SciTech Publishing Corporation (Pvt) Ltd.
Astronomy

ජීවය සොයා යුරෝපා මතට…

පෘථිවියෙන් ඔබ්බේ ජීවයක් පිළිබඳව මිනිසාට ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. ඈත එපිට විශ්වය තුළ ජීවය කෙසේ වෙතත් අප හිරුමඬල තුළවත් ජීවයක් සොයා ගත හැකි නම්…? එහිලා අඟහරු ලොව කෙරේ තබා තිබූ බලාපොරොත්තු සුළුපටු නොවේ. අතීතයේ පටන් මෑතක් වන තුරුම අඟහරු මත ජීවීන් පිළිබඳ බලාපොරොත්තු ලියලා වැඩෙමින් තිබුණි. එහෙත් දැන් අප ඒ වෙත යානා කිහිපයක් ම ගොඩබස්වා ඇත. මේ මොහොත වන විටත් ඉන් ඇතැම් යානාවලින් තොරතුරු ලැබෙමින් තිබේ. කෙසේ වතුදු එහි තවමත්, ක්ෂුද්‍රපරිමාණයේ ජීවයක් හෝ සොයා ගන්නට නොහැකිව ඇත. ඉදින් ඉන් ඔබ්බේ ජීවය සොයා පිරීක්සිය යුතු හොඳම තැන වන්නේ, යුරෝපා ය. එය බ්‍රහස්පතිගේ විශාල චන්ද්‍රෙයකි.

යුරෝපා මත ජීවය සෙවීමේ සිහිනය දැන් යථාර්තයක් වන ලකුණු පහළ වෙමින් පවතී. ඒ වෙත මෙහෙයුමක් දියත් කිරීමේ සැලැස්ම පිළිබඳව වාර්තාවක් පසුගිය දා නාසා ආයතනය විසින් එළි දක්වා තිබුණි. එම වාර්තාවට අනුව මෙහෙයුමේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ, ජීවය පිළිබඳව සෘජු සාක්ෂි සොයා ගැනීම ය.

අනූව දශකයේ මැද භාගයේ පටන්ම පිටසක්වළ ජීවය අරබයා යුරෝපා මූලික ඉලක්කයක්ව පැවතිණි. ඒ එහි අයිස්වලින් සැදි කබොලට යටින් ලුණුදිය පිරි විශාල සාගරයක් ඇතැයි ගැලීලියෝ යානයෙන් ඉඟි කිරීමත් සමග ය. යුරෝපා යනු පෘථිවියෙන් ඔබ්බේ, හිරු මඬල තුළ ඇති පාෂාණමය මුහුදු පතුලක් සහිත ස්ථාන දෙකෙන් එකකි. අනෙක වන්නේ සෙනසුරුගේ චන්ද්‍රයකු වන එන්සිලාඩස් ය. ඒවා අපේ හිරු මඬල තුළ ජීවය සොයා යෑම සඳහා සුදුසු ම ස්ථාන ය.

මෙහෙයුමේ අනෙකුත් අරමුණු  අතර යුරෝපා මතුපිටින් සාම්පල ලබාගෙන පරීක්ෂාකිරීම ද වේ. එමගින් එහි මතුපිට ගති සොබාව මෙන්ම ජීවයට සුදුසු පරිසර තත්වයක් එහි ඇත් දැයි සැක හැර දැන ගැනීමට ද පුළුවන. අනාගතයේ දී සිදු කෙරෙන මෙහෙයුම් සඳහා එය මනා පිටුබලයකි.

“ඇතැම් විටෙක ජීවයක කිසිදු සලකුණක් සොයාගත නොහැකි වුව ද, සාගයරක් සහිත ලොවක් ලෙස යුරෝපා පිළිබඳව අපේ ඇති දැනුම මෙමගින් කැපීපෙනෙන ලෙස වැඩි කෙරෙනු ඇත.“ යි නාසා ආයතනයේන් නිකුත් කළ වාර්ථාවේ දැක්වේ.

මෙම මෙහෙයුම සඳහා ජීවය සොයා ගැනීමේලා වැදගත් වන උපාංග රැසක් ම නිර්දේශ කෙරී ඇත. ඒ අතර යුරෝපා මතුපිට අංශු අතරින් චලනය කිරීමට ස්කන්ධ වර්ණාවලිමානයක්, ක්ෂුද්‍ර ජීවී සෛල පරීක්ෂා කිරීම සඳහා අන්වීක්ෂයක් මෙන්ම සාම්පලවල අණුක සංයුතිය විශ්ලේෂණය කිරීම සඳහා කම්පන වර්ණාවලිමානයක් ද  අන්තර්ගත ය.

ගොඩබෑම සඳහා අහස් දොඹකරයක්

බිම් යානය යුරෝපා මතට ගොඩබැස්වීම සඳහා ‘අහස් දොඹකර‘ පද්ධතියක් භාවිත කෙරෙන බව නාසා වාර්ථාවේ දක්වා ඇත. එය මාර්ස් කියුරියෝසිට් යානය 2012 වසරේ දී අඟහරු මතට ගොඩබැස්වීමට භාවිත කළ පද්ධතියට සමාන වූවකි. එහිදී කුඩා රොකට්ටු සහිත ගොඩබැස්වීමේ යානයෙන් පහළට එල්ලෙන සේ යුරෝපා බිම් යානය සවිකෙරේ. අවශ්‍ය පරිදි කුඩා රොකට්ටු දල්වමින් ගොඩබැස්වීමේ යානය පාලනය කෙරෙන අතර, බිමෙහි ස්වභාවය අනුව ගොඩබෑම සඳහා සුදුසු තැනක් තහවුරු වන තුරු යානය එහෙමෙහෙ කරමින් සෙමෙන් පහළට ගෙන යනු ලැබේ. නිරුපද්‍රිතව බිම් යානය යුරෝපා මතට පහත් කිරීමෙන් අනතුරුව, ඒ හා සබැඳි රැහැන් උනා දමා, කුඩා රොකට් දල්වාලමින් ගොඩ බැස්වීමේ යානය බිම් යානයට හානියක් නොවන තරම් දුරකට ගෙන ගොස් පතිත කෙරේ.

හැත්තෑව දශකයේ අග භාගයේ දී අඟහරු වෙත යැවූ වයිකින් බිම් යානාවලට පසු නාසා ආයතනයෙන් පිහිටි බිමෙහිම පෘථිවියෙන් ඔබ්බේ ජීවය සොයා සිදු කෙරෙන පළමු මෙහෙයුම මෙය වනු ඇත.

මෙය 2020 දශකය මුල දී සිදු කරීමට සැලසුම් කෙරී ඇති අතර, කක්ෂ යානය යුරෝපා වටා 45 වතාවක් සමීපව ගමන් කරවීමට සැලසුම් කර ඇත. එහි දී එහි මතුපිට සිතියම් ගත කෙරෙනු ඇති අතර සාගරය මත පිහිටි අයිස් කබොලේ සංයුතිය සහ ස්වභාවය පිළිබඳව ද සොයා බලනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *