SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

කසළ, ශක්තියට හරවමු

කසල, ශක්තියට හරවමුකාන්තන්කුඩියේ සිට කොළඹ බ්ලූමැන්ඩල් වීදිය දක්වා අප රටේ සෑම දිශාවකින්ම ඇසෙන පොදු අදෝනාවක් නම් කසළ කළමනාකරණයේ ඇති ව්‍යාකූලතාවයයි. මෑතකදී බදුල්ල ප්‍රදේශයේ කුණු කන්දකට ගිනි ඇවිලීමෙන් මහත් පාරිසරික ගැටලුවක් ඉස්මතු විය.

ලංකාවට හිසරදයක් වන නාගරික ඝන අපද්‍රව්‍ය, ලොව බොහෝ රටවලට ධනය උපයන ව්‍යාපාරික ආයෝජනයකි. මේ පිළිබඳව අප කරන ලද අධ්‍යනයන්හි දී හෙළි වූයේ ලංකාවට හුරු දේශගුණික සහ පරිභෝජන රටාවක් පවතින සිංගප්පුරුව හා මැලේසියාව අපට වුවත් ගැලපෙන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගන්නා බවයි. මෙම දෙරටේම ඝන අපද්‍රව්‍ය භාවිතයෙන් විදුලි බල ශක්තිය නිපදවෙනු ලැබෙයි.

සිංගප්පුරුව උපයෝගී කරගන්නා ක්‍රමවේදය අපද්‍රව්‍ය වර්ගීකරණය කර බැහැර කිරීමට හුරුවී ඇති සමාජ ක්‍රමයකට ඉතා යෝග්‍ය වේ. මෙහිදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීදුරු, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ඒ සඳහා ඇති කර්මාන්ත ශාලාවලට යොමු කරන අතර අනෙකුත් සියලුම ඝන අපද්‍රව්‍ය දාහකයක් වෙතට යොමු කෙරේ. මෙහි දී ප්‍රථමයෙන්ම අපද්‍රව්‍ය විශාල බංකරයක් තුළට බැහැර කරන අතර එම බංකරයේ ඇති විශේෂ කපාට ක්‍රම හා වායු පීඩනය පාලනය කිරීමෙන් දුගඳ පිටතට යෑම වළක්වාලයි. ඉන්පසු එම ද්‍රව්‍ය ක්‍රමානුකුලව දාහකය තුළට ඇතුළු කරයි. අපද්‍රව්‍ය පිලිස්සීමෙන් නිකුත්වන තාපය අධාරයෙන්ම දාහකය සෙල්සියස් අංශක 1000ක පමණ උෂ්ණත්වයක රදවා ගනී. මෙමගින් අධි පීඩනයක ඇති ජලවාෂ්ප උත්පාදනය කරන අතර එමගින් ට’බයිනයක් කරකවා විදුලිය ජනනය කෙරේ. දහනයේදී  පිටවන දුම ස්ථිති විද්යුත් අවක්ෂේපකයක්, හුණුගල් කුඩු ප්‍රේරකයක් සහ වෙනත් උත්ප්‍රේරක සහිත පෙරනයක් හරහා යැවීමෙන් එහි ඇති සියළුම දුෂක ද්‍රව්‍ය ඉවත් කෙරෙයි. ඉතිරිවන කාබන් ඩයෝක්සයිඩ් වායුව මීටර් 150 ක් පමණ උස චිමිනියක් මාර්ගයෙන් වායුගෝලයට මුදා හැරේ. දහනයෙන් පසු ඉතිරිවන්නේ කලින් තිබූ අපද්‍රව්‍යවලින් සියයට දහයකටත් වඩා අඩු ප්‍රමාණයකි. එම පිළිස්සුම් අළුවලින් ලෝහමය කොටස් ඉවත් කරගත් පසු (මේ සඳහා ලෝහ හඳුනාගෙන ඉවත් කිරීමේ ක්‍රමෝපායන් කිහිපයක්ම ඇත) ඒවා නොයෙකුත් කර්මාන්ත සඳහා හෝ ඉඩම් පිරවීම සඳහා උපයෝගී කරගත හැක.

මැලේසියාවේ මේ සඳහා යොදා ගැනෙන්නේ වෙන් නොකරන ලද ඝන අපද්‍රව්‍යයන්ය. සියළුම අපද්‍රව්‍ය බංකරයකට යොමු කරන අතර ඒවා දිරාපත් වීමේ දී හටගන්නා මීතේන් වායුව දහනය කිරීමෙන් විදුලි උත්පාදනයට අවශ්‍ය ශක්තිය සපයා ගනු ලැබේ. අපද්‍රව්‍ය දිරායෑම වේගවත් කිරීම සඳහා අවශ්‍ය රසායනික සහ ජීව විද්‍යාත්මක උත්ප්‍රේරක පිළිබඳව තවමත් පර්යේෂණ කෙරෙමින් පවතී. මෙම ක්‍රමයේ ඇති අවාසිය නම් ආවර්තිතව සම්පුර්ණයෙන් දිරාපත් වූ කුණු ඉවත් කිරීමට සිදුවීමයි. මෙහිදී ඉවත් කරන අපද්‍රව්‍ය, ප්ලාස්ටික්, ලෝහ සහ පස් වශයෙන් වෙන්කර, ප්‍රතිචක්‍රීකරණය හා පොහොර සැදීම සඳහා යොමු කරනු ලැබේ. මෙහිදී බංකර දෙකක් හෝ වැඩි ගණනක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි.

සිංගප්පුරුවේ දිනකට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 8500ට ආසන්න වන අතර කොළඹ හා අවට ප්‍රදේශවල දෛනික එකතුව ටොන් 1200ට ආසන්නය. මුළු ලංකාවේම එකතු වන්නේ දිනකට කසළ ටොන් 7500 පමණ ප්‍රමාණයකි. මේ අනුව සිංගප්පුරුවේ භූමි ප්‍රමාණය හා සසඳන විට ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය සංකීර්ණ වන්නට හේතුවක් නැත.

මෙහිදී මුලිකවම ප්‍රාග්ධනය වැයවන්නේ සීල් කරන ලද බංකර සෑදීමටත් අපද්‍රව්‍ය දහනයෙන් ශක්තිය නිපදවන බලාගාරයක් නම්, දාහකය සෑදීමටත් ය. ලංකාවේ ඔඩු දුවා ඇති කුණු ප්‍රශ්නයේ බරපතල කමත්, කිසිඳු ලාබයක් නොලබන සුදු අලි වන් මෙගා ව්‍යපෘති සඳහා වැය කර ඇති ධනයත් දෙස බැලීමේදී මෙම ආයෝජනය නොගිණිය හැකි තරම් කුඩා බව අපගේ හැඟීමයි.

– මහාචාර්ය චන්දිම ගෝමස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *