SciTech Publishing Corporation (Pvt) Ltd.
Space

ග්‍රහක මැට්ටෙන් විකිරණ පළිහක්

අභ්‍යවකාශයේ පාවී එන යෝධ පාෂාණ කුට්ටි හෙවත් ග්‍රහක, පෘථිවි වාසීන්ට තර්ජනයක් විදියටයි සැලකෙන්නෙ. එවැන්නක් පෘථිවියේ ගුරුත්වයට හසුවෙලා පොළොවට කඩාගෙන වැටුණොත් මහත් විනාශයක් වෙන බව කියන්න දෙයක් නෑ. ඒත් මේ ආරංචිය නම්, ග්‍රහකවල උදව්වෙන් අභ්‍යවකාශගාමීන්ගෙ ජීවිත බේරාගන්නා විදියක් ගැන. ගැඹුරු අභ්‍යවකාශයේ දී සිදුකෙරෙන මෙහෙයුම්වල දී අභ්‍යවකාශගාමීන්ට අභ්‍යවකාශ විකිරණයෙන් ආරක්ෂාවෙන්න, ග්‍රහකවලින් උකහාගන්නා මැටිවලින් තැනූ ආවරණ භාවිත කළ හැකි යැයි මේ පර්යේෂණයෙන් කියැවෙනවා.

අඟහරු වෙත ගමන් කිරීම, සඳ මත ජනපද ඇති කිරීම වැනි යෝජිත අභ්‍යවකාශ මෙහෙයුම්වල දී, අභ්‍යවකාශගාමීන් මුහුන දෙන ලොකු ම ‍සෞඛ්‍ය ගැටලුවක් වන්නේ කොස්මික් කිරණවලින් එන විකිරණයෙන් ගැලවෙන එකයි. වසර 2013 දී සිදු කළ අධ්‍යයනයකින් පෙනී ගියේ අඟහරු වෙත ගිහිං ආපසු එන එක් ගමනක දී, අභ්‍යවකාශගාමියෙක් තම ජීවිත කාලය තුළදී ම මුහුන දෙන විකිරණ ප්‍රමාණය තරම් විකිරණයකට අනාවරණය වන බවයි. දැනට කෙටි මෙහෙයුම් සඳහා භාවිත වන ඇලුමිනියම් ආවරණ මේ වගේ දිගු අභ්‍යවකාශ ගමනකට සුදුසු වන්නේ නෑ.

“සඳ මත ජනපද හදනව නම්, අඟහරුට යනව නම්, අපට අභ්‍යවකාශයෙන් ම සොයා ගන්නා අමුද්‍රව්‍ය ඒ සඳහා භාවිත කරන්න වෙනවා.“ එහෙම කියන්නෙ සෙන්ට්‍රල් ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයයේ ඩැනියෙල් බ්‍රිට්.

“පෘථිවියෙන් පිට මධ්‍යස්ථානයක් හෝ ජනපදයක් හදනව නම්, අපට හැමදේ ම වගේ පෘථිවියට එපිටින් සොයා ගන්න වෙනවා“ මිචිගන් තාක්ෂණික සරසවියේ පෝල් වැන් සුසාන්ටේ පවසනවා. බ්‍රිට් කියන්නෙ මේකට උත්තරේ ග්‍රහක බවයි. ග්‍රහක මැටිවල හයිඩ්රජන් බහුලයි. කොස්මික් කිරණවලටත්, ප්‍රෝටෝනවලටත් උදක්ම ඵලදායී ද්‍රව්‍ය වන්නෙ එයයි. බ්‍රිඩ් සහ ඔහුගේ සගයා වන ලියෝස් පෝල් කළ අධ්‍යයනය අනුව, හිරුගෙන් සහ  වෙනත් කොස්මික් වස්තුවලින් එන විකිරණය මැඩීමට දැනට විකිරණ ආවරණ සඳහා භාවිත වන ඇලුමිනියම්වලට වඩා ග්‍රහක මැටිවල ඵලදායීතාවය දස ගුණයකින් වැඩියි.

එත්, ග්‍රහකවලින් මේ මැටි උකහාගන්නෙ කොහොම ද කියන කාරණාව තාම තියෙන්නෙ සාකච්ඡා මට්ටමේ. ශුන්‍ය ගුරුත්වය යටතේ කැනීම් කළ හැකි යන්ත්‍රයක් තාම කවුරුත් නිමවා නැහැ. එහෙත් එය කළ හැකි ආකාර කිහිපයක් තියෙනවා. උදාහරණයක් ලෙස මැටි කියන්නෙ කාන්දම් ගුණයක් නැති ද්‍රව්‍යයක්, එනිසා විශාල කාන්දමක් භාවිත කරල එහි ඇති අනෙක් ද්‍රව්‍ය වෙන් කර ගන්න පුළුවන්.

“අභ්‍යවකාශයේ දී කිසිදෙයක් ලේසිපහසු නෑ. ඒත් යමක් කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා“ බ්‍රිට් පවසනවා.

Journal reference: Advances in Space Research, DOI: 10.1016/j.asr.2016.12.028

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *