර්ණ වුණෙමු සානුව මැදින් දිව යන තරමක් පුළුල් ඇලපාරකි. ඒ වෙත වරින් වර දෙපසින් එකතුවන දොල අතු කිහිපයක් ම අපට හමු විය. එම භූ ලක්ෂණ අනුව සිතියම සැසඳීම පහසු විය. අප දැන් ගමන් කරන්නේ ඒ දිය දහර ඔස්සේ පහළට ය. එය එතරම් ගැඹුරු නොවූව ද තබන තබන පියවරක් පසා පය ලිස්සා යෑමේ ගැහැටින් අපි පීඩා වින්දෙමු. හිටි හැටියේ ඇතැම් තැන්වල වලවල් ය. ඇල මග පුළුල් වූයෙන් තුරු වියනෙන් එය සම්පූර්ණයෙන් ආවරණය වී නැත. දැඩි හිරු රැස් දිය මත පතිත ව ඇත.
“ඇල්ලක්… ඇල්ලක්…” ඉදිරියෙන් ගමන් කළ මංජුල කෑ‍ මොර දුන්නේ ය. අප ගමන් ගන්නා ඇලමග දිය ඇල්ලක් සේ පහළට කඩා හැලේ. එය ඇල්ලක් කියූව ද, කෙලින් කඩා හැලෙන්නක් නොව ගල දිගේ රූරා පහළට ඇද හැලෙන්නකි. ඊට දකුණු පසින් වනය තුළින් ගල්මුල්වල එල්ලී පහළට බැස ගැනීමට අපට හැකි විය. 
හොඳටම බඩගිනි ය. එහෙත් අහර පිසීමට කාලවේලාවක් නැත. එබැවින් අපි අමුතුම තාලයේ කෑමකින් බඩ පුරවා ගතිමු. බිස්කට් ඇති තරම් අප සතුව තිබිණි, එහෙත් බඩගින්නේ හැටියට එය ප්‍රමාණවත් නොවේ. එහෙයින් ලූණු සහ දෙහි දමා අනා ගත් ලොකු ටින්මාලු බඳුන් දෙකක් ක්‍රැකර් බිස්කට් සමග හිස් කළෙමු. බඩ පිරීම කෙසේ වතුදු ටින්මාලු ගඳින් නාස්පුඩු නම් නොඅඩු ව පිරී තිබිණි. එවෙලේ එය දුගඳක් ලෙස හෝ සුගඳක් ලෙස දැනුණි දැයි මට නිශ්චිතව කිව නොහැක.
මේ පෙදෙසේ බෑවුම ඉතාමත් දැඩි ය. ජල දහරාව ඔස්සේ විනා ඉන් දෙපසින් ගමන් කිරීම අසීරු කරුණකි. එහෙත් ඇතැම් තැනෙක ජල දහරාව ඔස්සේ ගමන් කිරීමත් කළ නොහැක්කක් විය. පඳුරු තැලී පොඩි වී ඇති ඉසව්වක් නැවතත් අපට හමු විය. අලි ගමන් මගකි. එහි ද තැන් නැත්වල පරණ අලි බෙ‍ටි දක්නට ලැබිණි. ඇතැම්වා මත හතු වැවී ඇති අයරු ද දු‍ටුවෙන් උන් මේ ඉසව්වේ කරක්ගසා ඇත්තේ ටික කලකට ඉතදී බව පැහැදිලි ය. දිය දහර දෙපස බට ශාක ඈ නොයෙකුත් ඉපල් නොවඩුව වූයෙන් ඒ ඔස්සේ ගමන් කිරීම මහත් අසීරු විය. එබැවින් අලි ගත් මග ගැනීම, අපට මහත් පහසුවක් වූයේ උන් අපේ ‘ගජමිතුරන්’ ම බව නැවත නැවතත් පසක් කරමිනි.
ඉතා අසීරු බැස්මකින් පසු නැවතත් තැන්නක් වැනි වැඩි වැඩිපුර එළිය ඇති තැනක් පහළින් දිස් වේ. වනයෙන් එළියට යෑමට නම් තවත් සෑහෙන දුර යා යුතු බව අපගේ අනුමානයයි. එහෙත් මේ පෙනෙන විවෘත පෙදෙස කුමක් ද? තවත් මිටර් දෙතුන් සියයක් බැසගත් පසු අපගේ කුහුල සංසිඳිනි. එ‍ය තුන් මෝදරකි. අප ගමන් ගත් ඇලපාර නදියට එක් වන ස්ථානයයි. අපගේ විඩාව එහි මනස්කාන්ත දසුනින් වියැකී ගියා සේ ය. තුන් මෝදර සෑදී ඇත්තේ නදියේ නැම්මක් සහිත ස්ථානයක ය. එබැවින් එහි නදිය සෑහෙන පුළුල් පෙදෙසක් පුරා පැතිරී යයි. ඉහළ සිට බලන කල වනයේ විවෘත පෙදෙසක් ලෙස එය අපට දිස් වූයේ එබැවිනි. පුළුල් ලෙස විහිදෙන ජලතලය මතට ඉවුරුවලින් නැමීගත් විසල් තුරු වියන ආවරණයක් වී ඇත. රූස්ස තුරු මත සිට ජලතලය සිප ගන්නා රෑන් රෑන් එල්ලී ගත් ලතා සමූහයකි. පුස්වැල්, කහවැල්, ඈ නොයෙක වර්ගයේ ලතාවන් ඒ අතර වේ. වන සෞන්දර්ය විඳිමින් නිදහසේ සිටීමට මෙය කදිම ස්ථානයක් වුවත්, ඒ සඳහා මිඩංගු කිරීමට කාලයක් දැන් නැත. උකුලක් දක්වා දියේ බසිමින් අපි ගංදියෙන් එගොඩ වීමු.
“මෙන්න මේ දැන් කවුරු හරි ගිහිල්ල තියෙනවා” අනෙක් පස ඉවුරේ පිහිටි අඩි සටහන් පරීක්ෂා කළ අපේ එකෙකු පැවසුවේ ය. මා ද එබී බැලීමි. ගල්කුළු මත තැබූ අඩිසටහන්වල ජලය තවමත් වියැළී නැත. කවුරුන් හෝ අප එන හඬ ඇසී මේ දැන් සැඟවුණා විය යුතු ය. අපි කෑ ගසා කතා කළෙමු. එහෙත් කිසිවෙකුත් නැත. එසේ සැඟවීමට හේතුව කිම?
කරුණු කාරණා අපට පසක් වූයේ තවත් පහළට ගමන් කරද්දී ය. ගංදිය පුළුල් තැනෙක වැලිතලයට මුහුණ ලා ඉවුරේ ඉදි කළ මැස්සකි. වැලි තලය මත කොටි අඩි සටහන් ද එමට දැකි ය හැකි ය. දඩයක්කරුවන් සුලබ ව දැකිය හැක්කේ වියළි කලාපයේ වනාන්තර තුළ ය. එහෙත් සිංහරාජ වන්නාන්තර ද දඩයක් කරුවන්ගේ පාපී ස්පර්ශයෙන් කෙලෙසන බවට මෙය කදිම සාක්ෂියකි. කිතුල් මැදීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා මේ ඉසව්වට මිනිසුන් පැමිණෙන්නේ නොවේ. ගම්මානයේ සිට මේ පෙදෙසට සෑහෙන දුරකි.
දැන් නදියේ වේගය මෙන්ම ගැඹුර ද වැඩි වන සෙයකි. ඇතැම් තැනෙක ගල් කුළු මතින් නගිමින් බසිමින් අප ගමන් කළේ ඉතාමත් අපහසුවෙනි. තවත් පහළට පැමිණි අපට හමුවූයේ සෑහෙන පමණ විශාල දිය ඇල්ලකි. සිතියමට අනුව එය ‘මල්මොර ඇල්ල’ බව අපට පසක් විය. අපගේ අරමුණ වූයේ ගඟ දිගේ ම පහළට බැස ගම්මානය වෙත ළඟා වීමයි. මේ ඇල්ල අසලින් පල්ලම් බැසීමනම් එසේ මෙසේ කාරියක් නොවේ. අප පිට මත ඇති බර පොදි සමගින් එය ඉතාමත් අසීරු අපහසු කටයුත්තකි. එහෙත් කෙසේ හෝ එය ජයගත යුතු ය. ඇල්ල මුවවිට අද්දරින් විනා වෙනත් ස්ථානයකින් පහළට බැසීම කළ නොහැක්කකි. මෙතැනින් ගමන් කිරීමේ අවධාන ම ඉතා දැඩි ය. යම් හෙයකින් පය ලිස්සා ගිය හොත් නවතිනුයේ අඩි තුන්හාර සියයක් ප්‍රපාතයේ ය. ගර්ජනාත්මක හඬින් දිය කඳ පහළට ඇද හැලේ. අපි නොබියව අභි‍යෝගයට මුහුන දුනිමු. පිට මත රැඳි බර පොදි ලිහා ඒවා එකිනෙකා අත පහළට යවමින් වැල්වල එල්ලී, මුල්වල එල්ලී පහළට බැස ගන්නා විට අපගේ ‘හොඳපන’ ගොසිනි. මදක් විවේක ගත් අප නැවතත් ගමන් ඇරඹුවෙමු.
නදිය ඔස්සේ ගමන් කිරීම අපහසු ය. තැනෙක ගැඹුරු ය. තැනෙක විසල් ගල්කුළු ය. ඒ සියල්ලටත් වඩා ඉවසුම් නොදෙන්නේ ඒ සඳහා ගත වන වේලාවයි. දැන් අඳුර වැටෙන්නටත් කිට්ටු ය. ඉක්මනින් ගම්මානය වෙත ළඟා නොවුන හොත් අප මහත් අසීරු තත්ත්වයකට පත් වේ. වරෙක අප ගං ඉවුරු මත කූඩාරම් ලෑමට ද සිතුවෙමු. එහෙත් වැලිතලය මත සෑම දෙසම කොටි අඩි දිස් විය. අන් අය කෙසේ වුව ද, අභී ඒ සඳහා කැමැති කර ගැනීම අසීරු වූයෙන් කළුවරේ හෝ ගම්මානය වෙත ළඟා වෙනවා විනා කළ හැකි අන් යමක් නොවී ය.
දැන් හොඳම‍ට කළුවර ය. වරෙක දියේ ගිලී යමින්, වරෙක ගල්කුළු මත ලිස්සා යමින් අපි ගමන් ගතිමු. ගම්මානය ඉතා ආසන්නයේ විය යුතු ය. ඇතැම් විට වනය හරහා ගමන් කළහොත් එය නුදුරේ ම විය යුතු ය. එහෙත් ඒ සඳහා මගක් සොයා ගැනීමට දැන් හොඳට ම ප්‍රමාද වැඩි ය. එක් අවස්ථාවක අපි උත්සාහයක් දැරුව ද එය අසාර්ථය වූයේ, සියොලඟ කූඩලු ප්‍රහාරයකට ද ලක් වීමෙනි.
දැන් ඉතින් කුමක් කරමු ද? අවිනිශ්චිතව ‍එහෙත් දැඩි අදිටනින් යුතුව අපි ඉදිරියට ගමන් ‍කළෙමු. සියල්ලන්ගේ මුහුනු බලාපොරොත්තු සුන් වූ ශෝකී බවකින් පිරී තිබිණි.
“අයියෙ අයියේ….” හිටි වන ම අභී කෑගසන්නට විය. ඔහුගේ ස්වරයෙහි දෙවියන් දුටුවාක් වැනි ප්‍රීතියක් ගැබ් වී තිබිණි. ගං ඉවුර අයිනේ කිතුලක් දිගේ පහළ බසින මිනිසෙකු දෙස ඔහු නෙත් යොමා සීටී.
“හ්ම්ම්ම්හ්…….” සැමගේ මුහුනුවල මහත් අස්වැසිල්ලක සේයාවක් දිස් විය. අප වහා වහා කිතුල් ගස මුලට දිව ගියෙමු. “දැන් ඉතිං ගෙදර ගියා වගේ තමයි” මංජුල පැව‍සුවේ ය. ඒ වන විටත් ඔහු තෙලිජ්ජ මුට්ටියක් ද සමගින් පහළ බැස සිටියේ ය. අප වහ වාහා අපගේ අකරතැබ්බය ඔහුට විස්තර කර සිටියෙමු. “ආ… ගම මේ එහා පැත්තේ තියෙන්නේ… පොඩිඩ දුරයි තියෙන්නෙ… මාත් එක්ක ගියාම යතෑකි…” ඔහු වගක් නැතිව කීවේ ය. ගසින් බා ගත් තෙලිජ්ජ මුට්ටිය කෝටුවක් අග රඳවා ගත් ඔහු එය සමබර කර ගනිමින් කර මත තබා ගත්තේ ය. ඔහුගේ අඩිපාර ඔස්සේ ඉතාමත් ටික වේලාවකින් අපි ගම්මානයට ලඟා වීමු. නවාතැන් පොළක් ඇති තැනක් පැවසූ ඔහු ඒ වෙත ගමන් කළ යුතු අයුරු ද විස්තර කෙළේ ය.
අප දෙදිනක් ගත කළ ඒ සිංහරාජ වනයේ ප්‍රෞඩ කඳුමුදුන් මිහිදුම් පටල අතරින් අඳුර තුළ සැඟව යන අයුරු මම මොහොතක් බලා සිටියෙමි. ෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *