SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

වයසට යෑම අඩු කරන්න පෙකණියෙන් විසඳුමක්!

ඉහ නිකට පැහෙන වසස වෙන කොට මොළය වැඩ කරන වේගයත් ටිකෙන් ටික අඩු වෙන බව වැඩිහිටි අය ඇසුරු කරනවා නම් දැනිල ඇති. මොළයේ මේ වියපත් වීම කෙනෙකුගේ වියපත් බව වැඩි වැඩියෙන් පෙන්නන්න හේතු වෙනවා. ඊට විසඳුමක් නැති ද? බොහෝ දෙනා එසේ කල්පනා කරනවා. ඒත් කණගාටු වෙන්න දෙයක් නෑ. දැන් අලුත් ම සොයාගැනීමකින් මොළය වියපත් වීමේ ගැටලුවට විසඳුමක් ලැබී තියෙනවා.

කැලිෆෝනියාවේ ස්ටැම්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ ජෝසප් කැස්ටෙලානෝ ඇතුළු පර්යේෂකයන්ගේ අලුත් ම සොයාගැනීමෙන් කියැවෙන්නේ ළදරුවන්ගේ පෙකණියෙන් ගත් රුධිරයෙන් මොළයේ තරුණකම නැවත ලබා ගැනීමට හැකි බවයි.

මින් පෙර කළ පර්යේෂණයකින් තහවුරු වී තිබුණේ නව යොවුන් වයසේ පසුවන අයගේ රුධිරය වැඩිහිටි මීයන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමටත් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමටත් යොදා ගත හැකි බවයි. එය රුධිර ප්ලාස්මාවේ, එනම් රුධිරය සමන්විත වන දියරමය ප්‍රෝටීන කොටසේ අඩංගු සංඝටකයක් මගින් සිදුවන්නක් බව විශ්වාස කෙරෙනවා. එහෙත් මේ අලුත් සොයගැනීම අනුව, පෙකණියේ ඇති රුධිරය, වයස්ගත වීමට වඩා සාර්ථකව සහ ශක්තිමත්ව මුහුණ දෙන බවට තහවුරු වී තියෙනවා.

මේ පර්යේෂණය සඳහා එකිනෙකට වෙනස් වයස්කාණ්ඩවල පසුවන්නන්ගේ රුධිරය ලබාගෙන තියෙනවා. ළදරුවන්ගේ, වයස අයුරුදු විසිදෙක ආස්නයේ පසුවන්නන්ගේ සහ වයස හැටහය ආසන්න වැඩිහිටියන්ගේ රුධිර ප්ලාස්මා ද, මිනිස් අවුරුදුවලින් වයස පනහකට ආසන්නයේ සිටින මීයන්ට නික්ෂේපණය කර අදාළ පර්යේෂණය සිදු කර තියෙනවා.

පර්යේෂකයන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබී ඇත්තේ, පෙකණියේ රුධිරය නික්ෂේපණය කිරීමෙන් පසුවයි. පෙකණියේ රුධිරය එන්නත් කෙරුණු මීයන්ගේ ඉගෙනීමට හා මතක ශක්තියට වගකියන හයිපොතැලමස කොටසේ ක්‍රියාකාරීත්වය වඩා වැඩි වූ බවක් පර්යේෂයන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. ඔවුන් ඉතා ඉක්මනින් යමක් ඉගෙනගත හැකි තත්වයට පත් වී ඇත්තා සේම, යනෙන ගමන් මාර්ග ගැන මතකය ද වඩා තියුණු වී ඇති බව නිරීක්ෂණය වී තියෙනවා. තරුණවයසේ පසුවන්නන්ගේ රුධිරය ලබා දුන් මීයන්ගේ හයිපොතැලමසයේ ක්‍රියාකාරීත්වය ද යම් තරමකට වැඩි වී ඇතත්, වයස්ගත වූවන්ගේ රුධිරය එන්නත් කෙරුණු මීයන්ගේ හයිපොතැලමස ක්‍රියාකාරීත්වයේ වෙනසක් වී නැහැ.

කැස්ටෙලාගේ පර්යේෂණ කණ්ඩායමේ සොයාගැනීමට අනුව, පෙකණියේ ඇති රුධිර ප්ලාස්මාවේ TIMP-2 නම් ප්‍රෝටීනයක් අඩංගුයි. පුද්ගලයෙකු වයසින් වැඩෙන විට රුධිරයේ අඩංගු මෙම ප්‍රෝටීනය අඩුවෙලා යනවා. ඒත් තරුණ රුධිරයේ මනා ක්‍රිායාකාරීත්වයට වග කියන්නේත් මෙම ප්‍රෝටීනය ම බව පර්යේෂකයන් ගේ අදහසයි. මේ මගින් වඩ වඩා තහවුරු වී ඇත්තේ TIMP-2 ප්‍රෝටීනය වයස්ගත වීමට එරෙහි මුත් වයස්ගත වීමත් සමගම රුධිරයෙන් ඉවත් වී යන බවයි.

වයස්ගත වීමට එරෙහිවන මෙම ප්‍රෝටීනයේ ක්‍රියාකාරීත්වය තවමත් හරිහැටි පැහැදිලි නැතත්, මැට්රික්ස් මෙටාලො ප්‍රෝටීනේස් කාණ්ඩයට අයත් එන්සයිමයක් එහි අඩංගු බව නම් තහවුරු වෙලා තියෙනවා. එනිසා වයස්ගතවීමත් සමග ඇතිවන ඇල්සයිමා වැනි රෝගී තත්වවලට ප්‍රතිකාර කිරීමටත් මෙය යොදා ගැත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

“මුලින්ම අපි තේරුම් ගත යුතු දේ තමයි TIMP-2 හයිපොතැලමසයට සිදු කරන්නේ කොයිවගේ බලපෑමක් ද කියන කාරණාව. මෙයට සුවකිරීමේ හැකියාවක් තියෙනව ද කියල ඔප්පු කරන්න කලින් දිගුගමනක් යන්න තියෙනවා. මේ වන විටත් කණ්ඩායම් කිහිපයක් පෙකණියේ ඇති රුධිර ප්ලාස්මාව ගැන වැඩි දුරටත් පර්යේෂණ කරමිනුයි ඉන්නේ. මිනිසුන්ගේ වයස්ගතවීමට එරෙහිවන්නට මේ ප්‍රෝටීනයට හැකි බව තහවුරු වුව හොත් ප්‍රතිකාර ක්‍රියාවලියට මෙය යොදාගත හැකියි. ඒ වගේම වියපත් ප්‍රජාව වැඩි වීමේ ගැටලුවට විසඳුම් සොයාගන්නටත් අපට පුළුවන් වේවි.“

තම අලුත් ම සොයාගැනීමේ සුබ පෙරනිමිති ගැන පර්යේෂකයන් පවසන්නේ එවැනි කතාවක්.

Journal reference: Nature, DOI: 10.1038/nature22067

Leave a Reply

Your email address will not be published. Required fields are marked *