SciTech Publishing Corporation (Pvt) Ltd.
Astronomy

විශ්වයේ ජීවය සොයන්න රතු වාමනයන්ගෙන් අලුත් දොරටුවක්!

ඇමරිකාවේ නාසා ආයතනයහි ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු හා කණ්ඩායම් අධීක්ෂකයෙකු වශයෙන් සේවය කරන ආචාර්ය සරත් ගුණපාල, පසුගිය දා සිය මව්බිමට පැමිණියේ ඔහුවෙත පිරිනැමුණු ශ්‍රී ලංකා රංජන සම්මානය ලබා ගැනීම සඳහා ය. මෙහි පළවන්නේ එහි දී ඔහු හා කළ කෙටි පිළිසඳරකි.  

 

ආචාර්ය ගුණපාල ශ්‍රී ලංකා රංජන සම්මානය හා සන්නස් පත්‍රය අතැතිව…

හදිසියේ ම ඔබ මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ සම්මානයක් ලබා ගන්නයි. මුලින්ම අපි ඒ ගැන කතා කළොත්?

මට ලැබුණෙ ශ්‍රී ලංකා රංජන කියන සම්මානය. විදේශීයයෙකුට පිරිනැමෙන දෙවැනි ඉහළ ම සම්මානය එයයි. මොකද මම දැන් ශ්‍රී ලාංකිකයෙකු නොවෙයි. (ඇමෙරිකානු රජයේ තනතුරු දරන්නෙකුට ද්විත්ව පුරවැසිභාවය තබා ගත නො හැකි ය.) මේක මට පිරිනැමුනෙ ශ්‍රී ලංකාව තුළ විද්‍යාව දියුණු කිරිමේලා මා කළ සේවය වෙනුවෙන්. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීම වෙනුවෙන්.

මෑතක දී පෘථිවිය හා සමාන ග්‍රහයින් ඇති පද්ධතියක් සොයා ගැනීමට හැකි වීමත් සමග ම පිටසක්වළ ග්‍රහලෝක පිළිබඳ උනන්දුවක් ඇති වූවා. දැන් පවතින තත්වය කුමක් ද?

මීට අවුරුදු විස්සකට කලින්, ලෝකයේ අග්‍රගන්‍ය තාරකාවිද්‍යාඥයන්ට පවා අදහසක් තිබුණෙ නෑ පිටසක්වළ ග්‍රහලෝක හරියටම තියෙන්නෙ කොහෙද කියල. හැම මන්දාකිණියකම එක්තරා තරු ප්‍රමාණයක ග්‍රහලෝක පිහිටන්නට පුළුවන් කියලයි හිතාගෙන හිටියෙ. ඒවා පොළොව වගේ පාෂාණමය හෝ බ්‍රහස්පති වගේ යෝධ වායුමය ග්‍රහලෝක වෙන්න පුළුවන් කියල හිතුව. මාත් මේ වගේ ග්‍රහලෝක පිළිබඳව සොයා බලන තාරකාවිද්‍යාඥ පිරිසක් සමග වැඩ කළා, ඔවුන්ට වුවමනාකරන උපකරණ නිර්මාණය කර දෙමින්.

වායු වලාවකින් තාරකාවක් ඇති වුණාම ඒ වායුවලාවෙ ඉතිරි කොටස් වළල්ලක් ආකාරයෙන් තරුව වටා පිහිටනවා. එයින් තමයි ගුරුත්වය යටතෙ පස්සෙ කාලෙදි ග්‍රහලෝක හැදෙන්නෙ. ඒත් අවුරුදු විස්සකට කලින් ඒ වගේ නිරීක්ෂණ කිරීම හරිම අමාරු කාරියක්. ඒ කාලෙ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ හිටිය ජෙෆ් මාක්  කියල මහාචාර්යවරයෙක් ඉහළ විභේදනයක් සහිත දෘෂ්‍ය කැමරාවලින් මුළු අහසම පිරීක්සූවා. එහිදී ඔහුට පෙනී ගියා සමහර තරු සුළුවශයෙන් සෙලවෙන බව. මේ වෙන්නෙ මොකක්ද කියල තාරකා විද්‍යාඥයන්ට අදහසක් තිබුණා. ඒ තරු සෙලවෙන්නෙ, ඒ වටා කැරකෙමින් තියෙන විශාල ග්‍රහලෝකවල ගුරුත්ව බලපෑම නිසා. උදාහරණයකට අපේ හිරු මඬල සැලකුවහොත් හිරු වටා කැරකෙමින් ඇති යෝධ බ්‍රහස්පති ග්‍රහයාගේ බලපෑම නිසා සූර්යයා මදක් සෙලවීමට ලක්වෙනවා. බ්‍රහස්පති හිරු වටා වටයක් සම්පූර්ණ කරන්න අවුරුදු 20ක් විතර ගන්නවා. සෙනසුරු හිරු වටා යන්න අවුරුදු 30ක් විතර ගන්නවා. දෙවැනියට විශාලතම ග්‍රහලෝකය සෙනසුරු. ඉතින් මේ දෙකේම මධ්‍යයන කාලය ගත්තොත් අවුරුදු 22ක් විතර වෙනවා. ඒ අනුව සිදුවන සූර්යයාගෙ ‘සෙලවීම‘ අවුරුදු 22ක ආවර්ථයක් ලෙස දකින්න පුළුවන්. ඉදින් තාරකා විද්‍යාඥයන් තරුවල මේ ‘සෙලවීම‘ ඇසුරින් ග්‍රහපද්ධති සොයා ගැනීමේ ක්‍රමයක් නිර්මාණය කර ගත්තා. හැබැයි මේ ක්‍රමයෙන් සොයා ගන්න පුළුවන් යෝධ ග්‍රහලෝක විතරයි. ඒ වගේම තරුව වටා වේගයෙන් කැරකැවෙන ග්‍රහලෝක විතරයි. මොකද දැන් කවුරුහරි අපේ සූර්යයාගෙ සෙලවීම නිරීක්ෂණය කරනව නම් අවුරුදු 22ක් නිරීක්ෂණය කරන්න වෙනවනෙ. එනිසා මේ ක්‍රමය එතරම් සාර්ථක වූයේ නෑ.

පිටසක්වල ග්‍රහලෝක සෙවීමට අද වන විට භාවිත වන සාර්ථක ක්‍රම මොනවා ද?

ඉතිං, කාලය ගතවීමත් සමගම තාරකා විද්‍යාඥයො වෙනත් ක්‍රම සොයා ගත්තා. ඉන් ක්‍රම තුනක් ප්‍රධාන වෙනවා. ගොඩක් පොදු සහ ජනප්‍රියම ක්‍රමය ‍වෙන්නෙ ‘සංක්‍රාන්ති‘ ක්‍රමයයි. ඒක බොහොම සරලයි. එහිදී අපි නිරීක්ෂණය කරන තාරකාවෙ  කක්ෂතලය, අපේ කක්ෂතලය හා සමාන්තර වුවොත් අපි වාසනාවන්තයි. කක්ෂතලය කියන්නෙ සූර්යයා වටා හෝ තාරකාව වටා ග්‍රහලෝක කැරකෙමින් තියෙන තලයටයි. අප නිරීක්ෂණය කරන තාරකාවෙ කක්ෂ තලය අපේ කක්ෂතලයට ලම්භක වුණොත් කරන්න කිසිම දෙයක් නෑ. ඒත් සමාන්තර වූ අවස්ථාවක, ඒ තරුව ඉදිරියෙන් ග්‍රහලෝකයක් ගමන් කරත්දී, තරුවෙන් අප වෙත එන ආලෝකයේ කුඩා අඩුවීමක් දකින්න පුළුවන්. එය අපට මැන ගන්න පුළුවන්. ඒ ග්‍රහලෝකය තරුව වටේ කැරකිලා ආයෙත් තරුව ඉදිරියෙන් යන විට නැවත ආලෝක අඩුවීම දැකගන්න පුළුවන්. මේ වගේ දිගටම නිරීක්ෂණය කළාම කාලයත් සමග ආලෝකයේ අඩුවැඩි වීම, ඒ කියන්නෙ එහි ආවර්ථ කාලය අපට දැන ගන්න පුළුවන්. එය දැනගත්තම අපට පුළුවන් තරුවට කොපමණ සමීපයෙන් ද ඒ ග්‍රහලෝකය තියෙන්නෙ කියල කියන්න. ඒ වගේම එහි උෂ්ණත්වය ආදී වෙනත් දේ ගැනත් කියන්න පුළුවන්.

ඊළඟ ක්‍රමය තමයි ඩොෆ්ලර් ආචරණය. තරුව වටා කැරකෙන ග්‍රහලෝකය අපෙන් ඈතට යන කොට ඉන් පරාවර්නතය වෙලා අප වෙත එන ආලෝය මදක් රක්තවිස්ථාපනයට බඳුන් වෙනවා. කැරකෙමින් එය නැවත අප දෙසට එන විට ලැබෙන ආලෝකය නීල විස්ථාපයනයට බඳුන් වෙනවා. ඉතිං මේ රක්තවිස්ථාපනය හා නීලවිස්ථාපනය නිරීක්ෂණය කිරීමෙනුත් අපට පිටසක්වළ ග්‍රහලෝක සොයාගන්න පුළුවන්.

අනෙක් ක්‍රමය තමයි ‘ගුරුත්වජ කාච ආචරණය‘. එහිදී සිදු වෙන්නෙ ඈත සිට එන ආලෝකය ග්‍රහලෝක සහිත තරුවක් ළඟින් එන විට, ඒවායේ ගුරුත්වය නිසා සුළු නැමීමකට ලක් වීමයි. අයින්ස්ටයින්ගෙ සාමාන්‍ය සාපේක්ෂතාවාදයෙන් එය පැහැදිලි කෙරෙනවා. මේ ආලෝක නැමීම මිනුම් කිරීමෙනුත් ග්‍රහලෝක හඳුනගන්න පුළුවන්. ඒත් ඒක හරිම අමාරු වැඩක්.

මේ සියලු ක්‍රම අතරින් වඩා ජනප්‍රියම ක්‍රමය වන්නේ, දීප්තිමාන ක්‍රමයයි. කෙප්ලර් දුරේක්ෂයේ ඒ සඳහා ෆොටෝමීටරයක් තියෙනවා. පිටසක්වළ ග්‍රහලෝක සෙවීමේ අරමුණෙන් කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශ ගත කළේ 2009 දී. එයින් ආසන්න වශයෙන් ග්‍රහලෝක 5000ක් විතර සොයාගෙන තියෙනවා. එයින් දාහක් විතර ග්‍රහලෝක බව ස්ථිරයි. ඒ දාහෙනුත් පෘථිවිය ප්‍රමාණයේ ග්‍රහලෝක තියෙන්නෙ තුනක් විතර. ෆොටෝමීටරයකින් පවා ග්‍රහලෝක සොයා ගන්න ලේසි වෙන්නෙ ඒවා විශාල නම් විතරයි. ග්‍රහලෝක කුඩා නම් සොයා ගන්න අමාරුයි. පෘථිවිය හා සමාන කුඩා ග්‍රහලෝක සොයා ගන්න එක හරිම අමාරු වැඩක්. අප හැමතිස්සෙම සොයාගෙන තියෙන්නෙ විශාල ග්‍රහලෝක විතරයි.

ඇයි කුඩා ග්‍රහලෝකවලට වැඩි අවධානයක් දිය යුත්තේ?

මොකද, විශාල ග්‍රහලෝක ගොඩක් වෙලාවට වායුවලින් සැදුන යෝධයින්. ඒවායේ ගුරුත්වය ඉතා විශාලයි. අපි මොහොතකට හිතමු බ්‍රහස්පති පාෂාණමය ග්‍රහයෙක් කියල. ඒත් එක මතුපිට තියෙන දෙයක් පොළොවේ තියෙන දෙයක් වගේ දහස්ගුණයක් බරයි. ඒ වගේ එකක ජීවීන් හිටියත් ඔවුන්ට ලේසියෙන් චලනය වෙන්න නම් අමාරුයි. ඒ නිසා ඒ වගේ යෝධ ග්‍රහලෝක ගැන අවධානය යොමු කරල වැඩක් වෙන්නෙ නෑ.

තවත් වැදගත් දෙයක් තමයි මේ ග්‍රහලෝකවල ජලය තියෙනවද කියල බලන එක. අපි දන්නවා අපේ පෘථිවිය හැදිල අවුරුදු බිලියනයකට විතර පස්සෙ කඩාවැටුණු වල්ගාතරුවලින් තමයි පොළොවට ජලය ලැබුණෙ. ජලය ලැබිල වැඩිකල් යන්න කළින්, මං හිතන්නෙ අවුරුදු මිලියනයකින් විතර පෘථිවියේ ජීවය ආරම්භ වුණා. ඒකයි අප පෘථිවිය වගේ කුඩා ග්‍රහලෝක පිළිබඳව උනන්දු වෙන්නෙ.

ගොඩක් ග්‍රහලෝකවල ජලය තියෙන්න පුළුවන්. ඒත් ග්‍රහලෝකය තරුවට සමීප නම්, ඒවා වාෂ්පවෙලා යනවා. ඒ වගේම ඈතින් පිහිටනව නම්, මිදිල අයිස් බවට පත් වෙනවා. ඒ නිසා අප ඇත්තටම උනන්දුවක් දක්වනේ, පෘථිවිය ප්‍රමාණයේ, ජලය තියෙන, ඒවගේම තරුවට ගොඩක් සමීපත් නැති වැඩි ඈතත් නැති කක්ෂයක පිහිටි ග්‍රහලෝක ගැනයි. ‍

පිටසක්වළ ග්‍රහකලෝක සොයාගැනීම් පිළිබඳ අලුත් ම තත්වය කොහොම ද?

අප මේ කුඩා ග්‍රහලෝකවලට අවධානය යොමු කරත්දී, යුරෝපීය දුරේක්ෂයකින් පළමුවරට ට්‍රැපිස්ට් කියන පද්ධතිය සොයාගත්තා. පොළොවෙ ඉඳල ආලෝකවර්ෂ 39ක් ඈතින් පිහිටි රතු වාමන තරුවක් එයාල නිරීක්ෂණය කළේ. අපේ මන්දාකිණියෙ තියෙන තාරකාවලින් සියයට පනහක් හැත්තෑපහක් වාගේම තියෙන්නෙ මේ රතු වාමන තාරකා. ඒවා අපේ සූර්යයා වගේ දීප්තිමත් නෑ. අඩු උණුසුමක් තියෙන්නෙ. ඒවායේ ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධයෙන් සියයට දහයක් දොළහක් වගේ. මේ රතුවාමන තාරකා පළමු පරම්පරාවේ තරු, ඒ කියන්නෙ මුලින්ම ඇතිවුණු තරු. ඒවා බොහෝකල් පවතිනවා. සමහර විට අවුරුදු ට්‍රිලියනගණනක් වුණත්.

ඉතිං මේ අලුතෙන් සොයාගත්ත ග්‍රහ පද්ධතියෙ, සියලුම ග්‍රහලෝක මතුපිටක් සහිත ‘භූ ග්‍රහලෝක‘ කියල කියන්න පුළුවන්. ඒවා තරුවට ගොඩක් සමීපයෙන් කැරකෙමින් තියෙන්නෙ. පළමුවැනි ග්‍රහලොවට තරුව වටා යන්න දවස් දෙකක් විතර ගත වෙන්නෙ. ඒ කියන්නෙ ඒ ලෝකෙ අවුරද්දක්, පෘථිවි දවස් දෙකයි. අන්තිමටම පිහිටි ග්‍රහලොව තරුව වටා යන්න සති දෙකක් විතර කාලයක් ගන්නවා. අඩු ගණනේ එහි මැද පිහිටි ග්‍රහලෝක තුන ජීවයට හිතකර නියම පරාසයේ පිහිටනවා කියල හිතන්න පුළුවන්.

මේ පද්ධතිය අධ්‍යයනය කරන්න ඉන් අනතුරුව ඔවුන් නාසා අභ්‍යවකාශක් දුරේක්ෂයක් යොදා ගත්තා. ඒකෙ යම් යම් කොටස්වලට මමත් දායක වෙලා තියෙනවා. එහි ප්‍රධාන පරීක්ෂක මයික් වර්නර් මගේ හොඳ මිත්‍රෙයක්. ඔවුන් ස්පිට්සර් දුරේක්ෂය පොළොවේ සෙවනැල්ලෙන් මුවා වෙලා තියෙන අවස්ථාවේ දී මේ සඳහා භාවිත කළා. එහිදී සිදු කළේ ග්‍රහලෝක තරුව ඉදිරියෙන් ගමන් කරද්දී, එන ආලෝකය වර්ණාවලිමානයකින් විශ්ලේෂණය කිරීමයි. එහි දී ජල අවශෝෂණ රේඛා වර්ණාවලියේ දක්නට ලැබුණා. එයින් ගම්‍යවන්නේ ඒ ග්‍රහලොවට වායුගෝලයක් තියෙනවා වගේම එහි ජල අංශුත් ඇති බවයි. ඒවා වාශ්ප වූ ජලය වන්නට බැහැ. මොකද රතු වාමන තරුවක උෂ්ණත්වය බොහොම අඩුයි. ඒ නිසා ඒ ග්‍රහලොව උණුසුම් වන්නට බැහැ. පෘථිවිය වගේ සිසිල් වූවක් විය යුතුයි. සමහර විට පෘථිවියේ වගේ වැසි චක්‍රයක් පවා එහි තියෙන්නට පුළුවන්.

මේක අපේ හිරුමඬල හා සමානම ග්‍රහපද්ධතියක් නොවෙයි. මොකද අපේ වගේ ඒකෙ ඈතින් පිහිටි යෝධ වායුමය ග්‍රහලෝක නෑ. ඒ වගේම එහි සියලුම ග්‍රහලෝක තරුවට ගොඩක් සමීපයෙන් ගමන් කරන්නෙ. එහි තවත් ග්‍රහලෝක තියෙන්න පුළුවන්. ඒත් විශාල ඒවා නොවෙයි. විශාල ඒවා තිබුණොත් අපට පහසුවෙන්ම හසුවෙනවා. කොහොම වුණත් මේ සොයා ගැනීම නිසා, පෘථිවිය හා සමාන ග්‍රහලෝක පිළිබඳ අපට අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්.

මා කලිනුත් කිව්වා වගේ අපේ මන්දාකිණියේ සියයට පනහකටත් වඩා, ඒ කියන්නෙ බිලියන සියයකටත් වඩා තියෙන්නෙ මේ වගේ රතු වාමන තාරකා. ඉතින් ඒවායේ තියෙන ග්‍රහලෝකයක ජීවය සොයාගන්න සෑහෙන ඉඩකඩක් තියෙනවා.

සාකච්ඡා කළේ: තාරක ගමගේෙ

ඡායාරූප: ටෙරාන් නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *