SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

කල් ගතවන තුවාල සුව කිරීමට නව ක්‍රමයක්!

මිනිසුන් වයසට යත්දී වෙනස්වන්නේ බාහිර පෙනුම පමණක් නොවේ. දේහයේ සිදුවන විවිධ ක්‍රියාවලි ද වයසට යත්ම වෙනස් වේ. වයසට යන විට තුවාල සුව වීමට කල් ගන්නා බව පළමුවේන් ම සොයා ගනු ලැබුවේ දෙවැනි ලෝක යුධ සමයේ දී ය. තරුණ සොල්දාදුවන්ට වඩා වයස්ගත සොල්දාදුවන්ගේ තුවාල සුව වීමට කල් ගන්නා බව එහි දී නිරීක්ෂණය කරන ලදී. එහෙත් එහි ජීව විද්‍යාත්මක පදනම කුමක් දැයි දිගු කලත් තිස්සේ රහසක්ව පැවතිණි. එහෙත් ඊට පිළිතුරක් ලබා දීමට දැන් විද්‍යාඥ කණ්ඩායමක් සමත්කම් දක්වා ඇත.

සිරුරේ යම් තැනෙක, තුවාලයක් හෝ සීරීමක් ඇති වූ විට, අනූනන විභාජනය මගින් සෛල බිහි වී එහි අඩුව පුරවාලයි. එමගින් තුවාල වූ තැන හරහා දේහයට විෂබීජ ඇතුළුවීම වැළකේ. මීයන් යොදා ගනිමින් මෙම ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට පර්යේෂකයෝ කටයුතු කළ හ.

තුවාලයක් සිදු වූ පසුව දින කිහිපයක් ඇතුළත අපිචර්මීය සෛල තුවාලය දෙසට ගමන් කිරීම සිදු වේ. තුවාලය අවට ඇති ප්‍රදාහක සෛල සමග එම චර්මීය සෛල සිදු කරන සංඥා හුවමාරුවක් නිසා ඒවා තුවාලය දෙසට චලනය වන අතර වයස්ගත වීමේ දී මෙම සංඥා පද්ධතිය බිඳ වැටීමෙන් තුවාලය සුව වීමට කල් ගත වන බව අනාවරණය වී ඇත.

මෙම සොයා ගැනීමත් සමග වයසක අයගේ කල් ගත වන තුවාල ඉක්මනින් සනීප කිරීමට ක්‍රමයක් සොයා ගත හැකි වනු ඇත. එහි එක් පියවරක් වශයෙන් මීයන්ගේ චර්මීය සෛල යොදා ගනිමින් පරීක්ෂණයක් සිදු කරන ලදී. එහිදී, තුවාලයක් සිදු වූ විට ඒ අවට ඇති ප්‍රදාහක සෛලවලින් නිකුත්වන ප්‍රෝටීනයක් හඳුනාගෙන එම ප්‍රෝටීනය චර්මීය සෛලවලට විද්‍යාගාර තත්ව යටතේ දී ලබා දෙන ලදී. එහි දී අපිචර්මීය සෛලවල චලනය වැඩි වූ බව නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත.

මේ අනුව නුදුරේ දී ම, වයස්ගත වූවන්ගේ තුවාල සුව කිරීම සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි ය.

– තාරා ආනන්දවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *