SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

මිනිස් ජාන සංස්කරණය

ඔබ මෙය කියවන විටත් ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නුවර කැරෝලින්ස්කා ආයතනයේ ජීව විද්‍යාගාරයක මිනිස් කළලයක DNA අනු නොයෙකුත් සංස්කරණයන්ට භාජනය වෙමින් පවතී. පරීක්ෂණ මෙහෙයවන මහාචාර්ය ෆ්‍රෙඩ්රික් ලැනර් පවසන්නේ ඔවුන් අවතීර්ණ වෙමින් සිටින්නේ මිනිස් වංශ කතාවේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට බවයි.

මිනිස් කළලයක DNA අනු නොයෙකුත් සංස්කරණයන්ට භාජනය වෙමින් පවතී

මිනිස් කළලයක DNA අනු නොයෙකුත් සංස්කරණයන්ට භාජනය වෙමින් පවතී

ජාන සංස්කරණය කරන ලද බෝග වර්ග පරිභෝජනයේ ඇති හොඳ නරක පිළිබඳව දීර්ඝ කාලයක් වාද විවාද පවතින අතරතුරම අපේ ආහාර පාන බොහෝමයකට මෙම නිෂ්පාදන ඇතුළත් වී ඇත්තේ බොහෝ දෙනෙකු නොදැනුවත්වම ය. ජාන තාක්ෂණයේ උපයෝගීතාවය පසසන බොහෝ දෙනෙකුගේ තර්කය නම් මෙහිදී ජනනය කරන කෘෂි බෝග රෝගවලට සහ කෘමි උවදුරුවලට දක්වන ඉහළ ප්‍රතිරෝධය නිසා යෙදිය යුතු රසායනික පොහොර සහ කෘමි නාශක ප්‍රමාණය ඉතා අඩු බව ය. මෙය ඉතා ප්‍රබල තර්කයක් බව අප අමතක නොකළ යුතු ය. තවද ඵලදාව වැඩිවීම, ඵලවල පෝෂ්‍ය පදාර්ථ අධිකවීම ආදී කරුණු ද ජාන සංස්කරණයේ යහඵල ලෙස ඊට අනුග්‍රහය දක්වන විද්‍යාඥයෝ සඳහන් කරති.

මිනිස් කළල සංස්කරණයේ යෙදෙන විද්‍යාඥයන් ද පවසන්නේ මීට සමාන අදහසකි. CRISPR-Cas9 නමැති තාක්ෂණ උපක්‍රමය මගින් ලැනර් ගේ කණ්ඩායම මුල් අවස්ථාවේ ඇති මිනිස් කළලවල තෝරාගත් ජාන කිහිපයක් අකර්මණ්‍ය කිරීමෙන් දරුඵල හීනතාවය, ගබ්සාවීම සහ වෙනත් අසාමාන්‍යතා කිහිපයක් පිළිබඳව අධ්‍යනය කරයි. මීට අමතරව දියවැඩියාව, HIV ආසාදනය, අන්ධභාවය, පාකින්සන් ආදී රෝග තත්ව බොහොමයක් මෙම ජාන තාක්ෂණය මගින් මැඩලිය හැකි දැයි ඔවුහු සොයා බලති. අනාගතයේ දී දෙමව්පියන්ට රෝගාබාධවලින් තොර සුපිරි දරුවෙකු ලබාදීම මෙම පර්යේෂණ මාලාවේ අරමුණ විය හැක. මේ ගැන අදහස් දැක්වූ හිතවත් විද්‍යාඥයෙකු කියා සිටියේ, මෙම පරීක්ෂණ සාර්ථක වුවහොත් අනාගතයේ වෛද්‍යවරුන් වැඩි දෙනෙක් ලෝකයට අවශ්‍ය නොවන බව ය.

පරීක්ෂණ සඳහා උපයෝගී කරගන්නා කළල දින දාහතර ඉක්මවීමට පෙර විනාශ කරන බවත් ඒවා මිනිස් ජීවියෙකු ලෙස වැඩීමට අවකාශය නොදෙන බවත් විද්‍යාඥයන් පවසයි. මෙහිදී ඇතිවන සදාචාරාත්මක ගැටලුව නම් කළලයක ජීවය බිහිවන කාල පරිච්චේදය පිළිබඳව නිශ්චිත නිගමනයක් නොමැති වීම ය. බොහෝ දෙනෙකුගේ මතය වන්නේ කළලය ඒක ශෛලික වන මුල් දිනයේම ජීවය ඇතිවන බව ය. එසේ නම් මහාචාර්ය ලැනර් ඇතුළු කණ්ඩායම සිදු කරන පර්යේෂණ මාලාව ම නීතිය ඉදිරියේ ප්‍රශ්න කළයුතු කරුණක් බවට පත් වේ. මෙය පැහැදිලි සංවාදයකට යොමුවිය යුතු ය.

මෙම මිනිස් ජාන සංස්කරණ තාක්ෂණය ආරම්භවන්නේ 2015 වසරේ දී චීනයෙනි. තම ප්‍රථම උත්සාහයන් ව්‍යාර්ථ වුවත් චීන කණ්ඩායම් සිය පරීක්ෂණ දිගටම පවත්වාගෙන යයි. මෑත අනාගතයේ දී තවත් විද්‍යාඥයන් මීට එකතුවනු ඇත. ඊළඟ ගැටලුව වන්නේ යම් අයෙකු අතින් සිදුවන අත්වැරදීමකින් හෝ සිතා මතා සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවකින් ලොව මෙතෙක් නොතිබූ රෝගයක් හෝ විකෘති ජාන සහිත මිනිස් දරුවෙක් බිහි වීමට ඇති ඉඩ ප්‍රස්තාව ය. අප මෙතෙක් සිනමා පටවල පමණක් දුටු අර්ධ මිනිස් වහලුන් හෝ මිනිසාට හුරු අලුත්ම සත්ත්ව කොටසක් බිහිකිරීමට නවීණ විද්‍යාවට ඇති ඉඩකඩ දැන් ඉතා අධිකය. අවාසනාවට ලංකාව වැනි රටවලට මේ සිදුවීම් දෙස බලා සිටිනවා හැර වෙන කරන්නට යමක් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *