SciTech Publishing Corporation (Pvt) Ltd.
Paleontology

ඌරු දළෙන් මාල තැනූ ආදි මිනිස්සු

නවීන ලෝකයේ විලාසිතාවලට ඇත්තේ ඉහළ වටිනාකමකි. ඒ ගැන කතාකරන්නේ ද මහ ඉහළිනි. එහෙත්, අලුත් ලෝකයේ දෙයකැයි සිතා සිටින මේ විලාසිතා ගැන කතාව ගල් යුගය තෙක් දිව යන්නේ යැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ඒ යුගයේ විලාසිතා තරමක් අමුතු ය. මේ අමුතු විලාසිතා කතාව දිගහැරෙන්නේ ඒ යුගයේ පැළැඳි මාල සහ අත් පළඳනා රැසක් පර්යේෂකයන් පිරිසක් විසින් සොයා ගැනීමත් සමගිනි.

මේ අමුතු අබරණ පැළැඳ ඇත්තේ සාගරය තරණය කරමින් පළමු වරට ආසියාවේ සිට ඕස්ට්‍රේලියාවට ගිය මිනිසුන් විසිනැයි කියැ වේ. සතුන්ගේ ඇට කැබලි, දත්, කටු, සේම කුමන සතකුගේ කුමන ශරීර කොටස් දැයි සිතා ගැනීමට අපහසු වෙනස්ම ආකාරයේ අබරණ පවා මේ අතර වේ. ඇතැම් විට එම වෙනස් ආකාරයේ ශරීර කොටස් එකල ඔවුන් ජීවත් වූ පරිසරයේ නිතර හමු වූ සතුන්ගේ ශරීර කොටස් විය හැක. දකුණු ශාන්තිකර දූපත්වල එකල  පදින්චිකරුවන්ගේ සංකේතාත්මක සිරිත්විරිත් ඒ කාලයේ දී ම යුරෝපයේ වීසූවන් තරමට ම පොහොසත් වූ බවට මෙයින් දෙස් දේ.

නූතන මිනිසා මුල්ම වතාවට අප්‍රිකාවෙන් පිටතට සිය අසීරු ගමන ඇරඹුවේ වසර 60,000කට එපිට දී ය. ඒ තරමක් බටහිරට හෙවත් යුරෝපය දෙසට ය. තවත් පිරිසක් නැගෙනහිර දෙසට ඇදුනේ ජල මූලාශ්‍ර කේන්ද්‍ර කර ගනිමිනි. වසර 50,000කට පමණ පෙර බෝට්ටු තනා සාගරය තරණය කර ඕස්ට්‍රේලියාවට පය තබන තෙක් ඒ පිරිස ආසියානු ප්‍රධාන දූපතේ දකුණු කෙළවරේ කේන්ද්‍ර ගත වී සිටිය හ.

මේ සංක්‍රමණය අතරතුර මේ පිරිස බොහෝ තැන් පසු කරන්නට ඇත. මින් පෙර දැක නොතිබුණු ඇස් අදහාගත නොහැකි තරමේ අලුත් ගස්, මල්, සතුන් පවා මේ පිරිසට මුණ ගැසෙන්නට ඇත. මේ තොරතුරු සනාත කරන්නට සාක්ෂි සොයන පිරිස අනුමාන කරන්නේ, නූතන මිනිසා දූපතෙන් දූපතට මාරු වෙමින් යද්දී හමුවුණු දෑ ඉතා ඉක්මනින් තමන්ගේ ජීවිතවලට හුරු කර ගන්නට ඇති බව ය.

නිදසුනක් ලෙස පසු ගිය වසරේ සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයක දී ටිමෝරයෙන් සොයාගත් වසර 42,000ක් පැරැණි,  දකුණු පැසිෆික් කලාපයේ ජීවත්වූවා යැයි සැළකෙන Nautilus pompilius නම්  මොලුස්කාවාගේ කටුවලින් සකස් කළ වර්ණවත් අබරණ එකතුව පෙන්වා දිය හැකි ය.

දැනට මෙම අධ්‍යයන සිදුකරන  ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයයේ ඇඩම් බ්‍රම් සහ මයිකල් ලැන්ග්ලි ඇතුළු පිරිස වයඹදිග ටිමෝරයට කිලෝමීටර 900ක් දුරින් පිහිටි සුලාවෙසි නම් දූපතෙන් සොයාගෙන ඇති එම දූපතටම විශේෂිත වූ සතුන්ගේ ඇට කටු සහ දත්වලින් නිම වී ඇති නොයෙක් විලාසිතාවල පැළදුම් නූතන මිනිසාගේ විලාසිතා නිර්මාණ හැකියාවන්ට හොදම සාක්ෂියකි.

සුලාවෙසි ගුහාවේ කැණීම් කරමින්…

මේ සොයාගත් පැළදුම් අතර එක් පැළදුමක් ගස් මත වාසය කළ ලෝම සහිත ක්ෂීරපායීයෙකු වන Ailurops ursinus, ගේ ඇඟිලි අස්ථියක් මටසිලුටු කොට නිම වූ පළදනාවකි. එහි ඉහළ කෙලවරක සකස් කර ඇති සිදුර නිසා එය මාලයක් ලෙස හෝ අත් පළදනාවක් ලෙස පාවිච්චි කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව ගවේෂකයෝ පවසති. සොයාගත් අනෙක් අබරණ දෙක අමුතුම පෙනුමක් ඇති ඌරු මුවා හෙවත් (Babyrousa sp.) ලෙස හදුන්වන සත්ත්වයාගේ දත යොදාගෙන සාදා ඇතැයි විශ්වාස කෙරේ.

මේ සොයාගත් පැළදුම් ත්‍රිත්වය වසර 22,000ත් 30,000ත් අතර කාලය තරම් පැරැණි බව ද විශ්වාස කෙරේ. එසේම කැණීම සදහා මේ ගුහාව තෝරාගෙන ඇත්තේ ලෝකයේ පැරැණිම ගුහා චිත්‍ර සමූහයක් වන වසර 35,000ක් පමණ පැරණි බාබිරූසා චිත්‍ර ඒ ආශ්‍රිතව ඇති නිසා ය. මීට වසර තුනකට පමණ පෙර වසර 40,000ක් පමණ පැරැණි ස්ටෙන්සිල් සොයාගෙන තිබුණේ ද මේ ගුහා ප්‍රදේශයෙන්ම ය.

ගවේෂකයින් විශ්වාස කරන්නේ සුලා‍වෙසි සේම ආසියාව හා ඕස්ට්‍රේලියාව අතර ඇති අනෙකුත් දූපත් හෙවත් වොලස් කලාපය තව දුරටත්  කැණීමට ලක් කිරීමෙන් පුරාතන යුගයේ කලාශිල්ප සහ ආභරණ ගැන තවත් බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකිවනු ඇති බව ය. ඔවුන්ට අනුව කැණීම්වලට අවධානය යොමු නොවූ බොහෝ ප්‍රදේශ එම කලාපයේ තිබේ. 2,000ක් පමණ වන මේ කලාපයේ දූපත්වලින් පුරාතන මිනිස් වාස ගැන සොයා බැලීමට කැණීම් සිදු කර ඇත්තේ දූපත් හතක පමණි.

ආසියාවේ සිට ඕස්ට්‍රේලියාව දෙසට මිනිසා පැමිණි ගමන් මග වැඩි දුටරටත් අද්‍යයනය කිරීමෙන් පුරාතන මිනිසා වෙනස්වන පරිසරයට හැඩ ගැසුණු ආකාරය, ඔවුන්ගේ නිර්මාණශීලී හැකියා තවදුරටත් හඳුනාගත හැකි වනු ඇතැයි ගවේශකයෝ කියති. ඕස්ට්‍රේලියාවෙන් හමු වූ වසර 46,000ක් පමණ පැරැණි කැන්ගරු අස්තිවලින් සැදුම්ලත් නාසයට පළඳින ආභරණය හුවා දක්වමින් ඔවුහු මේ බව තහවුරු කරති.

Journal reference: PNASDOI: 10.1073/pnas.1619013114

Leave a Reply

Your email address will not be published. Required fields are marked *