SciTech Publishing Corporation (Pvt) Ltd.
Technology

ගැඹුරට යා හැකි රොබෝවෙක් පේරාදෙණියෙන්

දිය යට කිමිදෙන රෝබෝවක් නිපදවීමට පේරාදෙණිය සරසවියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් සමත්ව සිටිති. මෙහි සුවිශේෂත්වය වන්නේ දිය යට කිමිදීමට මෙන්ම අවශ්‍ය දිශාවකට හැරවීමකින් තොරව ම ගමන් කරවිය හැකිවීම ය. මෙම රොබෝව දිය යට මීටර් තුනක් පමණ ගැඹුරට ගෙනයා හැකි ය.
මෙකී ව්‍යාපෘතිය සඳහා මග පෙන්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය පරාක‍්‍රම ඒකනායක මහතා පවසන්නේ ලෝකයේ වෙනත් දියුණු රටවල මෙම දිය යට කිමිදිය හැකි රොබෝ තාක්ෂණය පැවතියත් ලංකාව තුළ එවන් තාක්ෂණයක් තවමත් නොමැති බව ය.  “සාමාන්‍යයෙන් ලංකාවේ මෙන්ම ලෝකය පුරාම ගුවනේ ගමන් කළහැකි රෝබෝවන් (Quad copters) හා ගොඩබිම ගමන් කළ හැකි රොබෝවන් ප‍්‍රසිද්ධයි. ඒත් දිය යට කිමිදෙන රෝබෝවන් අනෙක් ඒවාට සාපේක්ෂව තරමක් පසුගාමී මට්ටමකයි තියෙන්නෙ. වතුරේ ගමන් කරන්න පුළුවන් රොබෝවන් තියෙනවා. ඒත් ඒවා සබ්මැරීන ආකෘතියේ. ඒ කියන්නෙ නිශ්චිත ගැඹුරක විතරයි ක‍්‍රියා කරන්න පුළුවන්. පහසුවෙන් එහා මෙහා කරන්නත් බෑ.”

රොබෝව දිය යට ක්‍රියා කරන අයුරු

රොබෝව දිය යට ක්‍රියා කරන අයුරු

රොබෝ යානයක් ගමන්කරන මාධ්‍යය අනුව එයට යොදාගන්නා තාක්ණය ද වෙනස් වේ. එනම් අහසේ ගමන් කරන රෝබෝවක් නම්, වායු පීඩනය මැඩලා ඉහළ අවකාශයට ගමන් කරවීමට සමත් උපකරණ හා ද්‍රව්‍ය යොදාගෙන එය තැනිය යුතුය.  ඒ ආකාරයෙන්ම රෝබෝවක් ගැඹුරු දිය වෙත ගෙන යෑමේදී ගැඹුර වැඩිවීමත් සමග ඉහළ යන ජල ප‍්‍රතිරෝධය මැඩලීමට තරම් සවිශක්තිය ඇති දෑවලින් නිපදවීම ද කළ යුතුය. ජලය තුළ අවශ්‍ය දිශාවකට හැසිරිය හැකිවන පරිදි යම් උපාංග එක් කළ යුතු අතර උපකරණයේ සරල භාවය ද අත්‍යවශ්‍ය අංගයකි.

මෙම නිෂ්පාදනය තවදුරටත් ඉහළ තාක්ෂණය යොදා ගනිමින් ගැඹුරු මුහුදු නිරීක්ෂණ කටයුතුවලට පවා යොදාගත හැකි මට්ටමකට ගෙන ඒමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති. සාගරය ගැඹුරේ ඇති වස්තූන් අනාවරණය කර ගැනීමටත්, මිනිසුන්ට ළඟා විය නොහැකි ගැඹුරු ළිං පතුල ආදිය නිරීක්ෂණය කිරීමටත්, ජලය මතුපිට සිට පත්ලේ ඇති විවිධ ජීවී මෙන්ම අජීවී සාම්පල එකතු කිරීමටත්, මුහුදු පත්ලේ කොරල්පර නැවත ප‍්‍රතිස්ථාපනයටත්, පිහිනුම් ක‍්‍රීඩාවේදී ක‍්‍රීඩකයින්ගේ චලන වඩාත් හොදින් නිරීක්ෂණය කිරීමටත් මෙන්ම අපරාධ පරීක්ෂණ ඇතුළු වෙනත් කටයුතු රාශියකටත් මෙය උපකාරී වනු ඇත.

පේරාදෙණිය සරසවියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ කසුන් සිරිවර්ධන, උමේෂ් රණතුංග හා සංචිත හපුතන්ත‍්‍රි යන අවසන් වසර සිසුන් පිරිස මූලික වී මෙම ව්‍යාපෘතිය ඇරඹු අතර කථිකාචාර්ය පරාක‍්‍රම ඒකනායක, ආචාර්ය රොෂාන් ගොඩලියද්ද, ආචාර්ය ලිලන්ත සමරනායක, සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය ජනක විජේතුංග, යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ආචාර්ය අසංග රත්නවීර යන අය ද සහයෝගය දක්වා ඇත.
තාරා ආනන්දවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *