SciTech Publishing Corporation (Pvt) Ltd.
Astronomy

ග්‍රහක වළල්ලට අපෙන් හතක්

අඟහරු හා බ්‍රහස්පති අතර ග්‍රහක වළල්ලේ අලුත් ග්‍රහක හතක් සොයා ගැනීමට ශ්‍රී ලංකික සිසු පිරිසක් සමත්ව සිටිති. ඔවුන්මෙම සමත්කම දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ උපදේශක මණ්ඩලය විසින් අන්තර්ජාතික තාරකාවිද්‍යා ගවේෂණ එකමුතුව (IASC) සහ ඇමෙරිකාවේ හාඩින්-සිමන්ස් විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කැරුණු ග්‍රහක හා භූ සමීප වස්තු සෙවීමේ අන්තර්ජාතික කඳවුරකට සහභාගි වෙමිනි.

යසිත් රාමවික්‍රම

යසිත් රාමවික්‍රම

එරංග තිළිණ (නායක)

එරංග තිළිණ (නායක)

වාර්ෂිකව පැවැත්වෙන මෙම කඳවුර සඳහා ලොව පුරා අයදුම්කරුවන් සියගණක් අතුරින් තෝරා ගැනෙන්නේ කණ්ඩායම් විස්සක් පමණි. පසුගිය වසරේ දී ඊට සහභාගි වෙමින් කලින් අනාවරණය කර ගත් භූ සමීප ග්‍රහකයක් නැවත ස්ථානගත කර ගැනීමට ඔවුහු සමත් වූහ. මෙවර ඔවුන් තේරීපත්ව තිබුණේ සිව් වැනි වතාවට ය.

අනාවරණය කර ගත් නව ග්‍රහක හත P10xd2w, P10xcZK, P10xe62, P10xe28, P10x0Lt, P10x0Mk, P10x0Li ලෙසින් නම් කර ඇති අතර ඒවා අන්තර්ජාතික තාරකාවිද්‍යා ගවේෂණ එකමුතුවේ මූලික සොයාගැනීම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත. වැඩිදුර නිරීක්ෂණ හා ගණනය කිරීම්වලින් අනතුරුව ඒවා අන්තර්ජාතික තාරකාවිද්‍යා සංගමයේ දත්ත ගබඩාවට ද ඇතුළත් කැරෙණු ඇත.

අයෝධ්‍ය තේජසිරි

අයෝධ්‍ය තේජසිරි

ජූඩ් විජේසේකර

ජූඩ් විජේසේකර

කැළණිය විශ්වවිද්‍යාලයයේ එරංග තිළිණ ජයශාන්තගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම සඳහා එම විශ්වවිද්‍යාලයයේම යසිත් ලක්මාල් රාමවික්‍රම, අයෝධ්‍ය තේජසිරි, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ ජූඩ් විජයංග විජේසේකර සහ කොළඹ ඇමෙරික් කොලේජ් ඔෆ් හයර් එඩියුකේෂන්හි මෙරීෂා රුචිනි ෆොන්සේකා යන අය ඇතුළත් විය.

ග්‍රහක සෙවීමේ කඳවුර පසුගිය සැප්තැම්බර් 23 වැනි දා සිට ඔක්තෝබර් 21 වැනි දා දක්වා පැවැත්වුණු අතර මේ කාලය අතරතුර දී අන්තර්ජාතික ආයතනවලින් තාරකා විද්‍යා ඡායාරූප ගෙන්වා ගනිමින් විශ්ලේෂණය කිරීමට කණ්ඩායම විසින් කටයුතු කෙරිණි. හවායි හි පිහිටි මීටර් 1.8ක විශ්කම්භයකින් යුත් Pan-STARRS පරාවර්තක දුරේක්ෂයෙන් එම ඡායාරූප ග්‍රහණය කරගෙන තිබුණේ ගිගාපික්සල 1.4ක් වූ CCD කැමරාවක් භාවිතයෙනි.

මෙරීෂා ෆොන්සේකා

මෙරීෂා ෆොන්සේකා

විවිධ තාරකාවිද්‍යා මෘදුකාංග භාවිත කරමින් ඡායාරූප විශ්ලේෂණය කෙරුණු අතර එහි දැක්වුණු වස්තුවල වේගය, කක්ෂීය ගමන්මාර්ගය ආදිය ගණනය කරමින් නව ග්‍රහක සොයා ගැනීමට ඔවුහු සමත් වූහ. මෙම ග්‍රහක පිළිබඳ වැඩිදුර නිරීක්ෂණ IASC විසින් සිදු කෙරේ.

ලොකු කුඩා පාෂාණ කැබැලි බිලියන ගණනකින් සැදුම් ලත් ග්‍රහක වළල්ල තුළ කිලෝමීටරයකට වඩා විශාල ග්‍රහක මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් මේ වන විට හදුනාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත.

  • තාරක ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *