SciTech Publishing Corporation (Pvt) Ltd.
Mathematics

කඵ වලාවේ රිදී ඉර වෙමු – සරසවි ඇදුරන්ට ඇරයුමක්!

කළු වලාවක රිදී රේඛාවක් දැකීම අප සිත් තුළ සනිටුහන් කරන්නේ කුමක්ද? කළු වලාව අඳුර නම් රිදී රේඛාව එළිය ය. කළු වලාව දොම්නස නම් රිදී රේඛාව සොම්නස ය. කළු වලාව සුලබ නම් රිදී රේඛාව දුලබ ය. ගණිත විෂය අප රටේ බොහෝ දෙනාට කළු වලාවක් බව කීම කිසිවකු අවතක්සේරු කිරීමට හෝ මන්දෝත්සාහී කිරීමට හෝ හේතු නොවනු ඇත. එය යථාර්ථය දැකීමකි. අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වීමේ ඛේදවාචකයට සෑම වසරකම එම විභාගයට පෙනී සිටින්නන්ගෙන් 45% ක් පමණ මුහුණ දෙන බව නොරහසකි. ඉන් කොටසක් දෙන්නං කාසිවලට උසස් පෙළට යොමු වුව ද ඊළඟ වාරයේ දී ත් අසමත්ව පාසල් අධ්‍යාපනයට සදහටම තිත තබන්නේ සා/පෙළ ගණිතය සමත්වීම උසස් පෙළ සඳහා අනිවාර්ය බැවිනි. එම ශෝචනීය ලකුණු සිතේ තබාගෙන සමාජයට පිවිසෙන නොසන්සුන් දරුවා සමාජ විරෝධී ක්‍රියාවන්ට නැඹුරුවීමේ ඉඩකඩ වැඩි ය.

මෙම අනුවේදනීය තත්ත්වයට විසඳුමක් ලෙස සමහර උසස් පෙළ විෂය ධාරාවන්ට සා/පෙළ ගණිතය සමත්වීම අත්‍යාවශ්‍ය නැතැයි ඇතැමෙක් තර්ක ගොඩනඟමින් සිටිති. එය ඔළුවේ කැක්කුමට කොට්ටය මාරු කිරීම වැනි විසඳුමකි. යම් උසස් පෙළ විෂය ධාරාවකට සා/පෙළ ගණිතය සමත්වීම අත්‍යාවශ්‍ය නොවේ යැයි මේ දැන් ප්‍රකාශ කළහොත්, ගණිතය විෂය සඳහා දරුවන්ට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට ඇති උනන්දුව පිරිහී යයි ද? නොයයි ද? වැඩි සම්භාවිතාව ඇත්තේ එය පිරිහීමට බව මාගේ හැඟීමයි. අවසානයේ දී  එම උසස් පෙළ ධාරාවට යොමු වන සිසුන්ට අලුත් ගැටලු දෙකකට මුහුණ දීමට සිදුවේ.

පළමුවැනි ගැටලුව ගණිතය අසමතුන්ගෙන් පිරීයන එම උසස් පෙළ ශිෂ්‍ය කොට්ඨාසයට ඇතිවන මානසික පීඩනයයි. සමාජය තුළ එම සිසුන් උසස් පෙළ නමින් හඳුන්වනවා වෙනුවට සා/පෙළ ගණිතය අසමතුන්ගේ විෂය ධාරාව නමින් හැඳින්වීමේ අවදානමක් තිබේ. ඊට මුහුණ දීමට සිදුවන්නේ උසස් පෙළ සමත් වීම සඳහා විඳින්නට සිදුවන දහසකුත් එකක් ප්‍රශ්නවලට අමතරව ය. දෙවැන්න රැකියා අවස්ථා හා වැඩිදුර අධ්‍යාපන අවස්ථා හිමිකර ගැනීම පිළිබඳ ගැටලුව ය. එය විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගන්නා ශිෂ්‍ය ප්‍රමාණය වැඩිකරගැනීමට උද්ඝෝෂණ කිරීම, රැකියා ඉල්ලා මහමග පෙළපාලි පැවැත්වීම වැනි කඳුළු ගෑස් හා ජල ප්‍රහාර මතින් දිව යන්නක් විය හැකි ය. කාලයක් ගිය පසු විශ්වවිද්‍යාල ද ගණිතය අසමතුන්ගෙන් පිරී යා හැකි ය. එවිට අප පිළිබඳ ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ හෝ  සහතිකය කෙබඳු විය හැකි ද? එය ද “අසමත්“ ලෙසම ලියවෙනු ඇත. විශ්වවිද්‍යාල වෙබ් අඩවි තුළ සැරිසරන අමුත්තන්ගේ ප්‍රමාණය මත විශ්වවිද්‍යාලයේ මට්ටම (rank) තීරණය කිරීමේ ක්‍රියාදාමය ගැන ද යමක් කිව යුතුය. එවැනි අපේක්ෂාවක් යම් විශ්වවිද්‍යාලයකට තිබේ නම් ඔවුන් කළ යුත්තේ ඉතා සරල දෙයකි. එනම් “සා/පෙළ ගණිතය අසමත් ඔබටත් විශ්වවිද්‍යාල වරම්“ යනුවෙන් පාඨයක් ඇතුළත් කර වෙබ් පිටුවක් නිර්මාණය කිරීම පමණි.

අභියෝග ඉවත් කර දරුවකු ඉදිරියට යවනවාට වඩා කුමන හෝ අභියෝගයක් සහිතව ඉදිරියට යෑමට මං සැළසීම වටී. සා/පෙළ ගණිතය වැඩිදෙනා අසමත් නම්, එහි එන සියලු දේ උසස් පෙළ සඳහා අත්‍යවශ්‍ය නොවේ නම්, ලිහිල් අභියෝගයක් වෙත යා හැකිය. උදාහරණයක් ලෙස ප්‍රශ්නපත්‍රය සැකසීමේ දී සංඛ්‍යා හා ගණිතකර්ම ආශ්‍රිත පහසු විෂය කොටස්වලට සැළකිය යුතු බරක් දිය හැකි ය. කෙසේ වෙතත්  එදිනෙදා ව්‍යවහාරයේදී අවශ්‍ය වන දිග, ස්කන්ධය, හා ද්‍රව ආශ්‍රිත මිනුම් පිළිබඳ කොටස්වලට නිසි අවධානයක් යොමුවිය යුතුය. උසස් අධ්‍යාපනයේදී හා පර්යේෂණ කටයුතුවලදී වැදගත් වන සංඛ්‍යානය හා සම්භාවිතාව පිළිබඳව නොසළකා හැරීම නොකළ යුතුය. එහෙත් වීජගණිතයේ හා ජ්‍යාමිතියේ දී හමුවන තරමක් අපහසු කොටස් සඳහා ප්‍රශ්නපත්‍රයේ දී දෙන බර අඩුකළ හැකිය. කෙසේ වෙතත් කාලයක සිට ප්‍රශ්නපත්‍රය සැකැස්ම පිළිබඳ කතාබහට හා විවිධ අත්හදා බැලීම්වලට ලක්වුව ද මේ දක්වා ප්‍රතිඵල සැළකිය යුතු ලෙස වර්ධනය කිරීමට නොහැකි වී ඇත. විභාග දෙපාර්තමේන්තුවෙහි වෙබ් අඩවියේ දැනට ඇතුළත් ඇගයීම් වාර්තා අනුව සැකසූ සා/පෙළ ගණිතය අසමත් ප්‍රතිශතය හා ලකුණු 30 ක් හෝ ඊට අඩුවෙන් ලබාගත් ප්‍රතිශතය ඇතුළත් පහත වගුව බලන්න. ඒ අනුව යමෙක් සමත් වීමේ අවම ලකුණු මට්ටම ගැන ඔබට වැටහෙනු ඇත. මේ සමත් වීම ද අහිමිකර ‍ගෙන උසස් පෙළක් ගැන සිතීම සාකච්ඡාවට බඳුන්විය යුතුය. 2016 වසරේ සිට ඉදිරියට පැවැත්වෙන සා/පෙළ විභාග සඳහා යළිත් ප්‍රශ්නපත්‍ර‍යේ ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳ අවධානය යොමුකර ඇතත් එම යෝජනා ක්‍රියාත්මක වීමේ දී කුමන අභියෝගවලට මුහුණ දීමට සිදුවේ දැයි සිතිය නොහැක.

වර්ෂය 2010 2011 2012 2013
ගණිතය අසමත් ප්‍රතිශතය 38.34% 47.55% 46.36% 44.92%
ලකුණු 30 ක් හෝ ඊට අඩුවෙන් ලබාගත් ප්‍රතිශතය 42.80% 56.60% 54.76% 47.31%

අප වටා ගොඩනැගී තිබෙන කළු වලාවේ ප්‍රමාණය ඔබට පැහැදිලි වනවා ඇතැයි සිතමි. නැත්නම් එවැනි කළු වලාවක් නැතැයි කීමට හේතු සොයනවා විය හැක. ඒ කෙසේ වෙතත් මාගේ ප්‍රධාන ආයාචනය ගණිතය සම්බන්ධ වැට කඩොලු මැනවින් පැන ආ විශ්වවිද්‍යාල ගණිත ආචාර්යවරුන් වෙතට ය. ඉහත කළු වලාව මෝදුවන්නට දී බලා සිටීම ඔවුන්ගේ යුතුකම නොවේ. ඔවුන්ට රිදී රේඛාව ලෙස මතුවන්නට සිදුවී තිබේ. අධ්‍යාපන යාන්ත්‍රණය තුළදී තම විෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල ගණිත ආචාර්යවරුන්ගේ දායකත්වය කෙබඳු විය යුතුද? අතළොස්සකගෙන් ජාතික තලයේ වැඩසටහන්වලට ලැබෙන දායකත්වය අගය කළ යුතුය. එහෙත් මා මෙහිදී සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ වැඩදායක විය හැකි යැයි සිතන අදහස් දැක්වීමකි. මෙහිදී මූලිකව කරුණු 5ක් පිළිබඳව අවධානය යොමු කෙළෙමි. සමහර කාරණා ගණිත විෂයටම විශේෂිත දේ නොවුණත් කළු වලාව  කැටිවී ඇත්තේ  ගණිත විෂය වටා බව අමතක නොකළ යුතු ය.

 

  1. පාසල් පෙළ පොත් සහ සා/පෙළ විභාගය ගැන අවධානය අඩුයි !

මා අත්දැක තිබෙන පරිදි විශ්වවිද්‍යාල ගණිත ආචාර්යවරුන් නිතර නඟන මැසිවිල්ලක් වන්නේ ගණිත ධාරාව හරහා විශ්වවිද්‍යාල තුළට පිවිසෙන සිසුන්ගේ දැනුම හා කුසලතා ක්‍රමයෙන් පිරිහී ඇති බවයි. එසේ නම් සොයා බැලිය යුතු මූලික අවස්ථාව කුමක්ද? ඒ අවම වශයෙන් පාසලේ 6 ශ්‍රේණියේ සිට සිසුන්ට ලැබෙන ගණිත අධ්‍යාපනය කෙබඳු ද යන්නයි. ඒ සඳහා පාසල් පෙළ පොත්, විෂය නිර්දේශ, ගුරු අත්පොත් වැනි දෑ පරීක්ෂා කළ හැක. එහෙත් බහුතරයක් ආචාර්යවරුන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරති. තමන්ගේම දරුවකු පාසලේ දී භාවිත කරන පෙළ පොත් ගැන සමහර විට කරුණු කිහිපයක් දැක්වුවත් ඒ පිළිබඳව විවරණයක් කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නැත. ඔවුන්ට එලෙස මගහැරෙන්නේ තම දරුවාට දෙන අවධානය රටේ සෑම දරුවකුටම දිය හැකි අනගි අවස්ථාවකි.

සා/පෙළ ප්‍රශ්න පත්‍රය පිළිබඳ කාරණය ද එලෙසම ය. වසර 11ක පාසල් කාලයක් අවසානයේ දී දරුවකුගේ ගණිත දැනුම හා කුසලතා පරීක්ෂාවට ලක්කරන විභාගය ගැන විශ්වවිද්‍යාල ගණිත ආචාර්යවරුන් කෙතරම් අවධානයක් යොමුකර තිබේ ද? බොහෝ දෙනෙක් ප්‍රශ්නපත්‍රයක් දකින්නේවත් නැත. ප්‍රශ්නපත්‍රය පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව  මගින් සකසන ඇගයීම් වාර්තා ගැන අවධානයක් ද නැත. සමහරු ගෙනෙන තර්කය වන්නේ  සා/පෙළ වැනි අවස්ථාවක වගකීම පාසල් ගුරුවරුන් හා අධ්‍යාපන බලධාරීන් සතු බව ය. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාරයවරුන්ගේ සක්‍රීය දායකත්වය ප්‍රසාරණය කළ යුතුව ඇත. සමහර වගකිවයුතු ආයතන මගින් ඒ සඳහා උදාකර ඇති අවස්ථා පුළුල් වෙමින් පැවතීම සාධනීය ලක්ෂණයකි. පෙළපොත් සැකසීමේ කාර්යයේ නියුතු අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙහිලා පැසසිය යුතු අවධානයක් යොමු කොට තිබේ.

කෙසේ වෙතත් යම් දායකත්වයක් ලබාදීමට කිසිවකු විසින් ආරාධනා කරන තෙක් බලාසිටිය යුතු නැත. තමන්ගේ විශේෂඥ අදහස් අවශ්‍ය බලධාරීන් වෙත සන්නිවේදනය කළ  යුතුය. සා/පෙළ ගණිතය බොහෝ දෙනෙක් අසමත් වන්නේ ඉගැන්වීමේ ක්‍රියාවලියේ වරදකින්ද? උගත් දේ විභාග මගින් පරීක්ෂා කරන ක්‍රමයේ වරදකින්ද? යනාදිය යමෙක් ආචාර්යවරයෙක්ගෙන් විමසුවහොත් එය තමාට අදාළ නැතැයි මගහැර යා නොහැක. එලෙස මගහැර යෑම උපමා කළ හැක්කේ තම නිවස කඩාගෙන වැටෙන විට එය තමාට අදාළ නැතැයි නිවසින් පිටවී සිටින අවස්ථාවකට ය.

 

  1. ඉගැන්වීමේ කලාව සන්නිවේදනය වන්නේ අඩුවෙන් !

ගණිත උපාධිධාරීන්ගෙන් කොටසක් වාර්ෂිකව පාසල් ගණිත ගුරුවරු ලෙස සේවයට එක්වේ. ඉන් පිරිසක් ගුරු උපදේශක හා විෂය භාර අධ්‍යක්ෂක ආදී තනතුරු වෙත ද පිවි‍සේ. එහෙත් ඔවුන්ට ගණිතය ඉගැන්වීම ගැන නිසි අවබෝධයක් විශ්වවිද්‍යාලය තුළ දී නොලැබෙන තරම්ය. ආචාර්යවරුන් ඉගැන්වීමේ කලාව ගැන ලබාදෙන ගුරුහරුකම් ප්‍රමාණවත් නැත. උපාධිධාරීන් ගුරුවරුන් ලෙස එක් වූ පසුද ඔවුන්ට ලැබෙන්නේ සීමිත පුහුණුවකි.

මෙහිදී විශ්වවිද්‍යාල  ආචාර්යවරුන්ට ආකාර කිහිපයකට දායකත්වය ලබාදිය හැක. පළමුවැන්න, සිත්ගන්නා ලෙස ගණිතය ඉගැන්වීම ආදර්ශයෙන් පෙන්නුම් කළ යුතුය. දෙවැන්න, දේශන තුළදී සුළු ඉඩකඩක් හෝ ගණිතය ඉගැන්වීම ගැන කියාදීමට වෙන්කළ යුතුය. තෙවැන්න, ගණිතය ඉගැන්වීම ගැන පාඨමාලා විශ්වවිද්‍යාල සිසුන්ට හඳුන්වා දිය යුතුය. විශ්වවිද්‍යාල තුළදී කාර්මික හා ව්‍යාපාර ලෝකයට අවශ්‍ය ගණිතය ගැන තිබෙන අවධානය ගණිතය ඉගැන්වීම ගැන නොමැති බව සඳහන් කළ යුතුය.

ඕනෑම දේශනයකදී විෂය කරුණු ගැන වැඩි අවධානයක් දීම සිදුවේ. ගුරුවරුන් පුහුණු කරන සැසිවලදී ද සිදුවන්නේ එයයි. නමුත් විශ්වවිද්‍යාල ගණිත ආචාර්යවරුන් විශේෂයෙන් අවධානයට ගතයුතු දේ මොනවාද? බොහෝ දෙනාට නීරස වී ඇති ගණිතය, ප්‍රචලිත කිරීමේ ක්‍රමවේද සොයා බැලීම නොවේද? එහි ප්‍රායෝගික පැතිකඩ මතුකරදීම නොවේද? ගණිත සංකල්ප කාටත් තේරුම්ගත හැකි මට්ටමට පරිවර්තනය කිරීම නොවේද? ගණිත ක්‍රම සමඟ බැඳුණු ඉතිහාසය, එහි විකාශනය , අද ලෝකයට එහි ඇති වැදගත්කම මතුකර පෙන්වීම නොවේද? විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිහිතබාගතයුතු දෙයක් වන්නේ, ගුරුවරයා ශිෂ්‍යාට වඩා දැනුමින් හා කුසලතාවෙන් ඉදිරියෙන් සිටීම හා අවශ්‍ය විට දී ශිෂ්‍යයාගේ මට්ටමට පැමිණ ඉගැන්වීම යන අංශ දෙකම ප්‍රශස්තව කළමනාකරණය කළයුතු බව ය. ඒ සඳහා වන ගුරුහරුකම් සන්නිවේදනය කිරීම ආචාර්යවරුන්ගේ යුතුකමකි.

 

  1. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඔබ්බට !

විශ්වවිද්‍යාල ගණිත ආචාර්යවරුන් වැඩි වශයෙන් සම්බන්ධ වන පාසල් අධ්‍යාපනය සම්බන්ධ  කටයුත්තක් තිබේ නම් ඒ උසස් පෙළ සංයුක්ත ගණිතය පිළිතුරු පත්‍ර ඇගයීමයි. එහි සුපරීක්ෂණ කටයුතු වැදගත් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සිදුවන්නේ උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන බැවිනි. එහෙත් එම කාර්යයෙන් ඔබ්බට සිදුවන දායකත්වය කුමක්ද? ගුරු පුහුණු සැසිවලදී හා සිසුන් සඳහා පවත්වන සම්මන්ත්‍රණවලදී එම අත්දැකීම් බෙදාහදා ගන්නා කිහිප දෙනෙකු හැරෙන්නට බහුතරයක් විසින් ඉන්  ප්‍රතිපෝෂණය කරන ශක්‍යතාවය ප්‍රමාණවත් නැත.

පිළිතුරුපත් ඇගයිමට සම්බන්ධ වුවත් නැතත් මෙහිදී ද විභාග දෙපාර්තමේන්තුව  මගින් සකසන ඇගයීම් වාර්තා පරිශීලනය කළ හැකිනම් වැදගත්ය. එමගින් ශිෂ්‍යයින්ගේ දැනුම් මට්ටම, වාඩාත් දුර්වල ස්ථාන, ඒ වෙනුවෙන් යෙදිය යුතු ප්‍රතිකර්ම ගැන දළ අදහසක් ලබාගත හැක. තවද සා/පෙළ ගණිතය හා උසස් පෙළ අතර ඇති පරතරය කෙබඳුද යන්න පිළිබඳව ද විමර්ශනය කළ හැක. සා/පෙළ ගණිතය අසමත්වීම වැනි එක්තරා ආකාරයක සමාජ ගැටලුවක් පවතින හා ඊට ජනප්‍රිය තලයේ පිළිතුරු සොයමින් සිටින මෙවන් අවධියක විශ්වවිද්‍යාල ගණිත ආචාර්යවරු එවන් විමර්ශනයක අනිවාර්ය කොටස්කරුවන් විය යුතුය.

 

  1. ලිවීමට, කතාවට හා නිර්මාණකරණයට අඩු උනන්දුවක් !

බොහෝ විට ඉලක්කම්, සංකේත, සූත්‍ර සමඟ ගනුදෙනු කරන විශ්වවිද්‍යාල  ගණිත ආචාර්යවරුන් යමක් සවිස්තරාත්මකව ලිවීමට උනන්දු නොවෙති. ඒ නිසාදෝ සාමාන්‍ය ජනතාවට, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂඥ අදහස් සන්නිවේදනය කිරීමට පොත්පත් හා පුවත්පත් ලිපි ලිවීම සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. ඕනෑම විෂයක සන්දර්භය බාල පරම්පරාවට උරුම කරදීමට ලිවීමේ කාර්යයෙහි නිරත වීම අතිශය වැදගත්ය. ඒ සඳහා අන්තර්ජාලය වුවද මාධ්‍යයක් කරගත හැක. එහෙත් විෂයක අභිමතාර්ථ, විෂය කරුණු පමණක් අඩංගු පාඨ ග්‍රන්ථ ලිවීම තුළින් පමණක් සපුරාලිය නොහැක. විෂය කරුණු පුවත්පත් වෙත සැපයීම පමණක් ද ප්‍රමාණවත් නොවේ. ගණිතය විෂය ගතහොත් එහි එන සංකල්ප නිර්මාණාත්මකව සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීම මෙහිලා ඉතා වැදගත්ය. එවන් ආදර්ශයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සැපයිය හැකිනම් පාසල් මට්ටම දක්වා එම නිර්මාණ කාර්යයන් ගෙන ආ හැකිය. සමහරවිට විශ්වවිද්‍යාල තුළ ඇති විෂය සංගම්,  නාට්‍ය වැනි ක්‍රියාකාරකම් ඔස්සේ ගැඹුරු සංකල්ප ඉතා සරල තලයකට ගෙන එනු දැකගත හැකිය. ආචාර්යවරුන්ට එවැනි දෑ තවදුරටත් වර්ධනය කරමින් සමාජගත කළ හැකිය. පාසල් මට්ටමින් ද එවැනි දෑ සඳහා ඇති ඉඩකඩ පුළුල් කරගත හැක.

ලිවීමේ කාර්යය මෙන්ම කථනයද වැදගත්ය. කතාවක් කිරීම ම නිර්මාණාත්මක කාර්යයකි. බොහෝ විට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ශාලාවක් තුළ දේශනයක් කරන විට දක්වන දක්ෂතාවය සාමාන්‍ය කතාවක් කිරීමේදී නොදක්වයි. උත්සවයකදී පිළිගැනීමේ හෝ ස්තූති කතාවක් කිරීමට පවා මැලිවන පිරිස බොහෝ සිටී. ගණිතය වැනි විෂයයක් හමුවේ මුහුණ දී තිබෙන ගැටලුවලින් සමාජය මුදවා ගැනීමට විශේෂඥ දැනුම හා විද්වත් අදහස් සහිත දක්ෂ කථිකයන් අවශ්‍යව තිබේ. එය යුගයේ අවශ්‍යතාවයක් බව කීම අතිශෝක්තියක් නොවේ. යමක් පිළිබඳව විශ්වාසයක් සමාජය තුළ ගොඩනැඟීමට නම් විශ්වාසයෙන් කතාකළ හැකි පිරිසක් බිහි වී සිටිය යුතු ය.

 

  1. සමස්ත අධ්‍යාපන යාන්ත්‍රණය ගැන පුළුල් දැක්මක් !

ශිෂ්‍යයන් කුමන අධ්‍යාපන යන්ත්‍රණයක් ඔස්සේ විශ්වවිද්‍යාල දක්වා පිවිසේ ද? ඒ අතරමග ඔවුන් අධ්‍යාපනයෙන් බැහැර වේ නම්, ඒ වන විට ඔවුන් සතු දැනුම් මට්ටම කුමක්ද? වෘත්තීය පාඨමාලාවකට හෝ රැකියාවකට ඇතුළුවීමට එම දැනුම ප්‍රමාණවත්ද? ගණිතයේ අවශ්‍යතාව කොතෙක් දුරට ඔවුන් වෙත සන්නිවේදනය වී තිබේද? යනාදී සමස්ත යාන්ත්‍රණය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අවධානයෙන් සිටිය යුතුය. සා/පෙළ මට්ටමේ සිට ඉහළ අධ්‍යාපන සුදුසුකම් දක්වා වෘත්තීය පුහුණු පාඨමාලා හා උපාධි පාඨමාලා එක් රාමුවකට ගෙන ව්‍යුහගත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් සිදුකර තිබේ. එක් එක් පාඨමාලාවට ඇතුළත් වීමට තිබිය යුතු සුදුසුකම්, ඉගැන්විය යුතු ඒකක ප්‍රමාණය, වැයකළ යුතු කාලය පිළිබඳ නිර්ණායක එහි ඇතුළත්ය. එහෙත් මේ පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් හා පැහැදිලි එකඟතාවයක් විශ්වවිද්‍යාල මට්ටමින් සිදුවී නොමැත. එහි ගුණ දොස් විචාරීමෙහිලා විශ්වවිද්‍යාල ගණිත ආචාර්යවරුන්ගේ අවධානය ද ප්‍රමාණවත්ව යොමු වී නොමැත. එවැන්නක වටිනාකම තිබෙන්නේ සෑම පාඨමාලාවකම පාහේ ගණිතය සම්බන්ධ යම් යම් සැඟවුනු කඩඉම් තිබිය හැකි නිසා ය. උදාහරණයක් ලෙස ඩිප්ලෝමා, විද්‍යාපති (M.Sc.) ආදී මට්ටම්වලදී ගණිතය සම්බන්ධ මූලික පාඨමාලා ඇතුළත්ව තිබීම දැක්විය හැක.

අවසන් වශයෙන් සාරාංශගත කිරීමට ඇත්තේ ගණිතය විෂයය හැදෑරීමටත්, සමත්කම් දැක්වීමටත් දුක්ගැහැට විඳින ශිෂ්‍ය පරපුරක් හමුවේ හා ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය කැපකරන දෙමාපිය පරපුරක් හමුවේ ඇස් කන් පියාගෙන නොසිට, හැකි දායකත්වයක් විශ්වවිද්‍යාල ගණිත ආචාර්යවරුන් ලබාදිය යුතු බව ය. ඒ දුක්ගැහැට නැමැති කළු වලාවේ රිදී රේඛාව වී අඩුම ගණනේ දොම්නස යම් පමණකට හෝ තුනී කළ හැකි නම්, එය ප්‍රශංසනීය ය.

( මෙය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS) භෞතීය විද්‍යා අංශය (Section E1) මගින් ඉදිරිපත් කරන ලිපි පෙළක එක් ලිපියකි.)

 

ආචාර්ය නලීන් ගනේගොඩ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ගණිත අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *