SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

සතුන් නොමරා මස් කමු

මාංශ භක්ෂණය අඩු කිරීමට කාලය එළඹ ඇත. ඒ මක් නිසාවත් නොව වැඩිවන ලෝක ජනගහණයට ආහාර සැපයීමේදී සත්ව මාංශ ආහාර මතු කරන බරපතල පැනයක් නිසාය. සරළ උදාහරණයක් ගතහොත් ගව මස් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ආසන්න වශයෙන් ජලය ලීටර 16,000, හරිත ආහාර කිලෝ 7 ක්, ඉඩම් වර්ග මීටර 330 ක් අවශ්‍ය වෙයි. මීට අමතරව මෙම නිෂ්පාදනයේ දී කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 16 ක් පමණ පරිසරයට මුදා හැරෙයි. මේ හා සසඳන විට තක්කාලි කිලෝවක් නිෂ්පාදනයේදී පිටවන කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 0.085, නොගිනිය හැකි තරම් කුඩා ය. අනෙකුත් නිර්මාංශ ආහාර නිෂ්පදනයේදීත් එක් කිලෝවක් සඳහා වැය වන පාරිසරික වියදම මාංශමය ආහාරවලට වඩා ඉතා කුඩා ය. මේ නිසා මාංශ භක්ෂණය ලෝකයට බරක් වෙමින් පවතී.

සතුන් නොමරා මස් කෑමේ සංකල්පය තාක්ෂණ ලෝකය හරහා එළි බසින්නේ මේ පසුබිම තුළ ය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය මෙහිදී මුලිකත්වය ගත්තේය. මාංශ භක්ෂිකයන් විශාල ප්‍රතිශතයක් සිටින මෙම රටවල, ජනතාව අතරින් මාංශ පිළිකෙව් කිරීමේ ප්‍රවණතාවයක් ඇතිවන බව එම රටවල ව්‍යාපාරිකයන්ට පෙනී ගියේය. මෙම ප්‍රවණතාවය ව්‍යාපාරමය අවස්ථාවක් බවට පත් කරගැනීමට ඔවුන් උත්සුක විය. ඒ සඳහා ඔවුන් විද්‍යාඥයන්ගේ පිහිට පැතීය.

මුලින්ම මෙම විද්‍යාඥයන් සිදු කලේ මිනිසුන් මාංශමය ආහාරවලට ගිජු වීමට හේතුව සෙවීමයි. මේ සඳහා මනෝ විද්‍යාඥයන් සහ ජීව විද්‍යාඥයන් එක්ව පර්යේෂණ ගණනාවක් පවත්වන ලදී. ඔවුන්ගේ සොයා ගැනීම වුයේ මාංශවල ඇති රසය පමණක් නොව, එහි වයනය (texture), වර්ණය, දෘඩ බව (හෝ මෘදු බව), සුවඳ, සහ යුෂමය ස්වභාවය (juiciness) ද මාංශ මිළ දී ගැනීමේ දී බලපාන බවයි. මේ ඔස්සේ පර්යේෂණ සිදු කළ තාක්‍ෂණවේදීන් නොයෙකුත් ශාකමය ආහාර වර්ග සහ මුහුදු පැළෑටි යොදාගෙන මාංශ ආහාරවලට ආදේශක සෙවීමට යුහුසුළු විය. මේ වන විට ඔවුන්ගේ උත්සාහයන් ඵල දරා ඇත. සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා සියළුම වර්ගයේ මාංශ ඒ ආකාරයෙන්ම නිර්මාංශ ලෙස නිපදවීමට මෙම විද්‍යාඥයෝ අද සමත් වී ඇත.

මේ සඳහා ආයෝජනය කළ ව්‍යාපාරික ප්‍රජාව ද මේ වන විට සාර්ථක වී ඇත. නොවියහැකි ආහාර (impossible food) ලෙස හැඳින්වෙන මෙම නිර්මාංශ-මාංශ දැන් සදා නිමකළ ආහාර ලෙස වෙළෙඳපොලට පැමිණෙන්නේ ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයක් ලෙසටයි. ගවමස් රසැති නොවියහැකි බර්ගරයක් සහ සැබෑ ගවමස් බර්ගරයක් අතර වෙනස දැඩි ගවමස් ලෝලියෙකුටවත් වෙන් කර හඳුනාගත නොහැකි බව මෙම නිෂ්පාදකයන් පවසයි. මේ වන විට ඔවුන්ට ඇති පැනය නම් ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබා දිය නොහැකිවීම ය. තව ටික කාලෙකින්, තමාට රිසි පරිදි පිස ගත හැකි අමු මස් ආකාරයෙන් මෙම නිර්මාංශ-මාංශ වෙළඳපොලෙන් ලබා ගතහැකි වනු ඇතැයි තාක්ෂණවේදියෝ අනාවැකි ඵල කරති. මෙම නිර්මාංශ-මාංශ ආහාරයට ගැනීමෙන්, මාංශ ආහාරවලින් ලැබෙන සියලුම ප්‍රෝටීන් අවශ්‍යතා සපිරෙන බවට නිෂ්පාදකයෝ සහතික වෙති.

මෙය අප දකින්නේ ලාංකිකයා මග හැර ගත් තවත් එක් ව්‍යාපාරික අවස්ථාවක් ලෙසටයි. නිර්මාංශකරණය වීම පිළිබඳව ලාංකික සමාජය තුළ පුළුල් සංවාදයක් දැන් කලක සිට පවතී. අනෙක් අතට ලංකාවේ මාංශ පරිභෝජනය ද ඉහළ මට්ටමක පවතී. නිර්මාංශ-මාංශ පිළිබඳව පර්යේෂණාත්මක ආයෝජනයකට මෙය ඉතා සුදුසු පසුබිමක් වී තිබුණි. එමෙන්ම කළාපීය අනෙක් රටවල සමාජීය සහ ආගමික පසුබිම මත, එබඳු නිෂ්පාදනයකට ඉතා හොඳ වෙළඳපොළක් බිහිවීමේ ඉඩ කඩ ද පවතියි. එහෙත් අප “සෝයා මීට්” වලින් එහාට සිතුවේ නැත. සමහර විට අප දැනුදු පමා නොමැති වීමට ඉඩ ඇත. තීරණය ඇත්තේ රටේ ව්‍යාපාරික සහ තාක්‍ෂණික ප්‍රජාව අතේ ය.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *