SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

කම්කරුවාට තාක්‍ෂණය අකැපද?

තවත් එක් ලෝක කම්කරු දිනයක් අවසන් විය. වෙනදා මෙන්ම මෙවර ද එම දිනය දේශපාලන පොර පිටියේ දිග පළල මැනීමේ අඩි කෝදුවකට ලඝු වී ගෙවී ගියේ ය. ලංකාවේ මැයි දින සමරුව බිහිවෙන්නත් පෙර සිටම මුට්ට කර ගැසූ කම්කරුවා, අදටත් එය එලෙසම කරයි. ඔහුගේ හෙට දිනය ද මෙලෙසම ගෙවෙනු ඇත. තාක්‍ෂණය ශ්‍රී ලංකික කම්කරුවා පසු කරගෙන බොහෝ දුර ගොස් ඇත. එහෙත් අපේ කම්කරුවා එතැනම ය.

මීට වසර 80කට පෙර තිරගත වූ චාර්ලි චැප්ලින්ගේ සිනමා පටයක් මගේ මතකයට නැගේ. මේසයට තැබූ කෑම ටික කටට දමා ගැනීමට කම්මැලි ධනවතුන් වෙනුවෙන් බිහි වූ නව නිර්මාණයක් පිළිබඳව මෙම සිනමා අන්දරය ගොඩ නගා තිබුණි. වානේ කම්හලක කම්කරුවකු වන චැප්ලින්ව මෙම කෑම කවන යන්ත්‍රය පරික්ෂා කිරිම සඳහා කම්හල් අයිතිකරු විසින් තෝරා ගනියි. යන්ත්‍රයේ ඇතිවන දෝෂ සහගත තත්වයක් නිසා මෙම අහිංසක කම්කරුවා මුහුණදෙන ශාරීරික අපහසුතා ඔස්සේ හාස්‍ය රසය උත්පාදනය කිරීමට සිනමාකරු උත්සාහ දරයි. එහෙත් එම හාස්‍ය රසයෙන් ඔබ්බෙහි වූ, අදටත් වලංගු වන අනුවේදනීය කථා පුවතක් චැප්ලින් අපට කියාදෙයි.

වාණිජ මට්ටමින් නව නිෂ්පාදන බිහිකරන ආයතන කිසිවක් කම්කරු පන්තියේ සුඛ විහරණය උදෙසා තම තාක්‍ෂණික දැණුම යොදාගන්නේ නැත. සමහර විට කම්කරුවා නිෂ්පාදනයේ තත්ව පරීක්ෂණ අවස්තාව සඳහා පමණක් යොදා ගනී. ආධුනික නව නිර්මාණකරුවන් වෙතින් මෙම පන්තිය වෙනුවෙන් කෙරෙන නිපැයුම් බොහෝ විට ත්‍යාගයකට සහ සහතික පත්‍රයකට සීමා වෙයි. නැතිනම් එහි මුල් අදහසින් බොහෝ ඈත වූ යෙදීමක් උදෙසා යොමු වෙයි.

මීට වසර කිහිපයකට පෙර ආරක්ෂිතව සහ වැඩි ශ්‍රමයක් වැය නොකර ගසට නැග පොල් කඩන යන්ත්‍රයක් ඉන්දියාවෙන් බිහි විය. (ලංකාවේ ද එවැනි යන්ත්‍ර අත්හදාබලා තිබිණි) ඒ පිළිබඳව යූටියුබ් වෙබ් අවකාශයට වීඩියෝ පට පවා එකතු විය. එහෙත් ඉන්දියාවේ හෝ ලංකාවේ කිසිඳු ආයතනයක් මෙම නිර්මාණය තවදුරටත් දියුණු කර පොල් කඩන වෘත්තියේ යෙදෙන්නන් අතර ප්‍රචලිත කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇද්දැයි අපට අසන්න ලැබී නැත. එහෙත් මා සමග පෞද්ගලිකව අදහස් හුමාරු කරගත් චීන සහ මැලේසියානු ජාතික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන් දැනගන්න ලැබුණේ අපූර්ව ආරංචියකි. එනම් ළඟදීම ඔවුන් විනෝද උයන් (amusement park) රාශියකට මෙම යන්ත්‍රය හඳුන්වා දෙනු ලබන බවයි. ඒ තම උද්‍යානවලට පැමිණෙන්නන්ට කෘතීමව සෑදු කුළුණුවලට හෝ ස්වභාවික උස ගස්වලට නැගීම සඳහා ය. පොල් කඩන කම්කරුවා වෙනුවෙන් බිහි වූ නව නිපැයුම මගින් මුදලක් ගෙවා විනෝදයට ගස් නැගීමට ළඟදීම ඔබටත් හැකි වනු ඇත.

ලංකාවේ බොහෝ කර්මාන්ත හා සේවා ආශ්‍රිතව මුට්ට කරගසන්නන් හෙවත් එසවියන් අපි දකිමු. මීට දශක දෙකකට පමණ පෙර ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකට අපි අදහසක් ඉදිරිපත් කළෙමු. ඒ මෙම එසවියන් සඳහා කාර්යක්ෂමව නිම වූ ට්‍රොලියක් ලබා දෙන ලෙසයි. එහෙත් ඔවුන්ගේ අදහස වුයේ බොහෝ විට එසවියෙකුගේ සේවය ලබන්නේ ට්‍රොලියක් ගෙන යෑමට ඉඩකඩ නොමැති ස්ථානවල බවයි. මේ නිසා ට්‍රොලිය භාවිත කිරීමට එසවියා අකමැත්තක් දැක්විය හැකි බව ඔවුන්ගේ මතය විය.

යෝජිත සෙග්වේ පැදිය

සෙග්වේ යනු තවමත් ලංකාවට තරමක් ආගන්තුක එහෙත් බොහෝ බටහිර රටවල ඉතා ප්‍රචලිත තනි රෝද යුගලයේ පැදියකි. එය මුලින්ම දුටු විට මට සිතුනේ මෙය තාක්ෂණික වෙනසකට භාජනය කර එසවියාගේ බර සැහැල්ලු කිරීමට යොදාගත නොහැකි ද යන්නයි. මෙහිදී යන්ත්‍රයට පිටුපසින් තව කොටසක් සවි කර එයට ඔසවාගෙන යා යුතු බර ඇතුළු කළ හැක. බර සමග ඉදිරියට යෑමට සෙග්වේ යන්ත්‍රයේ තාක්‍ෂණය සමත් නොවනු ඇති බව මගේ හැඟීමයි. මේ නිසා රෝදවල ඇක්සලයට සවි කළ දඬු දෙකක් අතින් කරකැවීම මගින් රෝද චලනය කිරීමට අපි යෝජනා කරමු. මෙමගින් ට්‍රොලියක ආධාරයෙන් බර ගෙන යෑමේ දී ඇතිවන ඉඩකඩ ගැටලුව අවම වෙයි. යන්ත්‍රයේ දළ රූපසටහනක් මා මෙහි දක්වා තිබේ. මේ අදහසක් පමණි. එය නිෂ්පාදනයක් තෙක් ඉදිරියට ගෙනයෑම ඔබට බාර ය.

මීට වසර දොළහකට පමණ පෙර අපි තවත් නිර්මාණයක් පිළිබඳව මාධ්‍ය මගින් ඉදිරිපත් කළෙමු. එනම් විශේෂයෙන්ම නගරයෙන් එපිට අතුරු මාර්ගවල මගී ප්‍රවාහනය උදෙසා බයිසිකල් රික්ෂෝව යොදා ගත හැකි බවයි. මෙයට සමහර පාර්ශවවලින් දැඩි විරෝධතාවයක් එල්ල විය. ඔවුන් කියා සිටියේ මිනිසෙකු ඇදගෙන තවත් මිනිසෙකු යෑම පිළිකුල් සහගත බවයි. එහෙත් අප මෙහි දී යෝජනා කළේ සේවය ලබන මගීන්ට ද පැදවීම සඳහා දායක විය හැකි බහු-පැඩල සහිත කාර්යක්‍ෂම කරන ලද බයිසිකල් රික්ෂෝවක් පිළිබඳව ය. මෙමගින් සේවාව ලබා ගන්නා මගියා තුළ වරදකාරී හැඟීමක් ඇතිවීම වැළකේ. අනෙක් අතට ඉතා අසීරුවෙන් මුට්ට කරගසාගෙන යන වියපත් එසවියන්ගෙන් සේවා ලබා ගැනීම පිළිබඳව මුනිවත රකින සමාජයක් මෙම බයිසිකල් රික්ෂෝවට විරුද්ධවීම පිළිබඳව තව දුරටත් සිතා බැලිය යුතු ය. එබඳු බයිසිකල් රික්ෂෝවකට සුර්ය කෝෂයක් සවි කිරීමෙන් අවශ්‍ය අවස්ථාවල දී යාන්ත්‍රිකව එය පදවාගෙන යෑමේ හැකියාව පිළබඳව අධ්‍යනය කිරීමට ද දැන් කාලය පැමිණ ඇත.

අප ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල සංචාරය කරන විට තවමත් දකින හද පාරවන දර්ශනයක් ඇත. එනම් ගිනි අව්වේ ඉඳගෙන කුළු ගෙඩියකින් ගසමින් ගල් කඩන කාන්තාවයි. මෙය ඉතාමත්ම අකාර්යක්‍ෂම, සිරුරට වෙහෙසකර එමෙන්ම රෝගාබාද සහ අනතුරුවලට අත වනන ව්‍යායාමයකි. මොවුන් වෙනුවෙන් ගියර සහිත අතින් කරකැවිය හැකි ගල් කඩන යන්ත්‍රයක් නිර්මාණය කිරීම අපහසු නැත.

වැඩපලේ, ගොවි බිමේ, පාර තොටේ වෙහෙසෙන කම්කරුවා වෙනුවෙන් ඔබට අර්ථාන්විතව අරගල කළ හැකි එක් නිවැරදි ක්‍රමයක් ලෙස අප දකින්නේ ඔවුන්ගේ කාර්ය පහසු කරවීම සඳහා ඔබගේ නිර්මාණ ශක්තිය යොමු කිරීම ය. එය කම්කරුවා වෙනුවෙන් යැයි කියමින් වසරකට වරක් යටි ගිරියෙන් මොරදීමට වඩා බොහෝ සෙයින් ඵලදායක වනු ඇත. ඉහත දක්වා ඇත්තේ යොදා ගත හැකි නිපැයුම් පිළිබඳව උදාහරණ කිහිපයක් පමණි. ඔබ දෑස් හැර අවට පිරික්සුව හොත් මෙබඳු යෙදුම් දහසක් දකිනු ඇත. ඔබත් නව නිපැයුම් පිළිබඳව උනන්දුව ඇති අයෙක් නම් ඔබට සමාජය වෙනුවෙන් කළ හැකි දෙය පිළිබඳව නැවත සිතීමට කාලය එළඹ ඇත.

 

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *