SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

වී ගොවිතැන නවත්වමුද?

මන්ප්‍රීති සිං පංජාබයේ වී ගොවියෙකි. වසර දහස් ගණනක සිට වී ගොවිතැනට අවශ්‍ය ජලය මන්ප්‍රීති සිංලාට වැසි දෙවියෝ ඕනෑවටත් වඩා ලබා දුන්නේය. එහෙත් දැනට දශක දෙකක පමණ සිට සියල්ල වෙනස් වෙමින් පවතී. පංජාබයට දැන් වැස්ස ලැබෙනවාට වඩා නොලැබෙන වාර ගණන වැඩිය. එදා මෙන් හිතේ හැටියට කුඹුරු වලට දෙන්න ජලය නැත. සමහර විට ජලය අවශ්‍යම කාලයට වැව් පොකුණු සිඳී ඇත.

මේ අවස්ථාවේ USAID ආයතනයේ මැදිහත් වීමෙන් විද්‍යාඥයන් පිරිසක් ඔවුන්ගේ පිහිටට පැමිණියේ ඉතා සරළ විසඳුමක් සමගය. ඔවුන් ඩොලර් 8 ක් පමණ මුදලකට ලබාගත හැකි පසේ තෙතමනය මනින උපකරණයක් ඔවුන්ට හඳුන්වා දුන්නේය. වී වගාවෙන් උපරිම ඵල නෙලීමට සැපයිය යුතු අවම ජල ප්‍රමාණය කෘෂිකාර්මික විශේෂඥයෝ ඔවුන්ට කියා දුන්හ. දිනපතා පසෙහි තෙතමනය මැන, ඊට සරිලන ලෙස ඔවුන් වගාවට ජලය සැපයිය. අද මන්ප්‍රීති සිංලා නියගයට ඔරොත්තු දෙන ගොවියන්ය.

බත් අපගේ ප්‍රධාන ආහාරයයි. එහෙත් බත සපයන වී වගාව අද තර්ජනයට ලක්වී ඇත. ඒ දිනෙන් දින උග්‍ර වන ජල ප්‍රශ්ණය නිසාය. ඊට විසඳුම වී වගාව නැවැත්වීමද?

අද තාක්ෂණය බොහෝ සෙයින් ඉදිරියට ගොස් ඇත.  වී වගාවේදී ජල භාවිතය අඩු කරගන්නා ක්‍රමවේද රාශියකි. වියළි පසෙහි වැඩෙන වී වර්ග හඳුන්වාදීම පළමු ක්‍රමයයි. මේ වන විටත් රටවල් ගණනාවක ඉතා සාර්ථකව මෙම ජලය අවම වශයෙන් අවශ්‍යවන වී වර්ග අත්හදා බලා මහා පරිමාණයෙන් වගාවන් අරඹා ඇත. සමහර විට ලංකාවේද මේ සඳහා පරීක්ෂණ සිදුකර තිබෙනු ඇත. එහෙත් ඒවායේ ප්‍රතිඵල ගොවින් අතරට ගිය බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන්ම නව පරිසර රටාවකට ඔබින අළුත් වී වර්ග හඳුන්වා දෙන විට නොයෙකුත් ගැටළු ඇතිවීම ස්වභාවිකය. එහෙත් පැපුවා නිව් ගිනියාවට හෝ ඉන්දියාවට හැකි වූ දේ අපට නොහැක්කේ මන්දැයි යන්නද ගැටළුවකි.

ඊළඟ ක්‍රමය ජල භාවිතය ප්‍රශස්තකරණය කිරීමයි (optimization). නවීණ වී වර්ග බොහොමයකට ගොයම් පැලය සඳහා නිරන්තරයෙන් ජලය අවශ්‍ය නොවේ. එසේ වැඩිපුර ජලය ලබා දීම සමහරවිට අනර්ථකාරී විය හැක. මේ සඳහා සරළ උපකරණයක ආධාරයෙන් පසෙහි තෙතමනය මැන අවශ්‍ය අවස්ථාවලදී පමණක් කුඹුරට ජලය ඇතුළු කිරීම ඵලදායි ක්‍රමයයි. පසෙහි රඳවන තෙතමනය මැනීමේ උපකරණයක් සහ සංනිවේදන පද්ධතියක් ආශ්‍රයෙන් ගොවියාගේ ජංගම දුරකතනයට ජල අවශ්‍යතාවය පිළිබඳව පණිවිඩයක් එවිය හැකි ක්‍රමවේදයක් ලෙහෙසියෙන්ම නිපදවිය හැක. අපේ ඉංජිනේරු සරසවිවල සිසුන්ට මෙය පහසු කටයුත්තක් බව අපට විශ්වාසය. ගොවියාට පණිවිඩය එවනවා වෙනුවට මෙම සංඥා උපයෝගී කරගෙන කුඹුරට ජලය පැමිණෙන දොරටු පාලනය කිරීම ඊළඟ පියවරයි. මෙය ඉංජිනේරු හෝ විද්‍යා පීඨයක අවසන් වසර ව්‍යාපෘතියක් ලෙස ලබා දිය හැක. සමහර විට මේ ක්‍රමය යොදා ගැනීම සඳහා  දැනට අපගේ කුඹුරු වල පවතින වාරි ක්‍රමයේ සුළු වෙනස් කම් සිදුකල යුතු වනු ඇත. එහෙත් කල යුත්ත කල යුතුය.

මීට අමතරව ජලය ගලා යාමට සැලැස්වීම වෙනුවට ජලය ඉහලට ඔසවා බිදිති ආකාරයෙන් ඉසීම කෙරෙහිද පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත. මෙමගින් යෙදිය යුතු ජල ප්‍රමාණය අඩුවී අස්වැන්න වැඩිවන බව ඔවුන්ගේ අදහසයි. ජලය ඉසීම සඳහා විදුලිය යෙදවීම වියදම් අධික නම් ඒ සඳහා සුළං මෝලක් උපයෝගී කරගැනීම ප්‍රයෝගික බවට අදහස් පලවෙයි.

ගොවියාට පැනයක් ඇතිවන විට “ඔබලාම උත්තරයක් සොයා ගන්න, නැත්නම් ඕක අතහැර දමන්න” යැයි පැවසීම ඔබින ක්‍රියාවක් නොවෙයි. ගොවියා ලඟට ගොස් විසදුම් ඉදිරිපත් කිරීම රටක සිටින විද්‍යාඥයන්ගේ සහ තාක්ෂණවේදීන්ගේ යුතුකමකි. නොඑසේ නම් ඔවුන් බිහි කිරීමට රටේ මුදල් වැය කිරීම අපරාදයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *