SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

පත්තර පිටුවෙන් ඔබ්බට නොයන අපේ කෘෂිකාර්මික සොයා ගැනීම්

මීට වසර කිහිපයකට පෙර පැපොල් කොළවල ඇති ඖෂධීය ගුණය පිළිබඳව ශ්‍රී ලාංකිකයෙකු සොයාගත් බව දැක්වෙන ලිපියක් පත්තර පිටුවක් පුරා පළ විය. ඉන් පසු ගෙවුණු මාස කිහිපයේ දී මේ ලාංකික සොයාගැනීම පිළිබඳව බොහෝ උදම් ඇනුම් වතපොතේ සංසරණය විය. ගිය වසරේ මැද භාගයේ දිනෙක අප උදැසන ආහාරය සඳහා මැලේසියාවේ අවන්හලකට පිවිසි විට එහි තිබූ විශාල දැන්වීමක් වෙතට අපගේ අවධානය යොමු විය. එහි පළ වූ විස්තරය අනුව ඒ වන විට මැලේසියාව පැපොල් කොළ යුෂ පානයක් සාදා වෙ‍ෙළඳපොළට ද හඳුන්වා දී හමාර ය.

අපේ රටේ ඉහළ පරිපාලන නිලධාරීන් ක්‍රෝටන් කොළ කෑමට අප උනන්දු කරවයි. ඒ, රට තුළ ආහාරයට නොගෙන විනාශයට පත්වන එළවලු පළතුරු ප්‍රමාණය සැලකිය යුතු තරම් විශාල අගයක පවතිද්දී ය. 2015 වසරේ දී නෙදර්ලන්තයේ හේග් නුවර සමුළුවක් අමතමින් ලංකාවේ කෘෂිකර්ම ඇමතිවරයා පවසා සිටියේ මෙරට පළතුරු නිෂ්පාදනයෙන් 25%-30%, එළවලු නිෂ්පාදනයෙන් 20%-25% සහ ධාන්‍ය නිෂ්පාදනයෙන් 10%-15% පමණ ප්‍රයෝජනයට නොගෙන විනාශ වී යන බවයි. ප්‍රමාණයෙන් මෙම නාස්තිය ටොන් දහස් ගණනක් වෙයි.

ඉහත දත්ත, මෙරට වාණිජ මට්ටමින් නිෂ්පාදනය කරන බව බෝග පිලිබඳව ය. මීට අමතරව ඉහළ ගුණාත්මක අගයක් සහිත, බෝගයක් ලෙස වගා නොකරන ආහාර වර්ග ද රාශියක් අප රටේ ඇත. ගම් මට්ටමින් සුළබව පරිභෝජනය වන මෙම ආහාර වර්ග ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන ඒම සඳහා කිසිවකුගේ අවධානය යොමු වී නැත.

ආහාර බෝගයක් ආර්ථික නිෂ්පාදනයක් බවට පත් කිරීමේ දී ගත යුතු තාක්‍ෂණික පියවර කිහිපයකි. මේ පිළිබඳව සාකච්චා කිරීමට අපි සරළ උදාහරණයක් ගමු.

නාත්තන්ඩිය පසු කර ලංකාවේ වෙරළබද ප්‍රදේශය හරහා උතුරු දෙසට ගමන් කරන අයෙකුට සෑහෙන දුර කතරක් ගෙවා ගෙන හම්බන්තොට ප්‍රදේශයට එන තුරු සෑම තැනම පාහේ දක්නට ලැබෙන වෘක්ෂයකි. ඒ, තල් ගසයි. කොතරම් තල් ගස් රටේ තිබුණත්, ඉතා රසවත් සහ ගුණදායක තල් ගෙඩියේ මදය ලංකාවේ කී දෙනෙකු රස බලා ඇත් ද? අනෙක් අතට කැනඩාවේ හෝ නවසීලන්තයේ සිටින අය අපහසුවකින් තොරව සුපිරි වෙළෙඳසලේ රාක්කයකින් තල් මද ටින් එකක් ගෙන එය රස බලයි. මේ ඇසුරූ තල් මද මේ රටවලට පැමිණෙන්නේ බොහෝ විට මැලේසියාවෙන්, ඉන්දුනීසියාවෙන් හෝ තායිලන්තයෙනි.

අපි තල් ගෙඩියේ මදය ටින්වල අසුරා වෙ‍ෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීමට සුදානම් වෙතැයි සිතමු.

ඕනෑම නිෂ්පාදනයක් හෝ සේවාවක් ව්‍යාපාරකරණය කිරීමට අදහසක් ඇත්නම් ඒ සඳහා අළෙවි කිරීමේ ශක්‍යතාවය පිළිබඳව වෙ‍ෙළඳපොළ සමීක්ෂණයක් සිදු කළ යුතු ය. විශාල වරායක් ගොඩනැගීමේ සිට ඉඳිකටුවක් වෙ‍ෙළඳපොළට හඳුන්වා දීම දක්වා සියලු ම ව්‍යාපාරික කටයුතුවලට මෙය අදාළ වේ. ලංකාවේ සමහර මෙගා ව්‍යපෘති සම්බන්ධයෙන් පවා මෙම ක්‍රියාදාමය පිළිපැද්දා දැයි සැක සහිත ය.

වසර 2013 දී ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඇරඹි දෙළුම් වගා කිරීමේ ව්‍යාපාරයක් මෙහි දී අපගේ මතකයට නැගේ. මත්තල ගුවන්තොටුපල පාදක කරගනිමින් අපනයනය කිරීම සඳහා වගාකිරීමට දෙළුම් පැළ 20,000ක් ප්‍රදේශවාසීන් අතර බෙදා දෙනු ලැබී ය. එවකට අප කළ සරළ අන්තර්ජාල සමීක්ෂණයකින් හෙළිවූයේ දෙළුම් ව්‍යාපාරයේ පතාක යෝධයන් වන ඉන්දියාව, ඇෆ්ඝනිස්තානය, ඉරානය ආදී රටවල් සමග ජාත්‍යන්තර වෙ‍ෙළඳපොලේ දී අපට කිසිසේත්ම තරග කළ නොහැකි බව ය. එසේම දෙළුම් පැළ 20,000ක් වගා කර, අපනයන වෙ‍ෙළඳපොල පිළිබඳව සිතීමත් හාස්‍යයට කරුණකි. අනෙක් අතට මෙම වගාව දේශීය වෙ‍ෙළඳපොල අරමුණු කරගෙන ඇරඹුවා නම් බොහෝ විට සාර්ථක ව්‍යාපෘතියක් වන්නට තිබුණි. මෙම ව්‍යාපෘතියේ වර්තමාන තත්වය පිළිබඳව අපි දැනගැනීමට කැමැත්තෙමු.

වෙ‍ෙළඳපොල සමීක්ෂණයෙන් පසු අවධානය යොමු විය යුත්තේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ය. තල් ගස ලංකාවේ වියැළි දේශගුණයක් සහිත මුහුදට ආසන්න ප්‍රදේශවල වැවෙන්නේ චිරාත් කාලයක සිට ය. එබැවින් එවැනි ශාකයක් ආර්ථික වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට ඇති තාක්‍ෂණික අවදානම (technical risk) අඩු ය. අනෙක් අතට අපනයන තත්වයට සරිලන විශාල රතු දෙළුම් වැනි ශාකයක් ලංකාවට ආගන්තුක ය. එවැනි අවස්ථාවක වගාවේ විද්‍යාත්මක පසුබිම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු ය.

කෘෂි නිෂ්පාදනයක් අළෙවිකරණයේ දී වැදගත්ම සාධක වන්නේ පාරිභෝගිකයා අතට එය පත්වන විට පවතින රස, ගුණ, සුවඳ, වයනය (texture) සහ වර්ණයයි. පාරිභෝජනය කරන අවස්ථාවේ මේ ගුණ නැවුම් ඵලයට ලංව පවතින තරමට එම නිෂ්පාදය සඳහා ඇති ඉල්ලුම වැඩි වේ. ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව නිෂ්පාදකයා අවධානය යොමු කළ යුත්තේ මෙතැනදී ය. මෙහි දී නවීණ ක්‍රමෝපායන් මෙන්ම පැරණි සහ සාම්ප්‍රදායික ක්‍රමවේද පිළිබඳව ද හැදෑරීමට තාක්‍ෂණවේදියා උත්සුක විය යුතු ය.

මීට ටික කලකට පෙර අපට මුණගැසුණු ඉතාලි ජාතික ආහාර තාක්‍ෂණවේදියෙක් අපට මෙසේ පැවසී ය. ඔහු සේවය කරන සමාගම වියැළි පළතුරු අපනයනය කරයි. මෙහිදී ෆිග් නමැති බොහෝ රටවල ප්‍රසිද්ධ පළතුර වියැළනය කිරීම ඔවුනට විශාල ගැටලුවක් වී ඇත. ඊට හේතුව එය වියැළෙන විට එහි ස්වභාවික පැණි ගතිය පවත්වා ගැනීම අසීරු වීම ය. මෙහිදී ඔවුන් නුතන තාක්‍ෂණය හරහා පර්යේෂණ කරනු වෙනුවට වෙනත් මාර්ගයක් අනුගමනය කර ඇත. එනම්, එම ආයතනයේ විද්වතුන් පිරිසක් මධ්‍යධරණී ප්‍රදේශයේ ෆිග් සඳහා ප්‍රසිද්ධියක් දරණ ගම්මානයක මාස කිහිපයක් පදිංචි වී ඔවුන් අනුගමනය කරන ක්‍රමවේද හැදෑරීමයි. මෙහිදී ලබාගත් සාම්ප්‍රදායික දැනුම නව තාක්‍ෂණය හා මුසු කිරීමෙන් ඔවුන් මේ වන විට ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන වියැළි ෆිග් නිෂ්පාදනය හඳුන්වා දී ඇත.

ආහාර ඇසුරුම්කරණය ඊළඟට ඇති අභියෝගයයි. අවාසනාවකට ලංකාව මේ අංශයෙන් සිටින්නේ ඉතා පසුගාමී තත්ත්වයක ය. අප රටේ එළවලු, පළතුරු, කිරි, බිත්තර ආදී බොහෝ නිෂ්පාදන නාස්ති වන්නේ ඇසුරුම්කරණයේ ඇති අඩුපාඩු නිසාවෙනි. අද වෙ‍ෙළඳපොලේ ඇති තරගය තුළ, ඇසුරුම, ආහාර සුරක්ෂිතව තබා ගැනීම සඳහා පමණක් නොව අලෙවිකරණය සඳහා ද ඍජුව ම බලපායි.

උණ පුරුකක් තුළට අදාළ කුළුබඩු වර්ග තැවරූ මාළුවෙකු ඇතුළු කර මද ගින්නේ පිසගැනීම වසර සිය ගණනක සිට මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව ආදී රටවල පැවත එන සම්ප්‍රදායකි. අවන්හලක නම්, එම උණ පුරුකට තවත් උණ බට කොටසකින් මූඩියක් ගසා මෙම පිසන ලද මාළුවා අලෙවිකරයි. ලොව පුරා හරිත නිෂ්පාදන රැල්ලක් පැතිර යන මේ අවධියේ, මෙම උණ පුරුකේ දැමු ආහාර සඳහා සමාජයේ ඉහළ ඉල්ලුමක් ඇතිවිය හැකි බව මෙම රටවල නිෂ්පාදකයෝ වටහා ගත්හ. අද උණ පුරුකේ දමා පිසූ මාළු පමණක් නොව වෙනත් ආහාර වර්ග රාශියක් ද මේ රටවල වෙ‍ෙළඳපොලේ ඇත. එම ව්‍යාපාරය සඳහා ම සමහර උණ වර්ග ආර්ථික වගාවක් බවට පත් වී ඇත.

මීට දශක කිහිපයකට පෙර ලංකාවේ ගම්බද මෙන්ම නගරබද කඩවල ද සුලභව දක්නට ලැබුණු නිෂ්පාදනයකි. ඒ, පුවක් කොළපුව නවා සැදූ භාජනයක ඇසුරු පොල් සහ කිතුල් පැණි ය. මෙය එකල පැණි මුල නමින් හැඳින්විණි. මෑත කාලයේ දී මෙම නිෂ්පාදනය අපට දක්නට ලැබී නැත. පැණි පමණක් නොව තවත් ආහාර වර්ග රාශියක් ඇසිරීමට පුවක් කොලපුව භාවිත කළ හැකි බවත්, එය අනාගත වෙළඳපොළට හොඳ ආයෝජනයක් බවත් මීට දශකයකට පෙර අපගේ නිෂ්පාදකයෙක් අවබෝධ කරගත්තා නම්, ලංකාවේ වැනසී ගිය පුවක් ගස් විශාල ප්‍රමාණයක් රැකෙන්නට ඉඩ තිබුණි.

නව නිෂ්පාදන හෝ සේවා හරහා වෙ‍ෙළඳපොල ජයගැනීමට විද්‍යා-තාක්‍ෂණ හැකියාව සහ ව්‍යාපාරික ඥානය යන දෙකෙහි ම මනා සංකලනයක් අවශ්‍ය වේ. ඒ සමගම නොපෙනෙන මානයේ පවා ඇති ආර්ථික අවස්ථාවන් ක්‍ෂණිකව දැකීමේ විදු නෙත් තිබීම ද ඉතා ප්‍රයෝජනවත් වෙයි.

මැලේසියාවේ වනාන්තරවල කිතුල් ගස් විශාල වශයෙන් පවතිනු අපි කිහිප වරක් නිරීක්ෂණය කර තිබුණි. ලොව දැනට විශාලතම ඉල්ලුමක් ඇති පැණි වර්ගය වන්නේ මේපල් සිරප් ය. ඊට හොඳම ආදේශකයක් වූ කිතුල් පැණි පිළිබඳව මැලේසියානු කෘෂි කාර්මික අංශයේ අවධානය යොමුවී තිබුණේ නැත. මැලේසියානුවන් කිතුල් පැණි පිළිබඳව සාම්ප්‍රදායිකව දැන සිටින බවක් ද පෙනෙන්නට නැත. මීට මාස කිහිපයකට පෙර පුත්‍රා සරසවියේ තිබු කෘෂි ප්‍රදර්ශනයක දී හමුවූ විද්වතුන් පිරිසක් සමග කෙරුණු සුහද පිළිසඳරක දී ලංකාවේ කිතුල් වගාව සහ කිතුල් පැණිවල ඇති ඉමිහිරි රසය පිළිබඳව අපි සරළ කතා බහක යෙදුනෙමු. එය ඇත්තටම ලංකාවේ කෘෂිකර්මය පිළිබඳව යම් පමණක උදම් ඇනීමක් විය. අප කිතුල් පැණිවල ව්‍යාපාරික ශක්‍යතාවය පිළිබඳව පළකළ අදහස් සාවධානව අසා සිටි මෙම විද්වතුන් එම අවස්ථාවේම තම පරිඝනක දිග හැරගෙන ගූගුල් සෙවීම ඔස්සේ මේ පිළිබඳව ඇති විස්තර සහ පර්යේෂණ පත්‍රිකා පිරික්සන්නට විය.

මේ වන විට ඔවුන් විද්වත් කමිටුවක් හරහා මැලේසියාව තුළ කිතුල් වගාව ව්‍යාප්තකිරිම සහ ඒ පිළිබඳව ජාත්‍යන්තර වෙළෙඳපොල ශක්‍යතා අධ්‍යනය නිම කර ඇති බව සැළ ය.

ලංකාවට අවශ්‍යවන්නේ ද මෙවන් විද්‍යා-තාක්‍ෂණ සහ ව්‍යාපාරික දැක්ම සංකලනය වූ විද්වතුන් පිරිසකි.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

This article has 1 comment

  1. Dilip Fernando

    A meaningful timely article with exceptionally written. Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *