SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

වයසට යනවිට සරුබව අඩු වේ – අඩු වයසින් නම් ප්‍රතිඵල වැඩි වේ

ලෝකය කෙතරම් වෙනස් වුවත්, සැමදා නව ජීවයකට ජීවය දෙන්නී ගැහනියම ය. එහෙත් ඒ ගැහැනුකමට  සීමා මායිම් නැත්තේ ද නොවේ. “ගැහැනු ළමයෙක් වුණාම ඉක්මනට කසාද බදින්න ඕන” වැඩිහිටියන් කියන්නේ එහි සැබෑ විදුහුරු තේරුම දැන වන්නටම බැරිමුත් ඒ අපේ පැරැන්නන් අත්දැකීමෙන් දැන සිටි දේය. අපේ පැරැන්නන් අත්දැකීමෙන් දත් දේ නවීන විද්‍යාත්මක ලෝකයේ දී පර්යේෂණ මගින් ද ඔප්පු වෙමින් තිබේ.

“කාන්තාවන් වයස් ගත වන විටත්, ඩිම්බ  නිපදවීමේ හැකියාව පවතිනවා වෙන්න පුළුවන්. එහෙම වුණත් කාන්තාවක් වයසට යන විට නිපදවන ඩිම්බවල සරු බව ටිකෙන් ටික අඩු වෙනවා”

එසේ පවසන්නේ කැනඩාවේ මොන්ට්‍රියල් විශ්වවිද්‍යාලයයේ ග්‍රෙග් ෆිශාරිස් ය.

“මේ දේට හොඳම උදාහරණය තමයි, ඩිම්බ පිරිනමන්නට කැමති තරුණ කාන්තාවකගෙන් ඩිම්බ ලබා ගත්තොත් ඒ ඩිම්බවල සරු බව කොයි තරම් වැඩිද කියන දේ පහසුවෙන් හදුනාගන්න පුළුවන්.” කාන්තාවන් උපතේ දී ම තමන් සතු සියලු ඩිමබ රැගෙන එන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. එහෙත් කළලයක් නිර්මාණය වීමේ අවස්තාවට පත් වන තුරු මෙම ඩිම්බ කිහිප වරක්ම බෙදීම්වලට ලක් වේ. මින් පෙර සිදුකර තිබූ අධ්‍යයනවලින් තහවුරු වුණු ලෙසට, වයස්ගත කාන්තාවකගේ ඩිම්බවල වර්ණදේහ එකිනෙක හා බැඳී තිබීමේ හැකියාව තරුණ කාන්තාවකගේ ඩිම්බවල එම හැකියාවට වඩා අඩුය. ඩිම්බ ‍සෛල බෙදීමට ලක් වීමේ දී මෙම වර්ණදේහ පහසුවෙන් වෙන් වී යෑමට ඉඩක් ඇති නිසා, අවසානයේ නියමිත වරණදේහ ගණන නොමැති ඩිම්බ ඇති වේ. මෙය ඩිම්බවල ඇතිවන අන්‍යුප්ලොයිඩ් තත්වයක් ලෙස හදුන්වයි.

“වර්ණදේහවලට එකිනෙක බැදී තිබීමේ හැකියාව අඩුවීම කාන්තවන්ගේ නිසරුබව ඇතිවීම කියලත් සරලව හඳුන්වන්න පුළුවන්. සමහර වෙලාවට මිනිස්සු හිතනව  මේක තමයි කාන්තාවන්ගේ නිසරු බව ඇතිවීමට එකම හේතුව කියල. ඒත් අන්‍යුප්ලොයිඩ් තත්වයක් ඇතිවීමට මේක එක හේතුවක් විතරයි.”ෆිශාරිස් කියයි.” විස්තර කිරීමට අපහසු තවත් සමහර කාරණාත් මෙ තත්වයට හේතු වෙනවා” ෆිශාරිස් ගේ කණ්ඩායම මේ වන විට ක්ෂීරපායී ඩිම්බවල සරුබව වයසත් සමග අඩු වී යෑමට හේතුවන තවත් කාරණාවක් හදුනාගෙන තිබේ. වයසින් අඩු සහ වයසින් වැඩි මී ඩිම්බ යොදාගෙන සිදු කර ඇති මෙම අධ්‍යනයේ දී පෙනී ගොස් ඇත්තේ, වයසින් වැඩි මී ඩිම්බවල ඩිම්බ බෙදීමේ මුල් පියවර යම් ව්‍යාකූල තත්වයක පවතින බවයි. ‍සෛල බෙදීමේ ක්‍රියාවලියේ දී සිදුවන ප්‍රතිගුණන අවස්තාවේ දී ‍සෛලවලට වෙන්වී යෑමට උපකාර වන මයික්‍රොටුබුල්ස්වල ක්‍රියාකාරීත්වයේ ඇති ගැටලු මෙම තත්වය ඇති කරවන බවට  පෙනී ගොස් ඇත.

සාමාන්‍ය තත්ව යටතේ දී මයික්‍රොටුබුල්ස් මගින් සිදු කරන්නේ වර්ණදේහ ප්‍රතිගුණන අවස්තාවෙන් පසු ඒවා එකිනෙකින් වෙන් කර සෙලයේ එක් එක් ධ්‍රැව වෙත රැගෙන යෑමයි. සිදුකළ අධ්‍යයනයේ දී පැහැදිලිව පෙනී ගොස් ඇත්තේ වයසින් වැඩි මීයන්ගෙන් ලබාගත් ඩිම්බවල දී මයික්‍රොටුබුල්ස් සිදු කරන්නේ බෙදී වෙන් විය යුතු වර්ණදේහ ධ්‍රැව වෙත රැගෙන යනවා වෙනුවට ඒවා එක් එක් තැන්වලට ගොනු කිරීම බව ය. ‍සෛල බෙදීම අවසානයේ මෙම සෛල පවා ඉතාම සාමාන්‍ය ලෙස පෙනෙන නමුත් ඒ වන විටත් සිදුවිය යුතු හානිය සිදු වී අවසන්  බව ෆිශාරිස් පවසයි.” ඩිම්බ බෙදිලා අවසන් වුණාම ගොඩක් විට ඒවායේ තිබුණු වර්ණදේහ ගණන් වැරැදියි” ෆිශාරිස් පවසයි.

මේ තත්වයට විසදුමක් සෙවීමේ බලාපොරොත්තුවෙන් වයස්ගත ඩිම්බ සහ වයසින් අඩු ඩිම්බවල න්‍යෂ්ටි හුවමාරු ක්‍රමයක් ද අත්හදා බලා තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ න්‍යෂ්ටි හුවමාරු කිරීමෙන් පමණක් ම මෙය නිවැරැදි කළ නො හැකි බව ය. “න්‍යෂ්ටිය මාරු කළාට ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ, එම ‍සෛලයේ ප්ලාස්මයේ තියෙන දේ වයසින් වැඩි නිසා. සෛලයේ ඉතා විශාල ඉඩක් පුරා පිරිලා තියෙන ප්ලාස්මය තමයි වර්ණදේහ බෙදීමේ ක්‍රියාවලියේ දී ලොකු කාර්යයක් කරන්නෙ. ඒ නිසා ප්ලාස්මයේ වයස්ගත බවටයි විසදුම් සෙවිය යුත්තේ”

“වයස් ගත ඩිම්බයක් වුණත් තරුණ ඩිම්බයක් වගේම සරු තත්වයට ගන්න පුළුවන් වෙන දවසක් තාක්ෂණයක් එක්ක අනාගතයේ දී ඒවි.” ෆිශාරිස් ගේ විශ්වාසයයි. ඒ විශ්වාසය සැබෑවක් වන දා ලෝකයේ අම්මාවරුන්ගේ තැන තව තවත් වටිනා එකක් වනු ඇත.

Journal reference: Current Biology, DOI: 10.1016/j.cub.2017.02.025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *