SciTech Publishing Corporation (Pvt) Ltd.
Biology

වනාන්තර සංරක්ෂණය හුදෙකලාව නො ගත යුතුයි!

“ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයකට“

ඇලෙක්ස් කොබ්ලින් සිය සැසිය මෙහෙයවමින්

ඇලෙක්ස් කොබ්ලින් සිය සැසිය මෙහෙයවමින්

සමුළුව හා ප්‍රදර්ශනය දෙස් විදෙස් සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය.‍

දේශගුණික විපර්යාස හා ස්වභාවික සම්පත්වල තිරසාර භාවිතය, වනාන්තර පරිසර පද්ධති හා ඒවායේ සේවාවන් ඇගයීම, වෙරළාශ්‍රිත හා මුහුදු පරිසර පද්ධති, ප්‍රජා වන විද්‍යාව යන ක්ෂේත්‍ර කෙරෙහි එහි දී මුලික අවධානය යොමු කෙරිණි. එහිලා විශ්වවිද්‍යාල අධ්‍යයන අංශ, තාක්ෂණික විශේෂඥයින්, පර්යේෂකයන් ආදීන්ගේ පටන් සාමාන්‍ය ජනතාව දක්වා වූ  අයගේ අදහස් එක් කොට ගනිමින් ඉහත ක්ෂේත්‍රවල ගැටලු හඳුනා ගැනීමත්, ඒ වෙනුවෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳවත් අවධානය යොමු කෙරිණි.

එහි ප්‍රධාන අංගයක් ලෙස ඔක්තෝම්බර් 18 වැනි දා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී වන-පරිසර පද්ධති හා ඒවායේ වැදගත්කම් පිලිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුවක් පැවැත්විණි. ඒ සඳහා මුලිකත්වය ගෙන ක්‍රියාකරන ලද්දේ එක්සත් ජාතීන්ගේ වනාන්තර විනාශය හා හායනය අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර වැඩපිළිවෙලෙහි (UN-REDD) ශ්‍රී ලංකා නියෝජිතයන් වන රෙඩ් ප්ලස් ශ්‍රී ලංකා වැඩසටහන ය (REDD plus Sri Lanka).  එමෙන්ම වනාන්තර අපේ ජීවයයි වැඩ සටහන, අයි යූ සී එන් ශ්‍රී ලංකා (IUCN Sri Lanka) ආයතන ද එක්ව ක්‍රියා කරන ලදී.

සමුළුවේ එක් අවස්ථාවක්

සමුළුවේ එක් අවස්ථාවක්

පරිසර පද්ධතිවලින් ඉටුවෙන සේවාවන්වල වටිනාකම හඳුනා ගැනීම, ඒවා නිදර්ශනය කිරීම හා ග්‍රහණය කර ගැනීම ලෙස ප්‍රධාන සැසි ත්‍රිත්වයකින් සමන්විත වූ සමුළුවේ මූලික වටවලින් තෝරා පත් කර ගන්නා ලද දෙස් විදෙස් පර්යේෂණ පත්‍රිකා අතරින් වඩාත් උචිත පර්යේෂණ පමණක් එහි දී ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ ගේ කතාවෙන් අනතුරුව පළමු සැසියේ සභාපති ධුරය හෙබවූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් ගුණතිලකයන් ය. එක්සත් ජාතීන්ගේ වනාන්තර විනාශය හා හායනය අවම කිරීම පිළිබඳ ශ්‍රී ලංකා වැඩ පිළිවෙලෙහි ප්‍රධාන තාක්ෂණික උපදේශක ඇලෙක්ස් කොබ්ලින් දෙවන සැසි වාරය ද, අයි යූ සී එන් ශ්‍රී ලංකා ආයතනයේ ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි තෙවන සැසි වාරය ද මෙහෙයවීය. පර්යේෂණ ඇසුරෙන් සැකසුණු පෝස්ටර් පත්‍රිකා දෙකක් ද එහිදී ඉදිරිපත් කෙරිණි.

අවසානයේ විද්වත් සාකච්ඡාවක් පැවැත්වුණු අතර වන-පරිසර පද්ධතිවල වටිනාකම ඇගයීම හා සංරක්ෂණය, වනවිනාශය හා හායනය අවම කිරීම, දැනට ක්‍රියාත්මක වැඩසටහන් හා ඒවායේ අඩුපාඩු මෙන්ම ඒවා  වැඩි දියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳව ද එහි දී  අදහස් ඉදිරිපත් විය. ඒ සඳහා සහභාගි වූයේ ස්වීඩනයේ ගොතන්බර්ග් හි චැල්මර්ස් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය එස්කිල් මැට්සන්, පිලිපීනයේ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන බලශක්ති ආර්ථික විද්‍යාඥ හේරත් ගුණතිලක, ඉන්දියාවේ පාරිසරික සේවා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්භන්ධීකාරක මහාචාර්ය  මධූ  වර්මා, වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, අයි යූ සී එන් ශ්‍රී ලංකා ආයතනයේ ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් ගුණතිලක යන විද්වතුන් ය.

සංවාද කවයට සහභාගි වූ විද්වතුන්

සංවාද කවයට සහභාගි වූ විද්වතුන්

වනාන්තර සංරක්ෂණය හුදෙකලාව නො ගෙන, රටෙහි ආර්ථික සංවර්ධනය, සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සමග එක්ව ගත යුතු බවත් වන-පරිසර පද්ධති තිරසාර ලෙස භාවිත කළ යුතු බවත් එහි දී පැන නැගුණු අදහසකි. දැනට ඇති පරිසර නීතිවල ද ලිහිල් භාවයක් දැකිය හැකි බැවින් දැනෙන තරමේ වෙනසක් ඇති කළ යුතු බව සමුළුවට සහභාගි වූවන් අතරින් ඉදිරිපත් වූ අදහසකි. මෙකී නොකී අදහස් රාශියක් ඉදිරිපත් කෙරුණු අතර පිරිස අතරින් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ද විද්වත් මඩුල්ල විසින් සිදු කෙරිණි.

ඉදිරිපත් වූ පර්යේෂණ පත්‍රිකා අතරින්, ජෛව-පටල ජෛව-පොහොර භාවිතයෙන් ජෛව විවිධත්ව වාසි ලබා ගැනීම හා කෘෂිකර්මාන්තයේ දී පරිසරයට පිටවන හානිකර ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම පිළිබඳව ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) මහාචාර්ය ගාමිණී සෙනවිරත්න හා පී. සී විජයපාල විසින් ඉදිරිපත් කළ පර්යේෂණය විශේෂ ඇගයීමට ලක්විය.

තාරා ආනන්දවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *