SciTech Publishing Corporation (Pvt) Ltd.
ඡායාරූපය- තාරක ගමගේ
විදු වැකිය

අත ළඟ එන බක් මහ අකුණු

ඔබ මේ ලිපිය කියවන විටත් හෙණ කුණාටු ලංකාව පුරා, විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල ඇරඹි තිබෙනු ඇත. වසරකට දෙවරක් ලංකාවේ අකුණු භරිත කාලගුණ තත්වයක් ඇති වේ. ඒ අන්තර් මෝසම් සමය වන මාර්තු-අප්‍රේල් සහ ඔක්තෝබර්-නොවැම්බර් කාල පරිච්ඡේදවල ය.

වසර 2008 යනු ශ්‍රී ලංකාව දරුණු යුද්ධයකට මුල පුරමින් සිටි සමයකි. එම වසරේ මාර්තු අග දිනයක ඉතා ශෝචනීය සිදුවීමක් වාර්තා විය. එදින උදාසන, පොළොන්නරුවේ කටුකැලෙයාව කඳවුරේ පුහුණු කටයුතුවල යෙදෙමින් සිටි හමුදා භට පිරිසක් අකුණු පහරකට ගොඳුරු වීමෙන් සෙබළුන් හතර දෙනෙක් මිය ගිය අතර 59 දෙනෙක් තුවාල ලැබී ය. මෙවැනිම සිදුවීමක් ඊට ටික කලකට පසු නැවතත් සිදු විය. මිනිස් මරණවලට අමතරව අලි ඇතුන්, ගව මහිෂාදී බොහෝ සතුන් ද වරින් වර අකුණු ප්‍රහාරවලට ගොදුරු වී මිය යන අයුරු අප අසා ඇත.

අකුණක් යනු වළාවක සිට පොළවට ගලන විශාල ආරෝපණ ධාරාවකි. ඔබේ ගුවන්විදුලි රසාස්වාදයට බාධා කරන අමිහිරි ඝෝෂාවක සිට මිනිසුන් කිහිප දෙනෙකුගේ මියයෑම දක්වා ජීවිතයට විවිධ මට්ටමේ බලපෑම් සිදුකිරීමට මෙම විදුලි ධාරාවට හැකියාව තිබේ. එබැවින් අප ජීවිත මෙන්ම දේපළ ද අකුණු අනතුරුවලින්වලින් ආරක්ෂා කරගත යුතු ය.

අප මීට වසර කිහිපයකට ඉහත රටවල් ගණනාවක කළ සමීක්ෂණයකින් හෙළිවූයේ ලංකාව ලොව ඉහළම අකුණු ආරක්ෂණ දැනුමක් ඇති ජනතාවක් සිටින රටක් බවයි. මීට හේතු වන ප්‍රධාන කාරණාවකි. ලොව සිටින අකුණු සම්බන්ධ විද්‍යාඥයන් කිහිප දෙනෙකු ම ශ්‍රී ලාංකිකයන් ය. මේ හැරුණු කොට එක පටු විෂය ක්‍ෂේත්‍රයක් සඳහා ලංකාවේ වැඩිම ආචාර්ය උපාධි ගණනක් ඇත්තේ ද අකුණු විද්‍යාවට බව අපගේ හැඟීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සෑම වසරකම අකුණු සමයට පෙර පුවත්පත් සහ ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය හරහා අකුණු ආරක්‍ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. තවද ඉහළ තාක්‍ෂණික මට්ටමකින් සිදුවන පුහුණු වැඩමුළු ඔස්සේ ඉංජිනේරුවන් රාශියක් ද මේ පිළිබඳව දැනුවත් වී ඇත.

එහෙත් අවාසනාවකට, අපේ රටේ අකුණු අනතුරු තවමත් අඩු වී ඇති බවක් නම් නොපෙනේ. වසරකට 25-50 අතර ජීවිත හානි ප්‍රමාණයක් සිදුවන අතර දේපළ හානිය ද සැලකිය යුතු මට්ටමක පවතී. මේ ගැන අප කළ අධ්‍යනයන්ගෙන් එම නිරීක්‍ෂණයට පාදක වන හේතුව හෙළි විය.

මීට වසර 12ක ට පමණ පෙර අප බංග්ලාදේශයේ, භූතානයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර අකුණු ආරක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා පුළුල් වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී බංග්ලාදේශයේ ඉතා පිටිසර නූගත් සමාජ ස්ථර පිළිබඳව අපගේ වැඩි අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ වැඩසටහන් පාසල් සහ ප්‍රජා සේවා මට්ටමින් ක්‍රියාත්මක විය. ඒ සඳහා ජාතික විද්‍යා සහ තාක්‍ෂණ කොමිසම (NASTEC), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC), යුනේස්කෝ, USAID සහ පෞද්ගලික අංශයේ ද සහයෝගය ලැබුණි.

මෙම වැඩසටහනේ පසු විපරමක දී අපට හැඟී ගියේ බංග්ලාදේශයේ ජනතාවට අකුණු ආරක්‍ෂණ ක්‍රමවේද පැහැදිලි කරදීම අපහසු වුවත් ඔවුන් තේරුම් ගත් සංකල්ප ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක මැළි නොවන බවයි. අනෙක් අතට ලාංකිකයා සියල්ල ඉතා හොඳින් අවබෝධ කරගන්නා නමුත් ඔවුන් ඒවා ක්‍රියාවේ යෙදවීමට උත්සහ නොගන්නා බවයි. බොහෝ විට ඔවුන්ගේ අදහස වන්නේ “ඔය කිව්වට ඕක අපිට අදාළ වෙන්නේ නැහැ” හෝ “ඔය දේවල් කරන්න පුළුවන් කාටද” යන සිතුවිල්ලයි.

අනෙක් අතට අකුණු ආරක්‍ෂණ තාක්‍ෂණවේදය පිළිබඳව පුහුණුව ලැබූ බොහෝ ලාංකික ඉංජිනේරුවන්ගේ ප්‍රතිචාරය මීට වඩා වෙනස් විය. ඔවුන් වැඩි දෙනෙක් ලබාගත් දැනුම තම ආයතනවල ආරක්ෂාව උදෙසා ප්‍රයෝගිකව යෙදවීමෙන් බොහෝ යහපත් ප්‍රතිඵල ලබාගෙන තිබුණි. බංග්ලාදේශයේ අපි මෙම සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධ පස නිරීක්‍ෂණය කළෙමු.

ජීවිතාරක්‍ෂණය සඳහා අකුණු අනතුරුවලින් වැලකී සිටීමට පිළිපැදිය යුත්තේ සරළ පියවර කිහිපයකි. ඔබගේ නිවස අකුණු වැදීමේ ඉඩකඩ ඇති ස්ථානයක පිහිටියේ නම් එයට අකුණු ආරක්‍ෂණ පද්ධතියක් සවි කිරීම පළමු පියවරයි. එය දේපළ ආරක්‍ෂාව සඳහා ද වැදගත් වේ.

මීට අමතරව උස් ස්ථානවල හෝ එළිමහනේ නොසිටීම, විශාල ගස් යට ආවරණ සෙවීමෙන් වැළකීම, අනාරක්ෂිත ආවරණ (කැන්වස් කූඩාරම්, පොල් අතු සෙවිලි කළ නිවාස, බස් නැවතුම්පොළ, තාවකාලික මඩු) තුළ නොසිටීම වැදගත් වෙයි. තවත් සැලකිය යුතු කරුණක් නම් භූගත නොකළ ටකරං වහල සහිත නිවසක තුළ රැඳී නොසිටීමයි. එවන් නිවසක් හෝ පොල් අතු සෙවිලි කළ නිවසක ඔබ සිටිය යුතුම නම් එම ගොඩනැගිළි අකුණු ආරක්‍ෂණ පද්ධතියක් මගින් ආවරණය කළ යුතුම ය. මේ සඳහා අඩු මුදලකට අකුණු ආරක්ෂණ පද්ධතියක් පහසුවෙන් සපයා ගත හැක. රජය හෝ රාජ්‍ය නොවන සංවිධානයක් ඉදිරිපත් වී මේ කටයුත්තට අත දෙයි නම් එය ජාතික මෙහෙවරක් වනු ඇත.

මීට අමතරව අකුණු සහිත පරිසරයක් පවතින විට බිම නිදාගැනීමෙන් වැලකීම සහ අනාරක්ෂිත ගොඩනැගිල්ලක සිටින විට බිත්තිවලින් අඩි 6 ක් වත් ඈත් වී සිටීම නුවණට හුරු ය. චාර්ජ් කිරීමට පේනුගත නොකළ, ජංගම දුරකථනයක් භාවිත කිරීමේ කිසිඳු අවදානමක් නැත. ස්ථාවර දුරකථන භාවිතයෙන් වළකින්න.

උපකරණවල ආරක්ෂාව සඳහා ඒවා විදුලි පේනුවලින් මෙන්ම අනෙකුත් සේවා රැහැන්වලින් ද ඉවත් කරන්න. මෙහිදී රුපවාහිනී යන්ත්‍ර සහ wifi පහසුකම් ලබාදෙන උපකරණ ඇත්නම් ඒවා පිටත සවි කළ ඇන්ටෙනාවලින් විසන්ධි කිරීම ඔබට විශාල මුදලක් ඉතිරි කරනවා මෙන්ම, සේවා නොමැතිව දින කිහිපයක් සිටීමේ අපහසුතවයෙන් ද ඔබ මුදවාලයි.

සාමාන්‍ය නිවෙසක ඉහත ක්‍රියාකාරකම්වලින් අකුණු අනතුරු අවම කරගත හැකිය. නමුත් සේවා හෝ නිෂ්පාදන කාර්යාවලි විටින් විට නවතා දැමිය නොහැකි ආයතනවල අකුණු අනතුරුවලින් උපකරණ රැකගැනීම සඳහා මෙම ක්‍රමය භාවිත කළ නොහැක. මේ සඳහා ගොඩනැගිල්ලේ විදුලි සහ අනෙකුත් විද්‍යුත් සේවා සපයන රැහැන් පද්ධති ඒ සඳහාම සැකසුන විශේෂිත අකුණු ආරක්‍ෂණ උපාංග මගින් ආරක්ෂා කළ යුතු ය. මෙම ආරක්ෂණ පද්ධතිය පුහුණු ඉංජිනේරුවකු මගින් නිර්මාණය කරගත යුතු ය.

ලෝකයේ ප්‍රථම වරට අකුණු ආරක්ෂණය යන සංකල්පය පිළිබඳව ග්‍රන්ථයක ප්‍රකාශ වන්නේ ලංකාවේ ය. ඒ බටහිර ලෝකය අකුණු ආරක්ෂණය ගැන සිතීමටත් සියවස් ගණනාවකට පෙරය. ඒ සඳහන් වන්නේ ද ඊටත් සියවස් ගණනාවකට පෙර යොදාගත් තාක්‍ෂණයක් පිලිබඳව ය. එම තාක්‍ෂණය අදටත් නව සොයා ගැනීමකි. මේ ගැන අකමැත්තෙන් වුව ද පිළිගැනීමට බටහිර ලෝකයට සිදු වෙමින් පවතී.

වර්තමානයේ ලංකාවේ සිටින අකුණු පිළිබඳව හදාරා ඇති විද්‍යාඥයෝ වසරකට සැලකිය යුතු පර්යේෂණ පත්‍රිකා ප්‍රමාණයක් ජාත්‍යන්තර සඟරාවල පවා පළ කරති. මෙය පැසසිය යුතු තත්වයකි. එහෙත් ආර්ථික වශයෙන් මේ කිසිවකින් ලංකාවට පළක් වී ඇත්ද? අකුණු විද්‍යාව පමණක් නොව තව බොහෝ ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන්ද පැන නගින උභතෝකෝටික ප්‍රශ්නය එයයි.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

This article has 4 comments

  1. තාරක ගමගේ

    අකුණු ආරක්ෂණය ගැන කියැවෙන ලෝකයේ පළමු වැනි පොත කුමක් ද?

  2. Thanura

    Good one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *