SciTech Publishing Corporation (Pvt) Ltd.
පැතලිලන්තය Flatland by Edwin A. Abbott

1. පැතලිලන්තයේ ගති සොබා

අපේ ලෝකයට මම පැතලිලන්තය කියමි. ඒ, අප මේ නමින් එය හැඳින්වූ නිසා හෙම නොව, අවකාශලෝකයේ ජීවත් වන්නට වරම් ලද මා හිතවත් පාඨක ඔබට එහි ගති සොබා ගැන පැහැදිලි අදහසක් ඇති කරගැනීම පහසු වනු පිණිස ය.

ලොකු කඩදාසියක් හිතෙන් මවාගන්න. ඒ මත සරල රේඛා, ත‍්‍රිකෝණ, චතුරස‍්‍ර, පංචාස‍්‍ර, ෂඩස‍්‍ර සහ වෙනත් තල රූප එක තැන නො රැඳී චලනය වන හැටිත් හිතෙන් මවාගන්න. මේවා කඩදාසියෙන් ඉහළට එසවෙන්නට හෝ කඩදාසිය පසාරු කරගෙන පහළට වැටෙන්නට බලයක් නැතිව, හෙවණැලි වගේ ඒ මත ම එහෙ මෙහෙ චලනය වේ – පොඩි වෙනසකට ඇත්තේ, මේ තල රූපවල තිබෙන දිලිසෙන දාර යි. ඔන්න දැන් ඔබට මගේ රටත් එහෙ වෙසෙන ඇත්තනුත් ගැන නිවැරදි චිත‍්‍රයක් මවාගන්නට පුළුවන්. මගේ රට යැයි මෙහි සඳහන් කළාට මොකද, මීට අවුරුදු කීපයකට ඉස්සර මා එයට කීවේ ‘විශ්වය‘ කියලයි. නමුත් දැන් මගේ මනස ඊට එපිටින් ඇති දේටත් විවෘත වෙලා තියෙන්නේ.

flat-1මෙවැනි රටක, ඔබ විසින් ‘ඝන වස්තු‘ යනුවෙන් හඳුවනු ලබන ජාතිය තිබෙන්නට නො හැකි බව ඔබට එකවර ම හැඟී යනු ඇත. කොහොම නමුත් අපට ත‍්‍රිකෝණයක් චතුරස‍්‍රයකින් වෙන් කර හඳුනාගන්නට තරම් දෘෂ්‍ය ශක්තියක් ඇතැ යි ඔබ අනුමාන කරන බව මට කිව හැකි ය. නමුත් ඇත්ත එය නො වේ. අපට මෙවැනි විවිධ හැඩතල දකින්නට හෝ වෙන් කර හඳුනාගන්නට නො හැකි ය. මේ කිසිවක් අපට දර්ශනය වන්නේ නැත. අපගේ දෘෂ්ටි පරාසයට හසු වන යමක් තිබේ ද, ඒ සරල රේඛා ඛණ්ඩ පමණි.
මේසයක් මත කාසියක් තබන්න. දැන් උඩින් එබී බලන්න. ඔබට පෙනෙන්නේ රවුමකි.
මීළඟට, ඔබේ ඇස ක‍්‍රමයෙන් මේසයේ ගැට්ට අද්දරට ගෙන එන්න (මෙලෙස ඔබ අපේ පැතලිලන්තයේ වැසියන්ට වැඩි වැඩියෙන් කිට්ටු වනු ඇත.) – දැන් ඔබට පෙනෙනේ කුමක් ද? ඇස මේස ගැට්ට අද්දරට ළං වන විට කාසිය වඩ වඩා ඕවලාකාර ව පෙනෙන්නට පටන් ගනී. අවසානයේ ඔබ කිසියම් විධියකින් හරියට ම මේස ගැට්ට සමග ඇස් මට්ටම සමපාත කළහොත් (එසේ කළහොත් ඔබ සැබෑ පැතලිලන්තවාසියකුගේ දැක්ම ලබයි), කාසිය තවදුරටත් ඕවලාකාර ව දිස් වන්නේ නැත. ඒ වෙනුවට ඔබ දකිනු ඇත්තේ සරල රේඛා ඛණ්ඩයකි.

ත‍්‍රිකෝණයක්, චතුරස‍්‍රයක් හෝ වෙනත් ඕනෑම තල රූපයකට මෙම පරීක්ෂාව සිදු කර බලන්නට ඔබට පුළුවන. මේසයේ ගැට්ටත් ඇස් මට්ටමත් සමපාත කළ විට ඒ හැම අවස්ථාවක ම ඔබ දකිනු ඇත්තේ හැඩතලයක් වෙනුවට රේඛා ඛණ්ඩයකි. උදාහරණයක් හැටියට සමපාද ත‍්‍රිකෝණයක් ගනිමු. මේ හැඩතලය – එනම්, සමපාද ත‍්‍රිකෝණය අපේ ලෝකයේ සමාජ පංතියක් වන ශිල්පීන් නියෝජනය කරයි. පළමු රූපසටහනෙන් දැක්වෙන්නේ, ඔබ උඩින් එබී බලන විට ශිල්පියකු පෙනෙන ආකාරයයි. දෙවැනි සහ තෙවැනි රූපසටහන්වලින්, ඔබ අපේ ලෝකයට වඩා ළං ව බලන විට ශිල්පියා පෙනෙන අන්දම නිරූපණය වේ. යම් හෙයකින් ඔබේ ඇස අපේ පොළොව සමග හරියට ම සමපාත කළ හැකි වුවහොත්, අපට පෙනෙන්නා වාගේ ම, ශිල්පියා ඔබට පෙනෙනු ඇත්තේ ඉරි කෑල්ලක් හැටියට ය.

අවකාශලෝකයේ ගත කළ කාලයේ මා දැනගත් කරුණක් මෙහිදී සිහිපත් වේ. එනම්, ඔබගේ මුහුදු යාත‍්‍රිකයන් මීට කිට්ටු සංසිද්ධියක් අත්දකින බව යි. ඔවුන් මුහුදේ යාත‍්‍රා කරමින් සිටින විට දුර ඈත දුපතක් හෝ වෙරළක් දකින්නේ ඔය විදියට ය. ඒ ඈත ගොඩබිමේ මුහුද දෙසට හෝ ගොඩබිම දෙසට නෙරා ගිය තැන්, කලපු, තුඩු, බොකු කොතෙකුත් තිබිය හැකි වුවත්, දුර තියා යාත‍්‍රිකයන්ට ඔය කිසිවක් නො පෙනේ. කිසියම් විධියකින් ඔබේ ලෝකයේ ඉර දිලිසි දිලිසී මේවායේ ප‍්‍රතිබිම්බ දකින්නට සැලැස්වුවේ නැත් නම්, ඔවුන් දකින්නේ මුහුදු දිය මත ඇඳුණු අළුපාට ඉරි කෑල්ලක් පමණි.

ඉතින් ඔන්න ඔහොම තමා ත‍්‍රිකෝණාකාර හෝ වෙනත් හැඩයක අපගේ යාළුමිත‍්‍රයන් අප ඉදිරියට එන විට පැතලිලන්තයේ අපට පෙනෙන්නෙ. අපට ඔබට වගේ ඉර පෑයීමක් කියා දෙයක් නැත. ඒ නිසා ඔබේ අවකාශලෝකයේ මෙන් හෙවණැල්ල වැටීමකුත් නැත. හිතවතකු අප ළඟට එන බව ඇසින් හඳුනාගන්නට පුළුවන් වන්නේ, ඔහුගේ රේඛා ඛණ්ඩයේ දිග වැඩි වීමෙනි. ඔහු අපෙන් ඉවතට යන්නේ නම්, ඔහුගේ රේඛා ඛණ්ඩය කුඩා වෙයි. ඒ කොහොම වෙතත් ඔහු අපට පෙනෙන්නේ සරල රේඛා ඛණ්ඩයක් හැටියට මිස ඊට වෙනස් හැඩයක් හැටියට නොවේ. ත‍්‍රිකෝණයකු, සමචතුරස‍්‍රයකු, පංචාස‍්‍රයකු, ෂඩස‍්‍රයකු හෝ වෘත්තයකු වේවා, අපට ඔහු හුදෙක් ඉරි කෑල්ලක් පමණි.

මෙවන් දුෂ්කර ලෝකයක වෙසෙන අප ඔවුනොවුන් වෙන් වෙන් ව හැඳිනගන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නය දැන් ඔබට නැගෙන්නට පුළුවන්. මේ ප‍්‍රශ්නයට උත්තර දීමට වඩා පහසු වන්නේ, අපේ පැතලිලන්තයේ වැසියන් ගැන තරමක් දුරට අවබෝධ කරගත් පසුව යි. ඒ නිසා, මොහොතකට ඒ ප‍්‍රශ්නය පැත්තකින් තබා, අපි දැන් පැතලිලන්තවාසින්ගේ ජීවිතය, ඔවුන්ගේ නිවාස සහ රටේ දේශගුණය වැනි කාරණා කෙරෙහි අවධානය යොදමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *