SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

විද්වතුන්ගේ ඉදිරි දැක්ම බලවතුන්ගේ අවධානයට!

science-policyලංකාවේ සතියකට එක වරක්වත් බොහෝ රූපවාහිණි නාලිකාවල අනාගත වාක්‍ය පවසන්නෙක් දක්නට ලැබේ. ලොව සියළුම සංවර්ධිත රටවල් අද එම ස්ථානයේ සිටින්නේ මීට කලකට පෙර ඔවුන් අනාගතය දුටු බැවිනි. ඒ හක් ගෙඩි, පහන් තිර මත රටේ අනාගතය සැලසුම් කිරීමෙන් නොව මනා විශ්ලේෂණයකින් පසු විද්‍යාවේ සහ තාක්ෂණයේ ඉදිරි පිමි පිළිබඳව දුරදක්නා නුවණින් පිරික්සීමෙනි.

රටකට විද්‍යා-තාක්ෂණය අවශ්‍යය වන්නේ ප්‍රධාන අරමුණු දෙකකටය. ඉන් මුලික වන්නේ රටේ මතුව ඇති සහ මතුවට මතුවිය හැකි ගැටලුවලට විසඳුම් ලබා දීම ය. අනෙක වැඩි දියුණු කළ තාක්ෂණය වෙනත් රටවලට අපනයනය කිරීම හෝ විද්‍යා-තාක්ෂණික දැනුම පිටරටවල ගැටලු නිරාකරණය කිරීම සඳහා ලබා දීම ය.

පසුගිය දශක කිහිපයේ දී ආර්ථික වශයෙන් පෙරමුණට පැමිණි සිංගප්පුරුව, දකුණු කොරියාව, මැලේසියාව වැනි රාජ්‍ය මෙහිදී අනුගමනය කළ මූලික ක්‍රමවේදය වූයේ මුළින්ම ජාතික විද්‍යා සහ තාක්ෂණ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමයි. ඉන්පසු එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික මාර්ගෝපදේශක ක්‍රියාවලියක් හෝ රාමුවක් ගොඩනැගීමයි.

අසල්වැසි ඉන්දියාව විද්‍යා හා තාක්‍ෂණික ප්‍රතිපත්තියකට මුල පුරන්නේ 1958 තරම් ඈත කාලයේදී ය. ඔවුන් වසර 2003 වන විට තම ප්‍රථම විද්‍යා-තාක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරයි. විද්‍යාව මෙන්ම තාක්ෂණයත් ගතික ය. එනම් ඒවා කාලය සමග වෙනස් වේ. සමහර වෙනස්වීම් අපේක්‍ෂා කළ හෝ අනාවැකි පළ කළ ආකාරයට වඩා බොහෝ සෙයින් වෙනස් වේ. මේ අනුව යමින් ඉන්දියාව තම දැක්මෙහි හැරවුම් ලක්ෂයක් 2013 දී ඉදිරිපත් කළේ ජාතික විද්‍යා, තාක්ෂණ සහ නව නිපැයුම් ප්‍රතිපත්තිය එළි දක්වමිනි. පසුගිය දශකයේ දී ඉන්දියාව ලැබූ දැවැත්ත තාක්ෂණික පිම්මේ එක් මුලික හේතු සාධකයක් ලෙස බොහෝ දෙනෙක් මෙම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශන පෙන්වා දෙයි.

ජාතික විද්‍යා සහ තාක්ෂණික කොමිසමෙහි (NASTEC) අප්‍රතිහත ධෛර්ය හරහා වසර 2008 වන විට “ශ්‍රී ලංකා ජාතික විද්‍යා හා තාක්‍ෂණික ප්‍රතිපත්තිය” එළි දැක්වුණි. එතැන් සිට වසර අටක් ඇතුළත එම කොමිසම මගින්ම “ජාතික පර්යේෂණ සහ සංවර්ධන රාමුව” නමින් ඉතා සවිස්තරාත්මක ප්‍රකාශණයක් නිකුත් කෙරුණි. ඒ ඒ විද්‍යා සහ තාක්ෂණික ක්‍ෂේත්‍රවල ඇති ගැටලු ද, එම ක්ෂේත්‍ර තුළින් රටේ සංවර්ධනයට ලබා දිය හැකි දායකත්වය සහ ගත යුතු ක්‍රියා මාර්ග ද සැකෙවින් නමුත් පැහැදිලිව මෙම ප්‍රකාශනයේ සඳහන්ව ඇත. ඉහත ලියවිලි දෙක ගොඩනැගීම වෙනුවෙන් රටේ සිටින ඉහළ විද්වතුන් රාශියක් තම කාලය සහ ශ්‍රමය උපරිමයෙන් වැය කර ඇති බව ඒවා කියවන කාටත් වැටහෙනවා ඇත.

එහෙත් පැනය වන්නේ, මේ දුරදක්නා නුවණින් සිදුකළ මහඟු කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමෙහිලා රටේ දේශපාලන ප්‍රතිපත්ති සම්පාදකයන් කෙතරම් දුරට ක්‍රියාකාරී වී ඇතිද යන්නයි. අවාසනාවකට රටේ මූලික ගැටලු වන අඩු මිල නිවාස, ගං වතුර, පානීය ජල හිඟය, අපද්‍රව්‍ය කළමනාකරණය, වකුගඩු රෝගය, කලින් කලට හිස ඔසවන ඩෙංගු රෝගය, උස් බිම් නාය යෑම ආදිය තවමත් අප ස්වභාව ධර්මයට ම භාර දී ඇත. අනාගතයේදීවත් මේ තත්වය වෙනස් වී බලවතුන්ගේ අවධානය විද්වතුන්ගේ ඉදිරි දැක්ම වෙත යොමුවේවා යැයි අපි ප්‍රර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *