SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

තිරිහන් වෙන්න අලුත් ව්‍යායාම ක්‍රමයක්!

හැම දේටම වඩා හොඳම බෙහෙත ව්‍යායාමය බවයි පැවසෙන්නේ. ඒක අප කාලෙක ඉඳන් දන්න කතාවක්. ඒත් දැන් අලුත් ම පර්යේෂණ මගින් වෙනත් කතාවක් කරලියට ඇවිත්. ඉන් කියැවෙන්නෙ නිරන්තරයෙන් සිදු කෙරෙන කෙටි-දැඩි ව්‍යායාමවලින් වයස්ගත වීම පාලනය කළ හැකි බවයි. වෙසෙසින්ම අපේ ශරීරයේ සෛලවල ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා යන ශක්තිය ජනනය කිරීමේ හැකියාව එමගින් ආපසු හැරවිය හැකි යැයි කියැවෙනවා.

High intensity interval training (HIIT) ලෙස හැඳින්වෙන එම ක්‍රමයේ දී ඉතා කෙටි කාලයකට දැඩි ව්‍යායාමයක යෙදෙනවා. ඉන්පසු, එළඹෙන ඉසිඹුවේ දී මෘදු ව්‍යායාමයක යෙදෙන්න අවැසියි. ඇමරිකාවෙ මිනසෝටා, රොචෙස්ටර් හි පිහිටි මායෝ සායනයේ ශ්‍රීකුමරන් නයිර් සහ ඔහුගෙ සගයන් විසිනුයි මේ පර්යේෂණය සිදු කළේ. එහිදී වයස 18-30 අතර සහ 65-80 අතර පසු වූ අය යොදා ගනිමින් ඔවුන්ට මාස තුනක කාලයක් තිස්සේ කාලාන්තර ව්‍යායාම, බරඉසිලීමේ ව්‍යායාම හා ඒ දෙකෙහිම සංකලනයක් ලෙස ව්‍යායාම සිදු කිරීමට සැලසූවා. ව්‍යායාම සමය පටන් ගැනීමට පෙර මෙන්ම පසුවත් ඔවුන්ගේ සෛලවල ක්‍රියාකාරීත්වය මිනුම් කිරීම සඳහා සාම්පල ලබා ගනු ලැබුවා.

එහි දී පෙනී ගියේ කාලාන්තර ව්‍යායාම සිදු කළ අයගෙන් වයස 65 සහ 80 අතර පසුවූවන්ගේ සෛලවල මයිටොකොන්ඩ්‍රියාවල ශක්තිය ජනනය කිරීමේ හැකියාව සියයට 69කින් ද, තරුණ කණ්ඩායමේ අගය සියයට 49කින් ද ඉහළ ගිය බවයි.

සාමාන්‍යයෙන් වයසත් සමග මයිටොකොන්ඩ්‍රියාවල ක්‍රියාකාරීත්වය ක්ෂය වෙමින් යනවා. එමගින් මහන්සිය ඇති වීමත්, රුධිරයේ වැඩිපුර ඇති සීනි දහනය කිරීමට ඇති හැකියාවත් අඩුවෙනවා. මෙය දියවැඩියා රෝගී තත්වයට අතවැනීමක්. ඒත් දැන් මේ පර්යේෂණය අනුව පෙනී ගොස් තියෙනවා, වයස්ගත කණ්ඩායමේ සෛල ක්ෂයවීම නවතාලීම පමණක් නොවේ, දැඩි-කාලාන්තර ව්‍යායාම මගින් එය නැවත පණගන්වන්නටත් පුළුවන් බව.

එපමණක් නොවේ, මෙමගින් පෙනහළුවල, හදවතේ මෙන්ම රුධිර ගමනාගමනයේ ද යහපත් තත්වයක් ඇතිවෙන බව තහවුරු වී තිබෙනවා.

 

Journal reference: Cell MetabolismDOI: 10.1016/j.cmet.2017.02.009

Leave a Reply

Your email address will not be published. Required fields are marked *