SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

නූපන් ළදරුවන්ගේ සුවදුක් සොයන්න නවීන ක්‍රමයක්

 

 

ශ්‍රී ලංකාවේ එක් වසරක දී නොමේරූ ළදරු උපත් 24,500ක් පමණ සිදු වේ. එලෙස, මවු කුසයෙන් අඩු වයසින් බිහි වීම එම ළදරුවන් ගේ වර්ධනයට හා මුල් ළමා විය සංවර්ධනයට බෙහෙවින් බලපාන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. ඊට ප්‍රධානත ම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අඩු වයසින් බිහිවීමේ දී කලලයට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබී යෑම ය.

සාමාන්‍යයෙන් උපතෙන් පසු ළදරුවෙකුගේ වර්ධනය පිළිබඳ විවිධ මිනුම් ඇසුරෙන් සකස් කරගත් වර්ධන සටහනකට අනුව දරුවා නිසි වයසට අවැසි වර්ධනය ලබා ඇත්දැයි පරීක්ෂා කරනු ලබයි. එලෙසින් ම, දරු උපතට පෙර ද මවු කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය මිනුම් කළ හැකි වර්ධන සටහනක් පසුගිය ඔක්තෝම්බරයේ සිට හඳුන්වා දීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ ගිනිකොණදිග ආසියානු කලාපයේ මෙවැන්න් කළ පළමු රට ශ්‍රී ලංකාව ය. මෙම වර්ධක සටහන ගර්භනී කාන්තාවන්ගේ කුස පිළිසිඳ ගැනීමේ සිට මාස හයක කාලයක් වනතරු කලලයේ වර්ධන දත්ත පරීක්ෂා කළ හැකිවන පරිදි සකසා ඇත.

මෙම නුපන් දරු වර්ධක සටහන නිපදවා ඇත්තේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සිදුකෙරුණු පර්යේෂණයක ප්‍රතිලයක් ලෙස ය. එහි දී, බ්‍රසීලය, චීනය, ඉන්දියාව, ඉතාලිය, කෙන්යාව, ඕමානය, එංගලන්තය හා ඇමරිකාව යන තෝරාගත් රටවල් අටක ගර්භනී කාන්තාවන් 60000ක් පමණ අධ්‍යයනයට ලක් කෙරිණි. ඔවුන්ගේ පිළිසිඳ ගැනීමෙන් අනතුරුව වයස සති 14 ක් පමණ සිට වසර දෙකක් යන තෙක් නිරීක්ෂණය කරන ලදී. එම දරුවන්ගේ වර්ධනය, සෞඛ්‍ය, පෝෂණය හා ස්නායු වර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී. එම තොරතුරු ඇසුරෙන් දරුවන්ගේ දේහ බර, උස හා කපාල විෂ්කම්භය ආදිය මැන බැලීමට වර්ධක සටහනක් සකසන ලදී.

මෙවන් වර්ධක සටහනක් උපයෝගී කර ගනිමින් උපතට පෙර පෝෂණ ඌණතා, වර්ධන වෙනස්කම් හා වෙනත් ගැටලු හඳුනා ගෙන ඒවාට අවශ්‍ය පිළියම් යෙදීමට හැකිවීම වැදගත් කරුණක් ලෙස දැක්විය හැකි ය. උදාහරණ ලෙස පෝෂණ ඌණතා ඇති දරුවෙක් නම් අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය බාහිරින් ලබාදීම මගින් එම දරුවාගේ වර්ධනය බාලවීම වළක්වා ගත හැකි ය.

මේ වන විටත් ළමා හා මාතෘ සෞඛ්‍යය පිළිබඳව ලොව වඩාත් දියුණු රටවල් හා සැලකූ විට වඩාත් ප්‍රශස්ත මට්ටමක සිටින ශ්‍රී ලංකාවට මෙම සොයා ගැනීමත් සමග මානව සංවර්ධන දර්ශකවල තවත් ඉහළට යෑමට හැකිවනු ඇත.

තාරා ආනන්දවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *