SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

රටක් යට කළ කුණු කන්දක්

අපි දිගටම ලිව්වෙමු. පසුගිය දශක දෙක පුරාවට විද්වත්හු කිහිප දෙනෙකු ම පත්තර පිටු පුරා කුණු ගැටලුව පිළිබඳව ලිවූ හ. ඝන අපද්‍රව්‍ය එකතුවීම, එය ධන සම්පතක් කරගත හැකි ආකාරය, එය ජාතික ව්‍යසනයක් විය හැකි ආකාරය, විසඳුම් සහ මග පෙන්වීම් ආදී සියලු කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් ලිපි පළ විය. එහෙත් ජීවිත ගණනාවක් දැයට අහිමි වනතුරුත් ඉන් පලක් නොවිණි. බලධාරීන්ගේ ඇස් ඇරුණේ නැත. ඇරුනත් ඒ දෑස්වලට අප පුන පුනා කී දේවල් පෙනුණේ නැත. මේ අවසානය නොවේ. ව්‍යසනයක ඇරඹුම පමණකි. මේ ලිපිය ලියන්නේ එවන් පසුබිමක සිට ය.

කසළ යනු ගතික ගැටලුවකි. ඒ බව තවමත් අප රටේ බොහෝ දෙනෙකු අවබෝධ කරගත් ආකාරයක් පෙනෙන්නට නැත. කන්දක් නාය යෑමට පෙරනිමිති පහළ කරන විට හෝ කොටසක් නාය ගිය විට ඒ අවට සිටින ජනතාව ඉවත් කළ හැක. ඉන් පසු නාය යෑම හෝ නාය යෑමෙන් සිදුවන හානි අවම කරගැනීමට දීර්ඝ සහ කෙටි කාලීන වැඩ පිළිවෙල දියත් කළ හැක. ඒ එය ස්ථිතික ගැටලුවක් වීම නිසාවෙනි.

එහෙත් කසළ ගැටලුව ඊට වෙනස් ය. මීතොටමුල්ලේ කුණු නායට සිරවුණු අහිංසක ජනතාවගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු ඉවත් කරගන්නා මේ අවස්ථාවේ දී ත් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් අවම වශයෙන් කුණු මෙට්‍රික් ටොන් 1300ක් ජනනය වේ. එය යම් ස්ථානයකට බැහැර කළ යුතු ය. එය තවත් ව්‍යසනයකට මග පාදයි. මේ නිසා කුණු පටවාගත් ලොරි තම ප්‍රදේශයට පැමිණීමට එම ප්‍රදේශවල ජනතාව විරෝධය පළ කිරීම බලාපොරොත්තු විය යුතු තත්වයකි. නීති පැනවීමෙන් මෙම විරෝධය නැවතිය හැකිදැයි යන්න අප නැවත වරක් සිතිය යුතු කරුණකි. ඔබ මේ ලිපිය කියවන අවස්ථාවේ දී නුවර හෝ ගාලු පාර දිගට, බැහැර කිරීමට තැනක් නොමැතිව කසළ ලොරි නවතා තිබේ නම් එය පුදුම වීමට කරුණක් නොවේ.

ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නව තාක්‍ෂණය මත පදනම් වූ දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාවය පිළිබඳව විද්වතුන් නැවත නැවතත් ආවර්ජනය කළේ, ගටලුවේ ඇති මේ ගතික ස්වභාවය නිසාවෙනි.

කොළඹ ප්‍රදේශයේ පසුගිය දශක දෙක තුළ පමණක් ආසන්න වශයෙන් ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 10 ක් පමණ එකතු වී ඇත. දිරාපත් වීම සහ වියලනය නිසා මෙය 50% ට අඩු වී ඇතැයි උපකල්පනය කළ ද තවමත් කසළ මෙට්‍රික් ටොන් මිලියන 5ක් වත් ගොඩගැසී ඇත. ඒ දිනපතා එකතුවන කසළවලට අමතරව ය. ඒ නිසා මේ කුණු වෙනත් ස්ථානයකට රැගෙන යෑම සඳහා අලුතින් ලොරි හෝ ට්‍රක් රථ යෙදවිය යුතු ය. සාමාන්‍යයෙන් ට්‍රක් රථයක වරකට ගෙන යා හැකි උපරිම කුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10 කි. මේ අනුව ඉහත කුණු ප්‍රමාණය ට්‍රක් රථ 100කින් දිනපතා ඉවත් කළත් ඒ සඳහා වසර 14ක පමණ කාලයක් ගත වේ. කුණු ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ මේ පසුබිම පිළිබඳව යම් අවබෝධයකින් යුතුව ය. ඉහත අප කතා කළේ කොළඹ කුණු ගැන පමණක් බව ද සිහි තබා ගන්න.

ඉහත විශ්ලේෂණය අනුව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය, පවතින කසළ සහ දෛනිකව ජනනය වන කසළ යන දෙකොටසට වෙන වෙනම විසදුම් ලැබෙන පරිදි සකස් කළ යුතු ය.

පවතින වාතාවරණය හමුවේ දිනපතා එකතුවන කසළ බැහැර කිරීම සඳහා කෙටි කාලීනව ගත හැක්කේ එකම පියවරකි. එනම් ඒවා මිනිස් වාසයෙන් තරමක් හෝ ඈත්ව පිහිටි පහත් බිම් ගොඩ කිරීම සඳහා යොදාගැනීමයි. මේ සඳහා මිනිස් ක්‍රියාවලි තුළින් ඇති වූ පතල් සහ වලවල් භාවිත කළ හැකි ය. මෙහිදී සැලකිය යුතු වැදගත්ම කරුණක් නම් ඇතිවන පාරිසරික බලපෑම් අවම කරගැනීමයි. ජල මුලාශ්‍ර අපවිත්‍රවීම සහ කසළ වායු (landfill gases) වාතයට එකතු වීම, ඇතිවන ප්‍රධාන ගැටලු දෙකකි. පළමු ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කසළ පිරවීම ඇරඹීමට ප්‍රථමයෙනි. මේ සඳහා ජල මුලාශ්‍ර දත්ත සටහන් සහ ප්‍රදේශයේ භූගත ජල පැතුරුම් සිතියම් අධ්‍යනය සහ විශ්ලේෂණයෙන් නිගමනවලට ආ යුතුය. මෙය තරමක් කල් ගතවන කාර්යයක් බැවින් මේ වන විටත් මෙම අධ්‍යන සිදුකර ඇති ස්ථාන කසළ බැහැර කිරීම සඳහා යොදා ගැනීම සුදුසු බව යෝජනා කළ හැක.

දෙවන ගැටලුව සඳහා නොයෙකුත් තාක්‍ෂණික ක්‍රමෝපායන් මේ වන විට සොයාගෙන ඇත. එහෙත් එම ක්‍රමවේද බොහොමයක් මිල අධික ය. එහෙත් කළයුතු දේ කළයුතු අවස්ථාවේ කළ යුතුව ඇත.

මේ කටයුත්ත සඳහා සහයෝගය ලබාදීම සෑම පුරවැසියෙකුගේ ම යුතුකමකි. එලෙසම පුරවැසියා වෙනුවෙන් තම පෞද්ගලික සහ දේශපාලන අවශ්‍යතා ඉවත ලා කටයුතු කිරීම පාලකයාගේ මෙන්ම නිලධාරියාගේ ද පරම යුතුකමකි.

දීර්ඝ කාලීන විසඳුම් ඉදිරිපත් කිරීමේ දී අප සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. දිනපතා එකතුවන කසළ කළමනාකරණය කිරීම ඇරඹිය යුත්තේ කසළ ජනනය වන ස්ථානයේ සිටම ය. කාබනික කසළ (දිරා යන ද්‍රව්‍ය) නිවසින් බැහැර නොකර එකතු කළ හැකි රඳවනයක් ඉතා අඩු මිලකට හඳුන්වා දීමට රජයට හැකියාව ඇත. එබඳු රඳවනයක් නිර්මාණය කිරීමේ දී සැලකිය යුත්තේ පහසුවෙන් කුණු ඇතුළත් කිරීමට හැකි වීමත්, දුගඳ පිට නොවීමත්, දිරා පස් වූ කොටස් පහසුවෙන් ඉවතට ගැනීමත් යන කරුණු ය. මෙය නිවස තුළම තබාගත හැකි අංගයක් ලෙස නිම කළ හැක. මෙහිදී මීතේන් වායුව එකතු කරන උපකරණ හඳුන්වාදීම නාගරික පරිසරයක එතරම් සාර්ථක නොවනු ඇති බව අපගේ හැඟීමයි. ගම්බද, ඉඩ කඩ සහිත පරිසරයක එය ඵලදායි වනු ඇත.

ලෝහ, වීදුරු හෝ පාෂාණ නොවන බොහෝ වියලි ද්‍රව්‍ය පහසුවෙන් පිලිස්සිය හැක. මේ සඳහා අධි කාර්යක්‍ෂම උදුනක් හඳුන්වා දිය හැක. ලංකාවේ බොහෝ නව නිපැයුම් ප්‍රදර්ශණ සහ තරඟවල දහසකුත් උදුන් වර්ග දැකගත හැකි වන අතර ඒවා එම අවස්ථාවෙන් පසු නිපැයුම්කරු අතම මිය යයි. මෙවැනි නිමයුමක් තව දුරටත් වැඩි දියුණු කර වියළි ඝන අපද්‍රව්‍ය ඉන්ධනයක් ලෙස භාවිත කළ හැකි උදුනක් ලෙස වෙළඳපොළට හඳුන්වා දිය හැක.

අපට මේ තත්වය රටේ ව්‍යාප්ත කළ හැකි නම් බොහෝ තැන්වලින් එකතුවන්නේ ඉතා පහසුවෙන් වර්ගීකරණය කර ප්‍රතිචක්‍රීකරණයට භාජනය කළ හැකි අපද්‍රව්‍ය පමණි. අපගේ අදහස අනුව මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා රජයේ මෙන්ම ජනතාවගේ ද දැඩි සහයෝගය අවශ්‍ය වේ. මේ සඳහා ජනතාව ඉතා හොඳින් දැනුවත් කිරීමත්, දැඩි අණ පනත් නීතිගත කිරීමත් යන කරුණු දෙකම එකවර කළ යුතු ය.

එකතු වී ඇති කසළ කඳු අවම කරගැනීම සඳහා අප පෙර ලිපියකින් සඳහන් කර ඇති පරිදි තාප විදුලි බලාගාරයක් මෙම කසළ කඳු ආශ්‍රිතව ගොඩනැගීමත්, දැනට නාය යෑමේ තර්ජනයට ලක්ව ඇති කුණු කඳුවල කොටස් ඉහතින් සඳහන් කළ පරිදි පහත් බිම් ගොඩ කිරීම සඳහා ඉතා ඉක්මනින් යොදා ගැනීමත් යෝග්‍ය බව අපගේ හැඟීමයි.

නගරාශ්‍රිත කුණු කඳු නාය යෑම නිසා ජාතික ව්‍යසන සිදුව ඇත්තේ ලංකාවේ පමණක් නොවේ. වසර 2000 ජූලි මස දිනෙක පිලිපීනයේ මැනිලා අගනගරයට ආසන්නව පවතින කුණු කන්දක් නාය යෑමෙන් මිනිසුන් 35-200 අතර ගණනක් මිය ගිය හ. ඉතා මෑතකදී, එනම් මේ වසරේ මාර්තු මාසයේ දී ඉතියෝපියාවේ අගනගරය වන ඇඩිස් අබාබා නුවරට යාබද කුණු කන්දක් නාය යෑමෙන් 35-50ත් අතර පිරිසක් මිය ගිය හ. මේ කුණු කඳු නාය යෑම් නිසා සිදුවන විපත් වාර්තා කිරීමේ දී දකින්නට ලැබෙන විශේෂත්වයක් නම් මිය යන මිනිසුන්ගේ ගණන පිළිබඳව විශාල පරස්පර තිබීමයි.

ඉහත දත්ත අනුව අපට කිව හැක්කේ මේ පැනයට ලොව අන් රටවල් සමග එකතු වී විසඳුම් සෙවීම වඩා ප්‍රතිඵලදායක විය හැකි බව ය. ඉහත සඳහන් රටවල් දෙක මෙන්ම මේ තත්වයට මුහුණ දී ඇති අන් රටවල් ද දියුණුවෙමින් පවතින ලෝකයට අයත් වෙයි. මේ නිසා ඔවුන් එකතු වී දියුණු රටවල මේ සඳහා ලබා දී ඇති විසඳුම් හැදෑරීමත් ඒවා අදාළ රටට සුදුසු පරිදි ආදේශ කරගැනීමත් කළ යුතු බව අපගේ හැඟීමයි.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *