SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

ගොවි දෑතට ඩ්‍රෝන තාක්ෂණය

මීට දස වසකට පෙර, “ඩ්‍රෝන්” හෙවත් මිනිසුන් රහිත ගුවන් යානා ගැන අසන්නට ලැබුණේ හොලිවුඩ් තිරයේ සහ ඇමරිකානු පහර දීම් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල දී පමණි. එහෙත් අද වන විට එය කුඩා දරුවන්ගේ කෙළි බඩුවක් තත්වයට පත්ව ඇත. ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන පර්යේෂණවල දී ප්‍රතිඵල සමාජගත කිරීමේ ක්‍රියාවලියේ බලගතු උපාංගයක් ලෙස විද්‍යාඥයෝ අද ඩ්‍රෝනය උපයෝගී කරගනිති. කෘෂිකර්මය එයින් මූලික වේ.

බීජ වැපිරීම, කෘමිනාශක යෙදීම, පොහොර යෙදීම, මන්ද-පෝෂිත සහ අධි-පෝෂිත වගා ප්‍රදේශ හඳුනා ගැනීම, වගා රෝගවල මුලික අවධිය සහ ව්‍යාප්තිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම, වල් පැළ අධික ප්‍රදේශ හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ආදී ක්‍රියා රැසකට ඩ්‍රෝන තාක්ෂණය දායක වේ. පොල්, කිතුල්, අඹ, රඹුටන් වැනි උස ශාක වර්ග සහිත කෘෂි අංශයන්හි දී ශාකයට ඉතා ලඟින් ඉහළ තලයක සිට වගාව නිරීක්ෂණය කිරීමට ඩ්‍රෝන තාක්ෂණය හැර වෙනත් විකල්පයක් නැති තරම්ය. බොහෝ රටවල මෙම තාක්ෂණය දැනටමත් සාර්ථක අන්දමින් කෘෂි අංශයට හඳුන්වා දී තිබේ.

එක් ආකාරයේ වගාවක් (උදාහරණයක් ලෙස වී වගාව) සඳහා එකම ඩ්‍රෝනයක් සියළුම කාර්යයන් සඳහා භාවිත කළ හැකි ය. මෙහිදී බීජ වැපිරීම සඳහා ඊට අදාළ උපාංග ඩ්‍රෝනයට සවි කළ යුතු අතර, වගා නිරීක්ෂණය සඳහා කැමරාවක් හෝ කිහිපයක් (දෘශ්‍ය සහ අධෝරක්ත), wifi හෝ bluetooth ඇන්ටෙනාවක් සහ වෙනත් සංවේදක උපාංග කිහිපයක් ආදී වශයෙන් සවි කළ යුතු ය.

කෘමිනාශක සහ පොහොර යෙදීමේ දී අවශ්‍ය ස්ථානයට අවශ්‍ය මාත්‍රාව පමණක් යෙදීමට ඩ්‍රෝනයේ පාලක උපකරණ පරිගණක ගත කළ හැකි නිසා යම් වගාවක උපරිම ඵලදාවක් ලබා ගැනීම සඳහා යෙදිය යුතු කෘෂි රසායනික ප්‍රමාණය අවම කරගත හැකි ය. එසේම, රෝගයක් හෝ පෝෂිත තත්වයේ අසමතුලිත තාවයක් ඇතිනම් එය ඉතා ඉක්මනින් හඳුනාගත හැකි බැවින්, කළ යුතු ප්‍රතිකර්ම ද අවම වනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිසරයට නිකුත්වන කෘෂි රසායනික ප්‍රමාණය සෑහෙන ප්‍රතිශතයකින් අඩු කරගත හැකි ය. දුරස්ථ පාලනයක් තිබෙන බැවින් ගොවියා සහ යොදන රසායනික ද්‍රව්‍ය අතර භෞතික ගැටීමක් සිදු වන්නේ ද නැත.

ඵලදායිතාවය අනුව අප රටට නවීන තාක්ෂණය හඳුන්වා දෙනවා නම් ප්‍රමුඛතාවයේ ඉහළින්ම තැබිය යුත්තේ ගොවි ජනතාව ය. ගොවිතැනට ඩ්‍රෝන තාක්ෂණය ලබාදීම ලංකාව වැනි රටකට බැලූ බැල්මට පහසු කාර්යයක් නොවේ. එහෙත් එයින් රටට ලැබෙන වාසියත්, ඇතිවන පර්යේෂණ සහ ව්‍යාපාරික අවස්ථාත් සලකා බලන විට රජයෙන් මෙන්ම පෞද්ගලික අංශයෙන් ද මේ කර්තව්‍ය සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ යුතුව ඇති බව අපගේ හැඟීමයි. වෙනත් රටකින් ආනයනය කරනවා වෙනුවට අප රට තුළ ම අවශ්‍ය ඩ්‍රෝන යාන සහ උපාංග, මෘදුකාංග, සංවේදන උපකරණ ආදී සෑම අවශ්‍යතාවයක්ම නිපදවීම, වැඩි දියුණු කිරීම, අලුත්වැඩියා කිරීම ආදී සියළුම අංශයන්ට අදාළ දැනුම සහ සම්පත් අපට ඇති බව නොරහසකි. රටේ ඇති ඉංජිනේරු සහ භෞතික විද්‍යා අංශ මේ සඳහා ඉදිරියට පැමිණිය යුතු අතර ජාතික විද්‍යා පදනම වැනි පර්යේෂණ අරමුදල් සම්පාදන ආයතන මේ පිළිබඳව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතු ය.

අනාගතයේදී කෘෂි කටයුතු වර්ධනයෙහි ලා යොදාගන්නා ඩ්‍රෝන නිෂ්පාදනයේ, ආදේශකත්වයේ සහ අපනයනයේ පුරෝගාමීත්වය ලංකාවට ලබා ගැනීමට හැකි නම් එය රට වෙනුවෙන් කළහැකි මහඟුතම කාර්යයක් වනු ඇත.

– මහාචාර්ය චන්දිම ගෝමස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *