SciTech Publishing Corporation (Pvt) Ltd.
Astronomy

ළඟම තරුවක් වටා පෘථිවිය තරමේ ග්‍රහලෝක හතක් !

පිටසක්වළ ග්‍රහලෝක පිළිබඳ උනන්දු වන විද්‍යාඥයන් සැම විටම සොයා බලන්නේ පොළොව මෙන් ග්‍රහලෝක ඇත් දැයි කියා ය. පෘථිවිය වාගේ ග්‍රහලොවක් යන්නෙන් අදහස් වන්නේ එය, ඉතා උණුසුම් නොවන, ඉතා ශිත ද නොවන ජලය පැවැතිය හැකි පාෂාණමය ග්‍රහයෙකු වීමයි. එය තරුවට වඩාත් කිට්ටු නම් ජලය පැවැතිය නොහැකි ය. සියලු ජලය වාෂ්ප වී යන බැවිනි. තරුවට වඩා ඈතින් පිහිටියත් ද්‍රව ජලය පැවැතිය නොහැක්කේ දැඩි ශිතල නිසා ද්‍රව තත්වයේ කිසිත් නොපැවතී අයිස් බවට පත් වන බැවිනි. පෘථිවිය මෙන් ග්‍රහලොවක් පිටසක්වළින් සොයා ගැනීම එතරම් ම දුෂ්කර වන්නේ එබැවිනි. එහෙත් මේ නව සොයා ගැනීමත් සමග විද්‍යාඥයන්ට වාසනාවක් පෑදී ඇත. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 39ක් ඈතින්, එක ම තරුවක් වටා කැරකෙන පොළොව ප්‍රමාණයේ ග්‍රහලෝක හතක් සොයා ගැනීමට දැන් හැකි වී ඇත.

එම තරුව නම් කර ඇත්තේ TRAPPIST-1 ලෙසිනි. පෙරදී විශ්වාස කෙරුණේ, එහි ඇත්තේ ග්‍රහලෝක තුනක් පමණක් බව ය. එහෙත් දුරේක්ෂ රැසක් යොදා ගනිමින් සිදු කළ නිරීක්ෂණ ඔස්සේ එහි ග්‍රහලෝක හතක් ඇති බව තහවුරු කර ගැනීමට හැකි වී ඇත. එහිදී, සංක්‍රාන්ති ග්‍රහලෝක පිළිබඳ කුඩා දුරේක්ෂය යන තේරුම ඇති Transiting Planets and Planetesimals Small Telescope දුරේක්ෂයත්, චිලියෙහි පිහිටි VLTදුරේක්ෂයත්, නාසාහි ස්පිට්සර් දුරේක්ෂයත් යොදාගෙන තිබේ. මෙම තරුවට නම් තබා ඇත්තේ ද සංක්‍රාන්ති ග්‍රහලෝක පිළිබඳ දුරේක්ෂය යන තේරුමෙනි.

මෙම ග්‍රහලෝක සොයා ගන්නට යෙදුනේ තරුව වටා කැරකෙන ග්‍රහලෝක, එය ඉදිරියෙන් ගමන් කරද්දී ය. තරුව, ග්‍රහලෝක හා පෘථිවිය එක එල්ලේ පිහිටන අවස්ථාවක එය අපට දිස් වනුයේ සංක්‍රාන්තියක් විලසිනි. බුධ හෝ සිකුරු ග්‍රහයාගේ සංක්‍රාන්තියක් සිදු වන අවස්ථාවක් ඔබ දැක තිබෙන්නට පුළුවන. එවැන්නක් අපට දිස් වන්නේ දීප්තිමත් හිරු තැටිය හරහා ගමන් කරන ඉතාම කුඩා කළු ලපයක් විලසිනි. එහෙත් පිටසක්වළ තරුවක සිදුවන සංක්‍රාන්තියක් එසේ පහසුවෙන් දැක ගැනීමට නොහැකි ය. ඒ තරු ඉතා ඈතින් පිහිටන බැවිනි. එහි දී සිදු කරන්නේ, සංක්‍රාන්තියේ දී සිදුවෙන තරුවේ දීප්ත වෙනස ප්‍රබල දුරේක්ෂ මගින් මිනුම් කරීම ය. ඒ අනුව, මේ මේ ප්‍රමාණයේ ග්‍රහලෝක එහි ඇතැයි නිගමනය කළ හැකි ය.

“එකම තරුවක් වටා පෘථිවිය ප්‍රමාණයේ ග්‍රහලෝක මෙතරම් ප්‍රමාණයක් සොයා ගැනුණේ පළමු වැනි වරටයි“ එසේ පවසන්නේ මෙම අධ්‍යයනයට සහභාගි වූ විද්‍යාඥයකු වන එම්මානුවෙල් ජෙහින් ය. ඔවුනගේ පර්යේෂණ පත්‍රිකාව ලොව අග්‍රගන්‍ය විද්‍යා ජර්නලයක් වන ‘නේචර්‘ හි පළ වී තිබේ.

ට්‍රැපිස්ට්-1 තරුව වටා ඇති ග්‍රහලෝක හතෙන් පහක් ම ප්‍රමාණයෙන් බොහෝදුරට පෘථිවිය හා සමාන ය. අනෙක් ග්‍රහලෝක දෙක අපේ ලොවට වඩා මදක් කුඩා ය. ඒවායේ ඝනත්වය අනුව ග්‍රහලෝක හයක්ම පාෂාණවලින් සෑදී ඇති බවත්, තරුවට ඈතින් ම පිහිටි ග්‍රහලොව අයිස්වලින් තැනුනක් බවත් විශ්වාස කෙරේ.

එහි තරුවට කිට්ටුවෙන්ම පිහිටි ග්‍රහලෝක ත්‍රිත්වය මත ජලය නොරැඳීමට තරම් ඒවා උණුසුම් ය. එමෙන්ම ඈතින්ම පිහිටි සත්වැනි ග්‍රහලොව අතිශයින් ම සිසිල් ය. කෙසේ වුවත්, සිව් වැනි, පස්වැනි, හා හයවැනි ග්‍රහලෝක නියම්ත උෂ්ණත්ව පරාසයේ පවතින අතර, ඒවායේ වායුගෝලයක් ඇත්නම්, පොළොවේ මෙන්, සාගර විල් හා ගංගා ද තිබිය හැකි ය. එහි ජලය ඇත් නම්, ජීවය තිබෙන්නට ද හැකියාවක් ඇත.

 

රතු වාමනයෙක් වටා ජීවය පවතී ද?

ග්‍රහලෝක හයක් ම තරුවට බොහෝ සමීපයෙන් ගමන් ගන්නා බැවින්, එහි වසරක් යනු සති දෙකක් හෝ ඇතැම් විට ඊටත් වඩා අඩු කාලයකි. කෙසේ නමුත්, ට්‍රැපිස්ට් – 1 යනු අපේ සූර්යයා මෙන් තරුවක් නොවේ, එය කුඩා අඳුරු පැහැ රතු වාමන තරුවකි. හෙයින්, ග්‍රහලෝක තරුවට සමීප වූවා කියා, අපේ හිරුමඬලේ මෙන් උණුසුමෙන් දැවී යන්නේ නැත. “එය ඉතා කුඩා සංයුක්ත පද්ධතියක්“ “අපේ හිරුමඬල හා සංසන්දනය කළොත්, එහි ග්‍රහලෝක හතම පවතින්නේ බුධ ග්‍රහයාගේ කක්ෂයටත් වඩා අඩු දුරකින්.“ ජෙහින් පවසන්නේ ය.

මෙවැනි කුඩා පද්ධතියක ගුරුත්වය නිසා පුදුමාකර දේ සිදුවිය හැකි ය. ඒවා එක පොදියට ගොනු වී ඇති නිසා එකිනෙකාගේ ගුරුත්වයයෙන් අනෙකාට බලපෑම් කෙරේ. ඒවායේ මධ්‍ය වෙනස් වීම නිසා, එහි උෂ්ණත්වය ජනිත විය හැකි ය. උදම් උණුසුම යනුවෙන් හඳුන්වන මෙම සංසිද්ධිය නිසාවෙනි, අප හිරු මඬලේ යුරෝපා, එන්සිලාඩස් වැනි උප ග්‍රහයන්ගේ අභ්‍යන්තර සාගර පිහිටා ඇත්තේ.

එහෙත් උදම් අගුළු වැටීමක් සිදු වී ඇත්නම් තත්වය බැරෑරුම් ය. අපගේ සඳේ සිදු වී ඇත්තේ එවැන්නකි. සෑම විටම පොළොව දෙසට මුහුන ලා ඇත්තේ සඳේ එක් පැත්තක් පමණි. එවැන්නක් මේ පිටසක්වළ ග්‍රහ පද්ධතියේ සිදුවුවහොත් කුමක් වේ ද? එවිට තරුව දෙසට මුහුන ලා ඇති කොටස නිරන්තරයෙන් උණුසුම් වන අතර අනෙක් පස දැඩි ශිතලේ ගිලෙනු ඇත. එවැනි තැනක ජීවය පැවතීම උගහට ය.

තවත් ගැටලුවක් වන්නේ, තාරකාභෞතික විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට, තරුණ රතු වාමන තරු ඇසුරේ බොහෝ කලබැගෑනි සිදු වේ. එවායෙන් නිරන්තරෙන්ම තාරීය පදාර්ථය අභ්‍යවකාශයට මුදා හැරේ. එවැනි ‘හිරු ගිනිදැල්‘වලින් එහි ඇති ග්‍රහලෝක දවාලනු ඇත. ඒවායේ වායුගෝලය හා ජලය වියකාලමින්, ජීවයට නුසුදුසු පරිසරයක් එහි ජනිත කෙරෙනු ඇත.

එහෙත් පර්යේෂක ජෙහින් පවසන්නේ, රතු වාමන තාරකාවල හැසිරීම පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කළ යුතු බව ය. පර්යේෂක කණ්ඩායම අනුමාන කරන්නේ මෙහි ඇති ග්‍රහලෝක ඈතින් හටගෙන පසුව තරුව සමීපයට ළඟා වන්නට ඇති බවකි. එය එසේ වූයේ නම්, රතු වාමන තරුවේ තරුණ කාලයේ සිදුවන කලබැගෑනිවලින් වැළකීමට ඒවාට ඉඩක් ඇත.

තවදුරටත් අදහස් දක්වන ජෙහින් පවසන්නේ, “අනෙකුත් කුඩා තාරකා එක්ක සංසන්දනය කළාම මේ රතු වාමන තාරකා ඉතාමත්ම නිස්කලංකයි. උදාහරණයක් විදියට ප්‍රොක්සිමා සෙන්ටෝරි එක්ක සංසන්දනය කළොත්….. අපි සුභවාදීව හිතුවොත්, මුල් එකයි අග එකයි අතහැරල අනෙක් ග්‍රහලෝක පහේ වායුගෝලයක් සහ නියමිත පීඩනය තියෙනව නම්, ඒවායේ මතුපිට ද්‍රව ජලය තියෙන්නට පුළුවන්“ කියා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *