SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

ගං වතුරට බිය නැත්තෝ

අප දන්නා කාලයක සිට කැළණි ගං මිටියාවතේ වෙසෙන පදිංචි කරුවෝ ගංවතුරට බියෙන් වසර කිහිපයකට වරක් පලායති. ගඟේ ජල මට්ටම ඉහළ යද්දී, පෙර කලදී නම් ගුවන්විදුලියෙන් ද මෑත දශකවල දී නම් රූපවාහිණියෙන් ද ජනතාවට තම නිවාසවලින් ඉවත් වී උස් බිම් කරා යන ලෙස රජය අවවාද කරයි. දින කිහිපයක් පන්සල්, ප්‍රජාශාලවල රැඳෙන ජනතාව පසුව තම විනාශ වූ වාසස්ථාන වෙත නැවත ඇදෙයි. මෙම නිවාස යථා තත්වයට පත් කරගැනීම අති දුෂ්කර කාර්යයකි. මෙම සංසිද්ධිය චක්‍රීයව දිගටම සිදුවෙයි. ලංකාවේ ජනාකීර්ණ ප්‍රදේශ රාශියක් මෙවැනි ගංවතුර තලවල (floodplains) පිහිටා ඇත. කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඒවායින් ප්‍රධාන වේ.house

තායිලන්තය පසුගිය දශක කිහිපයේ දී ජල ගැලීම් නිසා දරුණු ලෙස පීඩාවට ලක්විය. මේ ගැන අවධානය යොමු කළ විද්‍යාඥයන්ට තේරුම් ගියේ, අනාදිමත් කාලයක සිට තායි ජනාවාස බිහිව ඇත්තේ ගං වතුර තලවල බවත් ඔවුන් ගං වතුර තර්ජන අවම කරගැනීමට ඉතා සරළ උපක්‍රමයක් යොදාගෙන ඇති බවත් ය. එනම් තම නිවාස ජලයේ ඉහළ-පහළ පාවෙන ආකාරයට සාදා ගැනීමයි. මෙම නිරීක්ෂණය නිසා උභයචාරී (Amphibious) ගෘහ නිර්මාණ ශිල්පය කෙරේ විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය.

උභයචාරී නිවාසවල මූලික සංකල්පය වන්නේ ජල ගැලීමක දී නිවැසියන්ට තම නිවාසවලින් ඉවත් නොවී ජලය බැස යනතුරු සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකිරීමට පහසුකම් සැලසීමයි. එම නිවෙසක ප්‍රධාන උපාංග තුනකි. නිවසේ පාදමට යටින් පිහිටි උත්ප්ලාවකතා බලය (Buoyant Force) යෙදවෙන කුටීරයක්, සිරස් කණු කිහිපයක් සහ නිවාස ව්‍යුහය සහ සිරස් කණු සම්බන්ධ කරන රාමුවක් ද ඇත. නිවසේ පාදම බිම් මට්ටමට තරමක් ඉහළින් (අඩි තුන හතරක් පමණ) නිමවෙන අතර එහි පහළින් උත්ප්ලාවකතා බල කුටීරය සවි කරනු ලැබේ. මෙමගින් ජල මට්ටම වැඩිවීමත් සමග නිවස ඉහළට ඔසවනු ලැබේ. නිවාස ව්‍යුහය සිරස් කණුවලට ඈඳා ඇති බැවින් නිවස ඉහළ-පහළ පමණක් ගමන් කරන අතර තිරස්ව පාවී යෑම වළකී. මෙහිදී නිවසෙහි බිම් තලය ජලයට ඔරොත්තු දෙන අමුද්‍රව්‍යයකින් සාදා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මුළු ගොඩනැගිල්ලම සැහැල්ලු ද්‍රව්‍යවලින් සදා ගැනීම ද වාසි සහගත ය. වේගයෙන් ගලන ජල ධාරාවකට ඔරොත්තු දිය හැකි පරිදි සිරස් කණු ශක්තිමත් කිරීමත්, නිවාස සංකීර්ණයක් ලෙස ජනාවාසය පවතින විට සියලුම සිරස් කණු බිම් මට්ටමින් පහළ දී කොන්ක්‍රීට් කදම්භ මගින් බද්ධ කිරීමත් සමහර ප්‍රදේශවලට වැදගත්විය හැක.

මෙම උභයචාරී නිවාස නිසා නිවැසියන් ගං වතුර ආපදාවෙන් වැළකුණත් දින කිහිපයක් අවට ලෝකයෙන් වෙන්වී ජීවත්වීමට සිදුවුව හොත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව මැලේසියාවේ පුත්‍රා සරසවියේ අපගේ පරීක්ෂණ කණ්ඩායමේ අවධානය යොමු විය. මේ අනුව මෙම නිවාස සම්පුර්ණ පැකේජයක් ලෙස ලබා දීමේ දී ඊට කුඩා සුර්ය කෝෂ පද්ධතියක්, ජලය පිරිසිදු කර පානීය තත්වයට පත්කර ගත හැකි උපාංගයක් සහ කෙටි කලක දී අටවා ගත හැකි තාවකාලික වැසිකිලියක් ඊට ඇතුළත් කිරීමට මේ අනුව යෝජනා විය. පාරිභෝගිකයාගේ (රජය, රජයේ නොවන ස්වෙච්චා ආයතන, පෞද්ගලික අංශය සහ පුද්ගල මට්ටමින්) මිළ දී ගැනීමේ හැකියාව මත සුළං පිරවිය හැකි බෝට්ටුවක් හා අදාළ උපාංග ද ඊට ඇතුළත් කිරීම අපගේ අදහසයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය ද වෙනත් ස්වෙච්චා සහ පෞද්ගලික ආයතනය ද තම අවධානය යොමු කිරීම යුගයේ අවශ්‍යතාවයකි. මීට විද්වත් ප්‍රජාවගේ උපරිම දායකත්වය ලැබීම ද අනිවාර්යයෙන්ම සිදු විය යුතු ය. ගං වතුරට බිය නැති ජනතාවක් වෙනුවෙන් අපි කටයුතු කරමු.

මහාචාර්ය චන්දිම ගෝමස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *