SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

දියවැඩියාව ආපසු හරවන අලුත් බෙහෙතක්!

දියවැඩියාව හෙවත් රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා පීඩා විඳින අයට සැනසිලිදායක පුවතක් අලුත්ම පර්යේෂණයකින් වාර්තා වෙනවා. දැන් තව දුරටත් දිවා රෑ නැතුව ඉන්සියුලින් එන්නත් කරන්නත්, අසීරුවෙන් සීනි කෑමෙන් වැළකී සිටින්නත් ඕන නෑ. දවසට එක පෙත්තක් ගත්තම දියවැඩියා තත්ත්වය ආපසු හරවන්න පුළුවන්. දිනපතා මෙම ඖෂධය ලබා දීමෙන්, මීයන් තුළ තිබූ දියවැඩියා ලක්ෂණ ආපසු හරවන්නට පුළුවන් වෙලා තියෙනවා. මේ නිසා දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම වැඩි අපහසුවකින් තොරව ආරක්ෂාකාරී මට්ටමක පවත්වා ගන්නට ඉඩ කඩ විවර වෙමින් පවතිනවා.

වසර 2016 වන විට, එංගලන්තයේ දියවැඩියා රෝගී ප්‍රමාණය මිලියන 4 ඉක්මවා සිටියා. ඒ කියන්නේ, දශකයක කාලයක් තුළ දියවැඩියා රෝගීන් සියයට හැටපහකින් වැඩි වෙලා. මේ අතරින් මිලියන 3.5කට පමණ කෙලින්ම දියවැඩියාව වැලඳී ඇති බවට රෝග විනිශ්චය කර තිබුණත් තවත් 550,000ක් පමණ, ජීවිතයේ පසුකාලෙදි දෙවැනි ආකාරයේ දියවැඩියාව හැදෙන්නට ඉඩ තිබෙන අය.

බොහෝ අය වයසට යත්දී ඉන්සියුලින්වලට ශරීරයේ ප්‍රතික්‍රියා දැක්වීම දුර්වල වෙන නිසා දෙවැනි වර්ගයේ දියවැඩියාව වැලඳෙනවා. ඉන්සියුලින් හොර්මෝනයෙන් තමයි අපේ රුධිරයේ කොපමණ සීනි ප්‍රමාණයක් සංසරණය වනවා දැයි පාලනය කෙරෙන්නේ. සමහර අය කෑම පාලනය කිරීමෙන් සීනි මට්ටම පාලනය කර ගන්නවා. තවත් අය රුධිරයෙන් සීනි ඉවත් කර ගැනීමට ඖෂධ භාවිත කරනවා. ඒ වුණත් මේ ඖෂධවලින්, ශරීරයේ බර වැඩි වීම, පාචනය වැනි අතුරු ආබාධ ඇති වෙනවා.

කොහොම වුණත් දැනට තියෙන ඖෂධවලින් කෙරෙන්නෙ රෝගය පාලනය කිරීම විතරයි, රෝගය සුවකරන්න ඊට බැහැ. “ඉන්සියුලින් ප්‍රතිරෝධය අභිබවා යා හැකි කිසිවක් දැනට අප සතුව නෑ“ එහෙම කියන්නෙ එංගලන්තයේ චැරිටි ඩයබිටීස් හි එමලි බර්න්ස්. මෙහි ප්‍රතිඵලයක් විදියට බොහෝ රෝගීන්ට අවසානයේ දී වැඩිපුර සීනි රුධිරයෙන් ඉවත් කර ගැනීමට, ඉන්සියුලින් එන්නත් කරගන්න වෙනවා. දෙවැනි ආකාරයේ දියවැඩියාව ඇති අයෙක් ඊට ප්‍රතිකාර නො කර සිටිය හොත් එමගින් හදවත් සහ වකුගඩු රෝග, ස්නායු හානි, පාදවල තුවාල සහ පෙනීමේ දෝෂ ඇති වීමට මග හැදෙනවා.

දිනපතා පෙත්තක්

මේ බෙහෙතෙන් දිනපතා පෙත්තක් ගැනීමෙන් ඉන්සියුලින්වලට ශරීරයේ ඇති සංවේදීතාවය වැඩි කර දියවැඩියාව ලෙහෙසියෙන් ම පාලනය කළ හැකියි. සැන්ඩියාගෝහි, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ ස්ටෙෆනි ස්ටැන්ෆර්ඩ් සහ ඇගේ කණ්ඩායම විසින් දියවැඩියාව වැළඳුණු මීයන්ට මේ බෙහෙත ලබා දුන්නා. එය, උන්ගේ ශරීරයේ ඉන්සියුලින් සංඥාකිරීමට බලපෑම නිසා රුධිරයේ සීනි මට්ටම පාලනයකිරීමේ හැකියාව නැවත ප්‍රතිස්ථාපනය වුණා. මේ ඖෂධය මීයන්ට දිනපතාම මුඛ මාර්ගයෙන් ලබා දුන්නත්, එහි කිසිම අතුරු ආබාධයක් දක්නට ලැබුණේ නෑ. මේ මීයන්ට අධිමේද සහිත ආහාර දීල අධිපෝෂණ තත්තවයක් ඇති කරලයි තිබුණෙ.

“මෙමගින් අපට දෙවැනි වර්ගයේ දියවැඩියාව වැලඳි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මගක් පාදාගන්න පුළුවන්“ යැයි ස්ටැන්ෆර්ඩ් පවසනවා. මේ ඖෂධය ක්‍රියා කරන්නෙ, ‘ලෝ මොලිකියුලර් වේට් ප්‍රෝටීන් ටයිරොසයින් පොස්පටේස්‘ කියන එන්සයිමය (LMPTP) වළක්වාලමින්. පෙනෙන විදියට සෛලවල ඉන්සියුලින්වලට ඇති සංවේදීතාවය නැති කරන්නෙ එම එන්සයිමයෙන්. LMPTP එන්සයිමයේ ක්‍රියාකාරීත්වය සීමා කරමින්, විශේෂයෙන් ම උදරයේ සෛල මතුපිට ඇති ඉන්සියුලින් ග්‍රාහක නැවත අවධි කිරීමට මේ ඖෂධය සමත් වෙනවා. මන්ද රුධිරයේ වැඩිපුර සීනි ඇති විට උරාගන්නේ ඒ සෛලවලින්.

දියවැඩියාව ආපසු හැරවීම

මිනිසුන්ගේ දියවැඩියාව වැනි ගැටලුවලට LMPTP තනන ජානය සම්බන්ධයක් ඇතැයි කලින් සොයාගෙන තිබුණා. මේ පර්යේෂණය දියත්කෙරුණේ ඒ ඔස්සේ තවදුරටත් ගවේෂණය කරමින්. මීයන්ගේ මේ ජානයේ ක්‍රියාකාරීත්වය නතර කළ විට, ඔවුන්ට කෙතරම් මේද අධික ආහාර කෑමට දුන්නත් තවදුරටත් දියවැඩියා තත්වයක් ඇති වූයේ නෑ. උදරයේ පමණක් මේ ජානයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීම මගිනුත් එම ප්‍රතිඵලයම අත් වුණා. “අධිපෝෂණ තත්වයේ දී, ඉන්සියුලින් ප්‍රතිරෝධී තත්වය ඇතිකරන්නේ හරියටම LMPTPවලින් බව අප සොයා ගත්තා.“ ස්ටැන්ෆර්ඩ් පවසනවා.

මේ නිසා පර්යේෂක කණ්ඩායම කළේ, උදරයේ LMPTP එන්සයිමයේ ක්‍රියාකාරීත්වය නතරකිරීමට ඖෂධයක් සෑදීමයි. “අපේ භාධකය මගින් උදරයේ ඇති ඉන්සියුලින් ග්‍රාහකවල ක්‍රියාකාරීත්වය වර්ධනය කෙරුණා. ඒ වගේම කිසිදු අහිතකර අතුරු ආබාධයක් නැතිව දියවැඩියා තත්වය ආපසු හරවන්න ඊට හැකි වුණා.“ ස්ටැන්ෆර්ඩ් වැඩිදුරටත් පවසනවා.

“ මේ අපූරු පර්යේෂණයෙන් අපට ඔප්පු වෙනවා, උදරයේ LMPTP ඉලක්ක කිරීමෙන් සතුන්ගේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමටත්, උදරයේ ඉන්සියුලින් සංඥා දියුණු කර ගන්නටත් හැකිබව.“ යැයි කැනඩාවේ ටොරොන්ටෝ හි ලුනෙන්ෆෙල්ඩ් ටැනෙන්බෝම් පර්යේෂණායතනයේ ඩැනියෙල් ඩ්‍රකර් පවසනවා.

ඉලක්කගත ප්‍රතිකාර

මේ දක්වාම බොහෝමයක් උත්සාහ දරා තිබුණේ වෙනත් ටයිරොසයින් පොස්පටේස් එන්සයිමයක් වෙත අවධානය යොමු කරවමින් වුවත්, අතුරු ආබාධ නැතුව එම එන්සයිමයේ ක්‍රියාකාරීත්වය නවතාලන්නට අපහසු බව පැහැදිලි වුණා යැයි ඩ්‍රකර් පවසනවා.

“අපේ සංයෝගය ඉලක්කයට බොහොම විශේෂිතයි. මීයන්ට මෙය මාසයක් තිස්සේ ලබා දුන්නත් කිසිම අතුරු අබාධයක් දැක ගන්න පුළුවන් වුණේ නෑ. එහෙත් මෙහි ඊළඟ පියවර වන්නේ සායනිකව අත්හදා බලා තහවුරු කර ගැනීමයි“ ස්ටැන්ෆර්ඩ් පවසනවා.

“නැවතත්සෛල ඉන්සියුලින්වලට ප්‍රතිචාර දක්වන මාර්ගයක් තනා ගැනීම විශ්මය දනවන බොහෝ වැදගත් ක්‍රමයක්“ බර්න්ස් පවසනවා. “මේ දක්වා මේ ඖෂධය පරීක්ෂාකරල තියෙන්නෙ මීයන්ට විතරයි. මානව ජාන පර්යේෂණ කරල මිනිසුන්ටත් මේ ක්‍රමය සාර්ථකව යොදාගන්න පුළුවන් වේවි. දෙවැනි ආකාරයේ දියවැඩියා රෝගීන් සඳහා මෙය යොදා ගන්නට කලින් තවත් පර්යේෂණ රාශියක් කරන්න වේවි“

ස්ටැම්ෆර්ඩ්ගේ කණ්ඩායම මේ වන විට සතුන් සම්බන්ධ ආරක්ෂාකාරී පරීක්ෂණ පවත්වමින් සිටිනවා. “ ඊළඟ පියවර වශයෙන් කෙරෙන සායනික අත්හදා බැලීම්වල දී මෙය මිනිසුන්ටත් ආරක්ෂාකාරී වේ දැයි තහවුරු කර ගන්න පුළුවන්“ ඇය වැඩි දුරටත් පවසනවා.

Journal reference: Nature Chemical BiologyDOI: 10.1038/nchembio.2344

Leave a Reply

Your email address will not be published. Required fields are marked *