SciTech Publishing Corporation (Pvt) Ltd.
Biology

පොහොර අඩකින් අඩු කරන නව ක්‍රමයක් !

වී වගාව සඳහා නිර්දේශිත පොහොර ප‍්‍රමාණය සියයට පනහකින් අඩු කරගත හැකි ක්‍රමයක් සොයා ගැනීමට ලාංකේය පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. රසායනික පොහොර භාවිතයෙන් සිදුවන පාරිසරික හා සෞඛ්‍ය හානි යම් පමණෙකින් හෝ අඩු කර ගැනීමට මෙම නව සොයා ගැනීම නිසා ඉඩකඩ විවර වී ඇත.

මහාචාර්ය ශාමලා තිරිමාන්න

මහාචාර්ය ශාමලා තිරිමාන්න

රසායනික පොහොර භාවිතය නිසා පස දුෂණය, ජලාශ සුපෝෂණය මෙන්ම ඇතැම් පාංශු ජීවීන්ට හා ශාකවලට ඇතිවන අහිතකර බලපෑම සුළු කොට තැකිය නො හැකිය. එමෙන්ම නයිට‍්‍රජන් පොහොර අධි භාවිතය නිසා නිල් දරු උපත්, ස්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝග පමණක් නොව පිළිකා වැනි භයානක රෝග පවා ඇති විය හැකි ය.

මේ සඳහා පිළියම් සෙවීමේ දී ස්වාභාවික ක්‍රියාවලියක් ඉවහල් කර ගත හැකි වේ දැයි සොයා බැලීමට පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. පොහොර භාවිතය වෙනුවට ස්වභාවයේ නයිට‍්‍රජන් තිර කරන වී ශාකයක් නිපදවිය හැකි නම්? ඔවුහු ඒ සඳහා උනන්දු වූහ. රනිල ශාකවල මූල ගැටිති තුළ ඇති රයිසොබියම් බැක්ටීරියාව ස්වභාවිකව නයිට‍්‍රජන් තිරකරන අවස්ථාවකට කදිම උදාහරණයකි. ස්වභාවයේ‍ මූල ගැටිති නොසාදන වී ශාකය එවැනි තත්වයකට ගෙන ආ හැකිනම් එය කදිම විසඳුමකි.

කථිකාචාර්ය තිලිණි පෙරේරා

කථිකාචාර්ය තිලිණි පෙරේරා

එහෙත් එය ජාන තාක්ෂණය යොදා ගත යුතු සංකීර්ණ කර්තව්‍යයක් බැවින් වී ශාකයේ වෙනසක් සිදු නොකොට ඒ ආශ‍්‍රිතව නයිට‍්‍රජන් තිරකරන බැක්ටීරියාවක් සොයා ගැනීමත් එමගින් නයිට‍්‍රජන් තිර කිරීම සාර්ථක කර ගැනීමත් කෙරෙහි පර්යේෂකයන්ගේ අවධානය යොමු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස Azorhizobium caulinodans  බැක්ටීරියාව භාවිත කරමින් නයිට‍්‍රජන් තිර කළ හැකි  ජෛව පොහොරක් නිපදවීමට පර්යේෂකයෝ සමත් වූහ. විවධ ක‍්‍රම මගින් මෙම බැක්ටීරියාව වී ශාකයේ මුල් ආශ‍්‍රිතව වැඩී කොලනි සෑදීමේ හැකියාවක් ඇත්දැයි පරීක්ෂා කැරිණි.

ස්වාභාවිකව රනිල ශාකවල මූල ගැටිති සෑදීමේ දී, රයිසොබියම් බැක්ටීරියාව ආකර්ෂණය කර ගන්නේ යම් රසායනික ද්‍රව්‍යයක් ශ‍්‍රාවය කිරීමෙනි. එය අනුකරණය කරමින් මෙහිදී ෆ්ලැවනොයිඩයක් යොදා ගැනුණි. තවද, බැක්ටීරියා-දිලීර සංයෝජනයක් ලෙස ජෛව පටලයක් ද යොදා ගැනිණි. එහි වාසි වන්නේ ජෛව නයිට‍්‍රජන් තිර කිරීමට සහය වීමත් අක්‍රීය වී ඇති බීජානු සක්‍රීය කර පස සරු කිරීමට දායක වීමත් ය.

මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න

මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න

මෙම ක‍්‍රමෝපායන් දෙක සංයෝජනය කරමින්, එනම් ෆ්ලැවනොයිඩය සමග ජෛව පටලයක් ලෙස බැක්ටීරියාව (බැක්ටීරියා – දිලීර) හඳුන්වා දෙන ලදී. එවිට ප්‍රතිඵලය ඉහළ විය. වී වගාව සදහා මෙම සංයෝජනයේ බලපෑම කෙසේ වන්නේ දැයි දැන ගැනීම සඳහා පෝච්චි පරීක්ෂණයක් ලෙස විවිධ නයිට‍්‍රජනීය පොහොර ප‍්‍රමාණ සමග කන්නයක් පුරා සිදු කරන ලදී. එහිදී පැහැදිලි වූයේ සියයට පනහක යූරියා ප්‍රමාණයක් යෙදුව ද, මෙම සංයෝජනය මුසු කළ විට සියයට සියයක හෝ ඊටත් වඩා වැඩි ප්‍රතිඵලයක් ලැබෙන බව ය.

අවසානයේ දී මෙම සංයෝජනය ක්ෂේත්‍රෙය් දී කෙසේ හැසිරේ ද යන්න පිළිබඳව සොයා බැලීමට සාමාන්‍ය වී වගා පරිසරයක අත්හදා බැලිණි. එහි ප්‍රතිඵලය ද පෙර පරිදි ම විය. ඒ අනුව, වී වගාවට යොදන යූරියා ප්‍රමාණය හරි අඩකින් අඩුකර ගැනීමට මෙම ක‍්‍රමය භාවිත කළ හැකි බව තහවුරු විය. වැඩිදුර ගණනය කිරීම්වලින් ද එය තහවුරු කෙරිණි.

මහාචාර්ය එස්. ඒ. කුලසූරිය

මහාචාර්ය එස්. ඒ. කුලසූරිය

කොළඹ විශ්වවිද්‍යාලයයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාරිනී ශාමලා තිරිමාන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම පර්යේෂණය සඳහා, කථිකාචාරිනී තිලිණි පෙරේරා, මුලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න සහ මහාචාර්ය එස්. ඒ. කුලසූරිය යන අයගේ දායකත්වය ලැබුණු අතර මූල්‍යාධාර පහසුකම් සැපයූයේ ජාතික පර්යේෂණ සභාව විසිනි.

  • තාරා අනානන්දවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *