SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

කැවුම් බැද්ද තෙලෙන් රවුම් ගහන කාලේ අත ළඟයි!

මේ, අවුරුදු සමයට කැවුම් සැදීමට සුදානම් වන කාලයයි. එදා ගමේ ගොඩේ සෑම නිවසකම ලිප මත හෙබවුණු තෙල් තාච්චිය අද සල්ලිකාර ගම්බද නිවෙස්වලට පමණක් සීමා වූ සුඛෝපභෝගී ආම්පන්නයක් වී ඇත්තේ තෙල් දැන් ගිනිගණන් නිසා ය. අප දශක ගණනාවක් තිස්සේ බැදුම් බැදීමට පාවිච්චි කොට ඉවත දැමු තෙල් ප්‍රමාණය ටොන් මිලියන ගණනකි. මේ කියන්න යන්නේ එම තෙල්වලින් උපයාගත හැකිව තිබූ කෝටි ගණනක මුදල් පිලිබඳ කතාවකි.

ජෛව ඩීසල් පිළිබඳව සමහර විට ඔබ අසා ඇතැයි අපි සිතමු. අප භාවිත කරන එළවලු තෙල් මෙන්ම බොහෝ ශාක සාර සහ සත්ත්ව මේද කොටස්වලින් ද ලබාගත හැකි තෙල් වර්ග, වාහන හෝ වෙනත් එන්ජින් ක්‍රියාත්මක කළ හැකි ඉන්ධනයක් බවට පත් කළ හැකි ය. එය ජෛව ඩීසල් (bio diesel) නම් වේ. ට්‍රාන්ස්-එස්ටරිෆිකේෂන් නම් රසායනික ක්‍රියාදාමයෙන් අනතුරුව ලැබෙන මෙම අඩු දුශ්‍රාව්‍යතාවයකින් සහ පහළ තාපාංකයකින් යුතු ද්‍රවය සාමාන්‍ය ඩීසල්වලට බෙහෙවින් සමාන ය. මේවන විට මැලේසියාව ඇතුළු තවත් රටවල් රාශියක ජෛව ඩීසල් යොදාගෙන බස් රථ පවා ධාවනය කෙරේ.

ඉන්ධනයක් ලෙස භාවිතය සඳහා එළවලු තෙල් මගින් ජෛව ඩීසල් නිපදවීම ඇරඹෙන්නේ 1930 තරම් ඈත අතීතයක ය. එහෙත් එළවලු තෙල් එළෙසම විකිණීමෙන් ලැබෙන ලාබය ජෛව ඩීසල් මගින් ලැබෙන ආදායමට වඩා ඉතා අධික වූ බැවින් මෙම සොයාගැනීම ජනප්‍රිය නො විණි. එහෙත් 70 දශකයේ ඇතිවන ලෝක ආර්ථික අර්බුදයත් සමග නැවතත් මේ පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය.

පිරිසිඳු එලවලු තෙල්වලින් පමණක් නොව පාවිච්චි කළ තෙල්වලින් ද මෙම ට්‍රාන්ස්-එස්ටරිෆිකේෂන් ක්‍රියාවලිය සිදු කළ හැකි බව සොයා ගන්නේ මේ අතරතුරේදී ය. මේ ගැන තවදුරටත් පරීක්ෂා සිදු කරන විද්‍යාඥයෝ ඉවතලන සියලුම ආකාරයේ සත්ත්ව මේද කොටස් සහ ඇල්ගී වර්ගවලින් ද මෙම ජෛව ඩීසල් නිස්සාරණය සිදු කළ හැකි බව සොයාගත්හ. පසුගිය වසර කිහිපය තුළ මැලේසියාව ඇල්ගී මගින් ජෛව ඩීසල් නිපදවීමේ ක්‍රියාවලිය බොහෝ ඉදිරියට ගෙන ගියේ ය. මැලේසියාව පුරා ඇල්ගී විශාල වශයෙන් පැතිරුණු ජලාශ ඇත. මෙම ඇල්ගී මගින් ජෙට් ඉන්ධන පවා නිපදවීමට අප සේවය කරන සරසවියේ තාක්ෂණවේදීහු සමත් ව සිටිති.

මෙම ට්‍රාන්ස්-එස්ටරිෆිකේෂන් ක්‍රියාවලියේදී උප-නිෂ්පාදනයක් ලෙස ග්ලිසරෝල් නමැති ද්‍රව්‍යය ලැබේ. මෙම ග්ලිසරෝල් නොයෙකුත් නිමි ආහාර වර්ග, බෙහෙත් වර්ග සහ වෙනත් නිෂ්පාදන රාශියක් සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කෙරෙයි. ජෛව ඩීසල් නිෂ්පාදනයේ වාසි සහගත අතුරුඵලයක් ලෙස ග්ලිසරෝල් නම් කළ හැකි ය.

ලංකාව තුළ ජෛව ඩීසල් සෑදීමට අමු ද්‍රව්‍ය විශාල වශයෙන් ඇත. අප හොඳින් දන්නා පරිදි ලංකාවේ ආපනශාලා සහ කුඩා හෝටලවලින් ඉවතලන පාවිච්චි කළ බැදුම් තෙල් මහත් පරිසර හානියකට තුඩු දී ඇත. මෙම තෙල් ස්ථර මත අනෙකුත් අපද්‍රව්‍ය රැඳීම නිසා නිතරම පාහේ ජල අපවහන කාණු පද්ධති අවහිර වේ. මෙය ඩෙංගු උණ ආදී නොයෙකුත් ලෙඩ රෝගවලට ද පාදක වේ. උත්සව සමයට සාමාන්‍ය නිවෙස් ද අප-ජල මාර්ගවලට තෙල් බැහැර කිරීමට විශාල ලෙස දායක වේ. ජෛව ඩීසල් නිපදවන ආයතයක් හෝ ආයතන බිහි වුවහොත්, අවශ්‍ය කරන භාජන ලබාදීමෙන් මෙම බැහැර කරන තෙල් නොමිළේම ලබා ගත හැක.

වසරකට ලංකාවේ පොල් තෙල් පමණක් මෙට්‍රික් ටොන් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් පාවිච්චි කෙරේ. මින් 50% බැහැර වෙතැයි සිතුවහොත් එය මෙට්‍රික් ටොන් 50,000 කි. මෙය අති විශාල ප්‍රමාණයකි. එය ට්‍රාන්ස්-එස්ටරිෆිකේෂන් ක්‍රියාවලිය සඳහා යොදා ගත හැකි නම් ජෛව ඩීසල් නිෂ්පාදනය මගින් සිදුවන ආර්ථික වාසියට අමතරව දැනට සිදුවන විශාල පරිසර හානියක් ද වළක්වා ගත හැක.

මීට අමතරව ලංකාවේ වසරකට අපතේ යන මෙට්‍රික් ටොන් ලක්‍ෂ ගණනක් වූ එළවලු භාවිත කරමින් (ඉවතලන එළවලු කොටස්) තෙල් නිෂ්පාදනය කර එමගින් ජෛව ඩීසල් නිපදවීමට ද හැකියාව ඇත. මෙහිදී සාදන එළවලු තෙල් ආහාර සඳහා වෙළඳපොළට එක්වීම වළක්වීමට පියවර ගැනීම වැදගත් වේ. මීට අමතරව සත්ත්ව ගොවිපළ ආශ්‍රයෙන් ද තෙල් සෑදීම සඳහා අමුද්‍රව්‍ය ලබාගත හැක.

මේ සියලු අමුද්‍රව්‍යවලට අමතරව අපගේ අවධානය යොමු වන්නේ ජලාශ ආශ්‍රිතව පැතිරෙන පාවෙන ශාක වර්ග, විශේෂයෙන්ම ඇල්ගී ආශ්‍රිතව ජෛව ඩීසල් සෑදීම කෙරෙහි ය. මීට හේතුව ලංකාව පුරා මෙවැනි ජලාශ පැතිරී තිබීමත් ඒවායේ සෑදෙන ඇල්ගී ප්‍රදේශවාසීන්ට හිසරදයක් වීමත් ය. මේ පිළිබඳව මේ වන විටත් මැලේසියාවේ අප සරසවියේ පර්යේෂණ කිහිපයක් කෙරෙමින් පවතී. ලංකාවේ සරසවිවල ද මේ සඳහා උනන්දුවක් ඇතිවේ නම් එය ඉතා අගනේය. ලංකාවේ ලෙහෙසියෙන් වගා කළ හැකි හෝ පැතිරීමට භාජනය වී ඇති ඇල්ගී වර්ග ගැනත් ඒවායින් වඩා ඵලදායි සහ කාර්යක්‍ෂම ලෙස ජෛව ඩීසල් ලබා ගැනීම පිළිබඳවත් පර්යේෂණ මාලාවක් හරහා අධ්‍යනය කළ යුතු ය.

මෙහිදී පැන නැගෙන ප්‍රධාන අභියෝගයක් නම් මෙම කර්තව්‍ය සඳහා ශාක විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව ආදී විෂය කිහිපයක පර්යේෂකයන්ගේ දායකත්වය අවශ්‍ය වීම ය. පුත්‍රා සරසවියේ මේ සඳහා කෘෂි-ඉංජිනේරු අංශයක් ඇති අතර එයට පරිසර ඉංජිනේරු, ජෛව ඉංජිනේරු, රසායනික ඉංජිනේරු ආදී අංශ කිහිපයකින්ම දායකත්වය සැපයේ. අවාසනාවකට මෙන් ලංකාවේ මෙවැනි සහයෝගීතාවයෙන් කෙරෙන පර්යේෂණ ඉතා විරල ය. බොහෝ දෙනා තම තමන්ගේ විෂය මායිම් සලකුණු කරගෙන අන් අයට ඒ අසලටවත් පැමිණෙන්නට නොදී දොරගුළු ලාගෙන සිටිති.

අද ලෝකයේ ආර්ථික වශයෙන් අති සාර්ථක නව නිෂ්පාදන සහ සේවා ඉදිරියට යන්නේ අන්තර් විෂය (interdisciplinary) පාදක කරගත් තාක්‍ෂණ ක්‍රමවේදවලිනි. ජෛව ඩීසල් යනු ඉන් එක් කුඩා සංසිද්ධියකි. බොහෝ දියුණු රටවල් දැන් ඉංජිනේරු සහ ස්වභාවික විද්‍යා විෂය පමණක් නොව සමාජ විද්‍යා සහ කලා විෂය පවා ඒකාබද්ධ කරමින් සිටිති. දිගු ගමනක් යෑමට ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නියමුවන්ට ද මෙය වැටහේවා යැයි අපි ප්‍රර්ථනා කරමු.

 

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *