SciTech Publishing Corporation (Pvt) Ltd.
Paleontology

නියැන්ඩර්තාල්ගේ හාදු දීම හා කෑම බීම දත් ඇන්දෙන් හෙළි වේ!

පුරාණ බෙල්ජියමේ ජීවත් වූ නියැන්ඩර්තාල් මානවයා මස් ආහාරයට ගත් අයෙක් වුවත් ඉන් කිලෝමීටර් දාහක් ඈත දැන් උතුරු ස්පාඤ්ඤය ලෙස හඳුන්වන පෙදෙසේ ජීවත් වූ නියැන්ඩර්තාල්වරුන් වෙසෙසින් ම නිර්මාංශ ආහාරවලට පුරුදු වී සිටියා. මේ බව හෙළි වන්නේ අලුත් ම පර්යේෂණයකින්.

ඒ විතරක් නොවෙයි, එහි දී සිදු කළ ඩීඑන්ඒ විශ්ලේෂණයට අනුව ලෙඩ වුණු නියැන්ඩර්තාල් මිනිසුන් ස්වභාවිකව හමුවන වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ ගත් බවටත් හෙළි වෙනවා. වැඩේ කියන්නෙ මෙයාලගෙ මුඛයේ වැඩෙන ක්ෂුද්‍රජීවීනුත් එකිනෙකා අතර හුවමාරු කරගෙන. ඒ මුවට මුව තබා සිපගැනීමෙන් බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නෙ.

නියැන්ඩර්තාල්වරු කියන්නෙ දත්මැදල පුරුද්දක් තියෙන අය නොවෙයි නෙ. ඒක හැබැයි විද්‍යාඥයන්ගෙ වාසියට හිටල. මොකද, දත් නොමැද ඉන්න කොට කාලයත් එක්ක දත්ඇන්ද මත දන්ත අශ්මය ලෙසින් හැඳින්වෙන මැලියම් තට්ටුවක් බැඳෙනවා. වසර දසදහස් ගණනක කාලක් ගත වෙලත් මේ මැලියම් තට්ටුවට මොකුත් වෙලා නෑ.

මේ පුරාණ මානවයන්ගෙ දත්ත අශ්මය තුළ තැන්පත් වුණ ඉතා කුඩා ආහාර කොටස් හඳුනාගන්නට විද්‍යාඥයන්ට හැකි වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවෙ ඇඩෙලෙයිඩ් විශ්වවිද්‍යාලයයේ ලෝරා වේරිච් සහ ඇගේ සගයන්ට දැන් ඒ දන්ත අශ්මය තුළ ඇති ඩීඑන්ඒ විශ්ලේෂණය කරන්න හැකි වෙලා තියෙනවා. එමගින් නියැන්ඩර්තාල්වරු කාපු බීපු දේ ගැන විතරක් නොවෙයි, ඔවුන්ගේ මුඛයේ ජිවත් වූ බැක්ටීරියා වර්ග පවා හඳුනා ගැනීමට හැකි වෙලා තියෙනවා.

මේ කණ්ඩායමේ අවධානය යොමු වුණේ නියැන්ඩර්තාල්වරු තිදෙනෙක් ගැනයි. ස්පාඤ්ඤයේ එල් සිඩ්රෝන් කියන පෙදෙසින් හමු වූ වසර 48,000ක් පැරැණි නිදර්ශ දෙකක් සහ බෙල්ජියමේ ස්පයි නම් පෙදෙසින් හමු වූ වසර 39,000ක් පැරැණි නිදර්ශයක් ඒ අතර වෙනවා. විශ්ලේෂණ ප්‍රතිඵල අනුව කියැවෙන්නෙ බෙල්ජියමේ නියැන්ඩර්තාල් නිරතුරුවම  බූල් පිරුණු රයිනෝසිරස්, බැටළුවන් ආදීන්ගේ මස් සහ හතු වර්ග ආහාරයට ගත් බවයි. ඔහු ශාකමය ආහාර ලබාගෙන නැහැ. ඒත් එල් සිඩ්රෝන් නියැන්ඩර්තාල්වරු ගස්වල පාසි, පොතු සහ හතු වර්ග ආහාරයට ගත් අය. ඔවුන් මාංශ වැළඳූ බවක් පෙනෙන්නට නැහැ.

වෙන මස් නොකෑවට තමන්ගෙ ම අයගෙ මස් කාලා?

“ඒක අපට හරි පුදුමයක්“ එහෙම කියන්නෙ වේරිච්. “නියැන්ඩර්තාල්වරු කියන්නෙ දැඩි මාංශ පරිභෝජනයක් මත පදනම් වූ ආහාර රටාවක් ඇති අය කියලයි හැමතිස්සෙම අප සිතා සිටියෙ. ඒත් එල් සිඩ්රෝන්වලින් හමු වූ මානවයා තුළ කිසිම මාංශ කොටසක් හමු නොවීම අපට හරි අමුත්තක්“

මේ සොයාගැනීමේ ව්‍යංගාර්ථයක් තියෙනවා. එසේ පවසන්නේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයයේ පෝලා විලා. එල් සිඩ්රෝන්වලින් සොයා ගත් නියැන්ඩර්තාල් මානවයගෙ ඇටකටුවල කැපුම් පහරවල් තියෙනවා. ඉන් ගම්‍ය වෙන්නේ ඒ අය තම වර්ගයාගේ ම මස් බුදින්නට ඇති බවයි. “ඒ අය ගොඩක් දුරට ශාකමය ආහාර ගත්ත වෙන්න පුළුවන්. ඒත් ඔවුන් මරා දමපු නියැන්ඩර්තාල්වරයෙකුගෙ මස් බුදින්න ඔවුන් පසුබට නොවෙන්න ඇති“ ඇය වැඩි දුරටත් පවසනවා.

අනෙක් පර්යේෂකයන් පවසන්නෙ, නියැන්ඩර්තාල්වරුන්ට ඔවුන්ගේ වටපිටාවෙදි සතුන් මරා ගන්නට අවස්ථා අඩු වුණාම ඔවුන් ශාකමය ආහාර වැඩියෙන් කන්න පුරුදුවෙන්නට ඇති බවයි. ඒ වගේම මේ පර්යේෂණයෙන් පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ පුරාණ මිනිසුන්ගේ ආහාරයේ හතු සහ වෙනත් පුස්වර්ග වැදගත් සාධකයක් වන්නට ඇති බවයි. “හතුවර්ග ගැන පුරාවිද්‍යාඥයන් ලේසියෙන් ම අමතක කර දමනවා. මොකද පුරාණ බිමක ඒවා නිරුපද්‍රිව පවතින්නෙ නැහැනෙ.“ එහෙම කියන්නෙ හැනා ඔ‘ රිගාන් – එංගලන්තයේ නොටිංහැම් විශ්වවිද්‍යාලයයේ පර්යේෂිකාවක්.

 

නියැන්ඩර්තාල් වෙද්දු

එල් සිඩ්රෝන්වලින් හමු වූ නියැන්ඩර්තාල්වරු දෙදෙනාගෙන් එක් අයෙක් ගැටවරයෙක්. ඔහු මුඛයේ ඇති වූ විශාල සැරව ගෙඩියකින් පීඩා විඳි බවත්, නව ඩීඑන්ඒ විශ්ලේෂණ අනුව ඔහුට පාචනය වැළඳී තිබූ බවත් හෙළි වෙනවා. මින් පෙර කළ අධ්‍යයනවලින් පැහැදිලි කර තිබුණේ එම ගැටයා සිසිල් ගුණ සහිත ශාක කොටස් ආහාරයට ගෙන තිබූ බවයි. එහෙත් නව අධ්‍යයනය අනුව, පොප්ලර් ශාකවල ඩීඑන්ඒ දාම හඳුනා ගැනීමට හැකි වී තියෙනවා. එහි සැලිසිලික් අම්ලය නම් ස්වාභාවික වේදනා නාශකය අඩංගු වී තියෙනවා. (අප දන්නා ඇස්පිරින්වල තියෙන්නෙත් මීට සමීප ක්‍රියාකාරී සංඝටකයක්) ඔහු සිදු කර ඇත්තේ ඒ වෙදකම පමණක් නොවෙයි. ඔහුගේ දන්ත අශ්මයේ ඩීඑන්ඒ විශ්ලේෂණය අනුව, එහි පෙනිසිලින් පුස්වර්ගයේ ඩීඑන්ඒ කොටස් සොයා ගැනීමට ද හැකි වී තියෙනවා. එත් නියැන්ඩර්තාල්වරු වෙදකමක් ලෙස පුස්වර්ග යොදා ගත්තා දැයි හරියටම කියන්න බැහැ. එහෙත් මේ සමග හමුවූ අනෙක් නියැන්ඩර්තාල්වරයාගේ දන්ත අශ්මයේ පෙනිසිලින් කොටස් සොයා ගැනීමට හැකි වී නැහැ. ඉන් ගම්‍ය වන්නේ දතේ අමාරුව තිබූ කෙනා පමණක් බෙහෙත පාවිච්චි කළ බව ද විය හැකියි.

 

ලිංගික සංසර්ගයට පෙර උත්තේජන කටයුතුත් කරලා?

තවත් පුදුමයක් වාර්තා වූයේ, ලෙඩ වූ ගැටයාගේ දන්ත අශ්මයෙන් උකහා ගත් ඩීඑන්ඒ මගින් මුඛයේ වැඩෙන බැක්ටීරියාවක (Methanobrevibacter oralis) ගෙනෝමයක් සොයා ගැනීමෙනි. වරස 48,000ක් පැරැණි මේ නිදර්ශයෙන් උකහා ගත්තෙන් මෙය ජාන අනුක්‍රමය හඳුනාගත් පැරැණිතම ක්ෂුද්‍රජීව ගෙනෝමය ලෙසයි හඳුන්වන්නේ. දැන් ජීවත්වන මිනිසුන්ගේ මුඛයේ වැඩෙන M. oralis නම් විශේෂය සමග මෙය සන්සන්දනය කළා. එහි දී පෙනී ගියේ මේ දෙවගම මීට වසර 110,000 සිට 140,000 කාලයක සිට එකම පූර්වජයෙකුගෙන් පැවත එන බවයි.  මේ කාලය දළ වශයෙන් මිනිසුන් හා නියැන්ඩර්තාල්වරුන් පළමුවෙන් ම සම්මිශ්‍රවීමේ කාලය සමග සමපාත වෙනවා. ඒ අනුව මිනිසුන් හා නියැන්ඩර්තාල්වරු මීට අවුරුදු 110,000කට කලින් සංසර්ගයේ යෙදෙද්දී එකිනෙකාගේ තොල් සිප ගන්නට ඇති.

ඒත් මේ ගැන අදහස් දක්වන තවත් විද්‍යාඥයන් පවසන්නේ, මිනිසුන් හා නියැන්ඩර්තාල්වරුන් එක සමයේ එකම පෙදෙසක ජීවත්වන විටෙක දී ඔවුන් දිය බොන තැන්වලින් මෙන්ම එකෙකු කා ඉවත දමන කෑම වෙනකෙකු කෑමෙන් ද මේ බැක්ටීරියාව හුවමාරු විය හැකි බවයි.

මේ මුඛ බැක්ටීරියාව හුවමාරු විය හැකි තවත් ක්‍රම තිබිය හැකි බව වේරිච් පිළිගන්නවා. එත් මේ තොල් සිප ගැනීමේ කතන්දරය හිතන්න පොලොඹවන සුලු දෙයක්. මොකද අතීතයේ දී සිදු වූ අන්තර්සංයෝග ක්‍රියාවලිය බලයෙන් සිදු වූ දෙයක් ද නැති නම් අන්තර් සහයෝගයෙන් සිදු වූ දෙයක් දැයි තාමත් පැහැදිලි නැති නිසා. මේ කතාව ඇත්තක් නම් අන්තර් සංයෝගය බලයෙන් නොව, හරිම ලෙංගතුකමකින් සිදුවන්නට ඇති.

  • තාරක ගමගේ

 

Journal reference: NatureDOI: 10.1038/nature21674

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *