SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

ගල් අඟුරු අළු: හිසරදයක් කරගත් ධන උල්පතක්!

ඔබට දියුණු වීමට අවශ්‍ය නම් මී කුණකින් වුව ද ඔබේ ගමන ඇරඹිය හැකි බව බෞද්ධ පොත පතේ සඳහන් වේ. මේ කතාව අපට සිහිගැන්වෙන්නේ පසුගිය සතියේ ලංකාවේ පැවැත් වූ අකුණු ආරක්‍ෂණ පුහුණු වැඩ මුළුවක දී ඇති වූ සංවාදයක දී ය. මෙම වැඩමුළුවට සහභාගී වූ තරුණ ඉංජිනේරුවරියන් පිරිසක් අප සමග පැවසුවේ ගල් අඟුරු බලාගාර ආශ්‍රිතව නිපදවෙන අතුරු ඵලයක් වූ අළු ඔවුනට මහත් හිසරදයක් වී ඇති බවයි. එබැවින් ඒ සඳහා විසඳුමක් සෙවීමට මේ උද්‍යෝගිමත් ඉංජිනේරු පිරිස මහත් උත්සහයක් ගනිමින් සිටින බව අපට වැටහුණි. රටේ තරුණ ජවය තුළ මෙබඳු ආකල්ප දක්නට ලැබීමත් වාසනාවකි.

ගල් අඟුරු බලාගාර සඳහා විරෝධය පාන පිරිසගේ එක් ප්‍රධාන තර්කයක් නම් මෙම ඉවතලන අළු නිසා විශාල පරිසර හානියක් සිදුවෙන බව ය. ඊට හේතු ලෙස ඔවුන් පවසන්නේ මෙම අළු ඉතා සියුම් බැවින් ඒවා වා තලයට එකතුවීමෙන් පෙනහළු ආසාදන සෑදීමට ඉඩකඩ ඇති බවත්, මෙම අළුවල ඇති බැර ලෝහ පසට එකතු වීමෙන් නොයෙකුත් සෞඛ්‍ය ගැටලු මතු විය හැකි බවත් ය.

ගල් අඟුරු බලගාරයකින් දෙයාකාරයක අළු නිකුත් වේ. ඒ, ඉතා තුනී පියාසර අළු (fly ash) සහ ප්‍රමාණයෙන් ඊට වඩා විශාල අංශු සහිත පහළ අළු (bottom ash) ය. පියාසර අළු සහ පහළ අළු අතර අනුපාතය බොයිලේරු හා ගල් අඟුරු වර්ගය මත පදනම් වෙයි. සාමාන්‍යයෙන් මෙම අනුපාතය 70:30 සිට 80:20 දක්වා පරාසයක වේ. මෙම අළු දෙවර්ගයේ සංයුතිය තරමක් වෙනස් ය. එම සංයුතීන් පදනම් වන්නේ ගල් අඟුරු වර්ගය (විශේෂයෙන්ම ගල් අඟුරු ලබා ගන්නා රට සහ ප්‍රදේශය) මත ය.

අවශ්‍යතාවය ඇත්නම් සහ අප දක්‍ෂ නම් මෙම අළු හිසරදය රටකට ධනය ගෙන එන උල්පතක් බවට පත් කරගත හැකි බව මීට වසර කිහිපයකට පෙර අපට අවබෝධ විය. මැලේසියාවේ පුත්‍රා සරසවියේ විද්‍යුත් ඉංජිනේරු අංශයට අයත් වුවත් අපගේ පර්යේෂණ පරාසය ඉතා පුළුල් ය. එබැවින් පටු විෂය ක්‍ෂේත්‍රයක ගැඹුරට ම හදාරන විදු පිරිසකට වඩා පුළුල් වපසරියක ඇති තාක්‍ෂණික ශක්‍යතාවයන් අපට පෙනෙයි. එහි ප්‍රථිඵලය වුයේ යෙදුම් රාශියක් සඳහා මෙම අළු වර්ගය යොදාගත හැකි බව අපට පෙනී යෑම ය. තවමත් පර්යේෂණ මට්ටමෙන් පවතින බැවින් මෙම යෙදුම් බොහොමයක් පිළිබඳව හෙළි කිරීමට අපට නොහැක. එහෙත් ලංකාවේ උන්නතිය වෙනුවෙන් මෙම අළු විශාල ප්‍රමාණයෙන් යොදාගත හැකි එක් ආකාරයක් පිළිබඳව පහත විස්තරය පළ කිරීමට සිතුවෙමු.

දකුණු සහ අග්නිදිග ආසියාතික කළාපයේ ඇති එක් ප්‍රධාන පාරිසරික ගැටලුවක් නම් බෑවුම් නාය යෑම ය. මෙයට එක් විසඳුමක් වන්නේ පස රඳවා තබාගැනීමේ පවුරු (retention walls) සැදීමයි. සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් යොදාගෙන සාදන මෙම පවුරු ඉතා මිළ අධික විසඳුමකි. මේ සඳහා ගල් අඟුරු අළු, බෙන්ටොනයිට් සහ සිමෙන්ති යොදාගෙන මිශ්‍රණයක් සාදාගත හැකි බව අපි සොයාගතිමු. බෙන්ටොනයිට් යනු මැටි වර්ගයකි. ඉතා අනර්ඝ තත්වයේ බෙන්ටොනයිට් ඉතා අඩු මිලකට පකිස්ථානයෙන් ආනයනය කළ හැක. ලංකාවේ බෙන්ටොනයිට් නිධි පවතීදැයි තවමත් සොයාගෙන නැත. (ඒවා සාමාන්‍යයෙන් ඇත්තේ කඳු වශයෙනි). පකිස්ථානයේ මෙන්ම ඉන්දියාවේ ද සුලභව ඇති මේ මැටි වර්ගය ලංකාවේ ද පැවතීමට ඉඩ ඇත. කොන්ක්‍රීට්වලට සාපේක්ෂව මෙම මිශ්‍රණයෙන් රැඳවුම් පවුරු සෑදීම ඉතා ලාබදායකය. එමගින් පරිසරයෙන් අළු ඉවත් වන නිසා මෙය දෙයාකාරයකින් සුබ ඵල ගෙන දෙන නිෂ්පාදනයකි.

මෙම තාක්‍ෂණ ක්‍රමවේදය සඳහා ආයෝජනය කිරීමට පෙර සිදු කළයුතු වැදගත් කාර්යයක් ඇත. එනම් ලංකාවේ බලාගාරවලින් ඉවතලන පියාසර අළු සහ පහළ අළු යන වර්ග දෙකේම රසායනික සංයුතිය වෙන වෙනම පිරික්සීමයි. ඉහත සඳහන් කළ මිශ්‍රණයෙන් රැඳවුම් පවුරු සෑදු විට බැර ලෝහ පසට එකතුවීමේ ඉඩකඩ ඉතා අඩු ය. එහෙත් මේ පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ කළ යුතු ය. එහෙත් පැහැදිලිවම ගැටලුවක් ඇතිවන්නේ අළුවල විකිරණශීලි මූලද්‍රව්‍ය පැවතිය හොත් ය. එවැනි අවස්ථාවක නිෂ්පාදන පිළිබඳව සොයා බැලීමට පෙර එම අළු නිසා සිදුවිය හැකි බොහෝ අන්තරායන් පිළිබඳව සොයාබැලිය යුතුව ඇත. ඒ, අළු පවතින පරිසරයේ වෙසෙන ජනතාවට මෙන්ම සේවකයන්ට ද තදබල සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි නිසාවෙනි. සාමාන්‍යයෙන් ගල් අඟුරු මිලදී ගැනීමට පෙර අදාළ අළුවල සංයුතිය විශ්ලේෂණය කළ සහතිකයක් සැපයුම් කරුගෙන් ලබාගැනීම මෙන්ම, ගැනුම් කරු වෙනම ම සහතිකයක් ලබාගැනීම ද පිළිගත් ක්‍රියාපටිපාටියයි. මෙහිදී විකිරණශීලි මුලද්‍රව්‍ය ඇත්නම් එම ගල් අඟුරු මිලදී ගැනීමෙන් වැළකීමට බලධාරීන් පියවර ගනියි. ලංකාවේ ද මෙම ක්‍රියාවලිය අනුගමනය කරනවා ඇතැයි අපි සිතමු. එබැවින් මෙම විකිරණශීලි ද්‍රව්‍ය ගැටලුව මෙහිදී ඇති නොවනු ඇත.

මෙම ලිපියෙන් ඔබට ගල් අඟුරු අළු ධනය බවට පත්කරගැනීමට අපි අදහසක් දුනිමු. ඒ පිළිබඳව වැඩි දුර පර්යේෂණ පවත්වා ඉහළ තත්වයේ නිෂ්පාදනයක් බිහි කිරීම ලංකාවේ සිටින ඔබට බාරය.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *