SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

බලශක්ති අර්බුදයට විසදුම න්‍යෂ්ටික බලාගාර ද?

අපට ආචාර්ය යමාදා හමුවුයේ මෑතක දී ජපානයේ කළ සංචාරයක දී ය. ඔහු එරට සිටින පරමාණුක බලශක්ති තාක්‍ෂණවේදියෙකි. ඇති වූ කෙටි පිළිසඳරේ දී, ලංකාවේ පරමාණුක බලාගාරයක් සැදීම ගැන ඔහුගේ අදහස අපි විමසුවෙමු. මද සිනහවකින් මුව සරසා ගත් යමාදා මහතා, ලංකාව වැනි රටක් එවැනි ව්‍යාපෘතියක් ගැන සිතීම පවා අනුවණකමක් බව පැවසී ය. මේ ගැන වැඩි දුරටත් කතා කළ ඔහු ජපානයෙන් සරළ උදාහරණයක් ගෙන හැර පෑවේ ය.

වසර 2011 දී ඇතිවූ සුනාමිය, ජපානයේ ෆුකුෂිමා පරමාණුක බලාගාරය අකර්මණ්‍ය කළේ විකිරණ කාන්දුවක් ද සමගිනි. පරිසරයට සහ ජෛව ගෝලයට ඉන් සිදුවූ හානිය සමනය කිරීම සඳහා ජපන් රජයට දැඩි ප්‍රයත්නයක් දරන්න සිදු විය. මේ වන විට, ෆුකුෂිමා බලාගාරයෙන් ලැබුණු ආදායම මෙන් කිහිප ගුණයක් මෙම කාර්ය සඳහා වියදම් වී ඇත. මේ ජපන් ජනතාවගේ බදු මුදල් ය. තවමත් එම ක්‍රියාවලිය අවසන් වී නැත. යමාදා මහතා පැවසුවේ, සිදුවූ ආර්ථික හානියට අමතරව විශාල සමාජීය ගැටලුවක් ද උද්ගතවෙමින් පවතින බවයි. එවකට ෆුකුෂිමා ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල්වල දරුවන් වෙනත් ප්‍රදේශවල පාසල්වලට යන විට, අනෙක් සිසුන් ඔවුන්ගෙන් ඈත්වී සිටීමට උත්සහ කරයි. ඔවුන්ගේ දෙමව්පියන් මෙන්ම සමහර ගුරුවරුන් ද මේ සඳහා අනුබල දෙයි. ඒ මෙම දරුවන් විකිරණශීලී බව පවසමිනි. ෆුකුෂිමා ප්‍රදේශයේ තරුණ තරුණියන්ට විවාහයක් කරගැනීම ද ගැටලුවක් වී ඇත. ඒ ඔවුන් වඳ බවට පැතිරී යන ප්‍රවාද හේතුවෙනි.

න්‍යෂ්ටික බලාගාරයක් ඇරඹීමේ දී විශාල ප්‍රාග් ධනයක් වැය කිරීමට සිදුවෙයි. ඊට අමතරව එය පවත්වාගෙන යෑමේදී එහි ආරක්ෂාව සහ මෙහෙයුම් සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ද දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවෙයි. මෙහිදී බොහෝ දෙනෙකුට මුලදී අමතක වන කාරණය නම් කෙදිනක හෝ බලාගාරය වසා දමන්නට තීරණය කළ විට ඒ සඳහා දැරීමට සිදුවන බර පැනයි. මෙහිදී මූල්‍යමය වියදම්වලට අමතරව ඇතිවිය හැකි පාරිසරික සහ සමාජීය ගැටලු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව ඇත. නාගරික අපද්‍රව්‍ය බැහැර කිරීමත් ජාතික ගැටලුවක් වී ඇති රටකට න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම විසඳිය නොහැකි උභතෝකෝටිකයක් වනු ඇත.

විකිරණ කාන්දුවකදී ඒ අවට වෙසෙන විශාල පිරිසක් කිලෝ මීටර 100 කින් පමණවත් ඈත් කර තැබීමට හැකි භුමි ප්‍රමාණයක් ලංකාවට ඇත්දැයි සිතා බැලිය යුතුව ඇත. මීට අමතරව මෝසම් සුළං පවතින කාලයක දී අනතුරක් සිදු වුවහොත්, සාපේක්‍ෂව කුඩා දිවයිනක් වන ලංකාව වැනි රටක, මුළු ජනගහණයම අධි විකිරණ මට්ටමකට භාජනය වීමට ඉඩ ඇති බව අප තේරුම් ගත යුතු ය.

න්‍යෂ්ටික බලාගාර සඳහා අමුද්‍රව්‍ය, තාක්‍ෂණික උපාංග සහ සේවා සපයන ආයතන වසරකට ඩොලර් බිලියන ගණනක් උපයයි. මීට දශක කිහිපයකට පෙර මෙම බලාගාර ආරම්භ කළ බොහෝ සංවර්ධිත රටවල් දැන් ඒවා ක්‍රමානුකුලව වසා දමන අදියරට පැමිණ ඇත. මේ සමගම, මෙම බලාගාර ආශ්‍රිතව ගොඩ නැගුණු ව්‍යාපාරික අධිරාජ්‍ය ද බිඳ වැටෙන බව කිවයුතු නැත. මේ නිසා ඔවුන් නව ඉලක්ක සොයා යෑම ද නොවැළැක්විය හැකි බව බොහෝ දෙනෙකුට වැටහෙනු ඇත. අප නව බලශක්ති ප්‍රභේදවලට අනුගත විය යුත්තේ මේ පිළිබඳව ද අවධානයෙන් යුතුව ය.

ජර්මනිය අද තම ජාතික ශක්ති අවශ්‍යතාවයෙන් 90% ටත් වඩා ලබාගන්නේ පුනර්ජනනීය බලශක්ති අනුසාරයෙනි. එයින් ද වැඩි ප්‍රතිශතයක් සුර්ය ශක්තියයි. මුළු යුරෝපයම දැන් ඔවුන් අනුගමනය කරමින් සිටියි.

වසර පුරා ඉතා හොඳින් සුර්ය කිරණ පතිත වන ලංකාව, යුරෝපය අතහැර දමමින් පවතින ක්‍රමවේදයක් පසු පස යෑම කොතරම් ඥාණාන්විත ක්‍රියාවක් දැයි සිතා බැලීමට කාලය එළඹ ඇත.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *