SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

ඊ ළඟ ජාතික ව්‍යසනයට පෙර…

වසර 2012 ඔක්තෝම්බර් මස 24 වන දින ලංකාවේ සියලු පුවත්පත්වල මෙන්ම රජයේ වෙබ් අඩවිවල ද වාර්තා වුයේ කණගාටුදායක සිදුවීමකි. ඊට පෙර දින සීගිරියට වැදුණු අකුණු පහරකින් සිංහ පාදය අසල විශාල කොටසක් ගැලවී ගොස් ඇති බව එම වාර්තාවයි. එම හානිය සිදුවන අවස්ථාවේ අකුණු සහිත වැහිබර කාලගුණයක් පැවතී ඇත.

ඊට දින කිහිපයකට පසු අදාළ බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම සිද්ධිය වසර දහස් ගණනක් පුරා වූ ස්වභාවික ක්ෂයවීම් නිසා සිදුවූවක් මිස අකුණු පහරක ප්‍රතිඵලයක් නොවන බව කියා සිටියේ ය. එසේ වී නම් එල්ල විය හැකි දෝෂාරෝපණයෙන්  මිදීමට බලධාරීනට කදිම අවස්ථාවකි එය. මන්ද, අකුණුවලින් සිදුවන විපත් අවම කරගැනීමට තාක්‍ෂණික ක්‍රමවේ ද එමට ඇත. මේ ගැන අප ඊට පෙර ද පවසා තිබුණි. එම ක්‍රමවේද එතෙක් අනුගමනය නො කිරීමෙන් මෙම හානිය සිදු වුණා යැයි ඔවුනට එල්ලවන විවේචනයන්ගෙන් පහසුවෙන් මිදීමට මෙම නිගමනය උපකාරී වෙයි.

සීගිරියට වූ ඉහත හානිය අකුණු පහරකින් සිදු නොවුණේ යැයි බලධාරීන් නිගමනයකට පැමිණියේ කෙසේ දැයි අපි නොදනිමු. බිත්තියක කොටසක් මෙලෙස ගැලවී යෑම ස්වභාවික ක්ෂයවීම් තුළින් සිදු වීමට ඉඩ ඇත. එලෙසම, එම ස්ථානයට ම වැදුණු අකුණු පහරකින් හෝ ආසන්න ස්ථානයකට වැදුණු අකුණු පහරක ධාරාව අදාළ ස්ථානයෙන් ඉවතට ගැලීමෙන් ද මෙබඳු හානියක් සිදු විය හැක. සිද්ධියට හේතුව දෙවෙනි කරුණ නම් බොහෝ විට ගැලවුණ ගල් සෑහෙන දුරකට විසිරී තිබෙනු නිරීක්ෂණය කළ හැක. එයට හේතුව අභ්‍යන්තරයේ ක්‍ෂණිකව ඇතිවන පීඩනයයි. මෙම අවස්ථාවේ නිකුත් වූ සමහර චායාරූපවල මෙලෙස විසිරුණ ගඩොල් කැබලි පෙනෙන්නට තිබුණි. එහෙත් නිවැරැදි උපකල්පනවලට එළඹීම සඳහා එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ යුතුව තිබුණි. සමහර විට බලධාරීන් තම නිගමනවලට පැමිණ ඇත්තේ මෙම නිරීක්ෂණ උපයෝගී කොට ගෙන විය හැක.

එහෙත් ඉහත සංසිද්ධියේ දී වැදගත් වන්නේ සීගිරියට වූ හානියට අකුණු වගකිව යුතුද, නැද්ද යන්න නොවේ. එය අකුණු ආරක්ෂණය සඳහා බලධාරීන්ට කරන සිහිගැන්වීමක් ලෙස පිළිගැනීමයි.

වසර දහස් ගණනක් බොහෝ ස්වභාවික උපද්‍රවවලින් නිරුපද්‍රිතව පැවතීගෙන එන පුරාවිද්‍යාත්මක වැදගත් කමක් ඇති ජාතික වස්තු වර්තමානයේ අකුණු ආරක්‍ෂණය කිරීමට යෝජනා කිරීම තාර්කික දැයි ඇතැමෙකුට කුකුසක් ඇති විය හැකි නමුත් අකුණු ආරක්ෂණ විශේෂඥයන් මෙම පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත අඩවියකට පිය නැගූ සැනෙන් ඔවුනට මෙම පැනයට පිළිතුරු හමු වෙයි.

පසුගිය දශක කිහිපය තුළ බොහෝ පුරාවිද්‍යා ස්මාරක සහ ගොඩනැගිලිවලට නොයෙකුත් වෙනස්කම් සිදු කර ඇති බව පෙනෙයි. අව් වැසි ආවරණ, ආලෝක කරණය සඳහා ඇදි විදුලි රැහැන් සහ විදුලි බුබුළු පද්ධති (සහ ඒවායේ අධාරක), අනෙකුත් ආධාරක ව්‍යුහ, කොඩි ගස් ඇතුළු නව එකතුකිරීම් රාශියක් මේ වෙනස්කම්වලට අයත් ය. විශේෂයෙන්ම ලෝහ කොටස් සහිත මෙම නව අංග අකුණු සඳහා නිකුත් කෙරෙන ආරාධනා පත්‍ර වැනි ය.

ස්ථාන කිහිපයක දී අප නිරීක්ෂණය කළ ආකාරයට මෙම නව එකතුකිරීම් නිර්මාණය කිරීමේ දී අකුණු ආරක්ෂණය පිළිබඳව කිසිඳු සැලකිල්ලක් දක්වා නැත. උදාහරණයක් ලෙස අව්-වැසි ආවරණයක් යෙදීමේ දී ලෝහ තහඩු සහිත වහලයක් ලෝහ කණු මත පිහිටුවා එම කණු කොන්ක්‍රීට් ආධාරක මත ස්ථාපනය කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මෙවැනි ආවරණයක් වෙතට අකුණු ඇදී ඒමට හැකි අවස්ථා අධික ය. එසේ වදින අකුණක් මගින් ආවරණය කළ පුරාවිද්‍යා ස්මාරකයට පැති අකුණු පහරක් වැදී එය දරුණු ලෙස හානියට පත්වීමට ඉඩකඩ ඇත. එසේම එම අකුණු ධාරාව පොළොව මතුපිට පුරා පැතිර යෑම සහ විද්‍යුත් පුලිගු ඇතිවීම නිසා ස්මාරකයේ පාදමට අනතුරු සිදුවිය හැක. ඒ සියල්ලටම වඩා එම ස්ථානයේ සිටින පුද්ගලයන්ට සිදුවිය හැකි මාරක අනතුරු පිළිබඳව ද අප සිතා බැලිය යුතු ය.

නේපාලයේ කත්මන්ඩු නුවරට ආසන්නයේ පිහිටිලෝක උරුමයක් වන ප්‍රතාපූර් බෞද්ධ සිද්ධස්ථානයේ තිබු ඉතා ඉහළ පුරා විද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් වසර 2011 දී අකුණු පහරකින් විනාශ වී ගියේ ය. ඉන් පෙර හා පසුව ද කිහිප විටක් ම මෙම සිද්ධස්ථානයේ වූ අකුණු අනතුරුවලින් හානි කිහිපයක්සි ම සිදු විය. අපට මෙම සිද්ධස්ථානයේ කළ නිරීක්ෂණ චාරිකාවක දී හෙළි වුයේ එහි නොයෙකුත් ලෝහමය නිමැයුම් රාශියක් පසුගිය සමයේ දී ඉදි වී ඇති බවයි. එක් අකුණු පහරකින් වසර දහස් ගණනක් පැවති ස්මාරකයක් එක් සැනෙකින් විනාශ විය හැකි බව මෙම සිද්ධීන් පසක් කරයි.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානවලට අකුණු ආරක්‍ෂණය ලබා දීමේ දී, ප්‍රථමයෙන් ඒ පිළිබඳව හසළ දැනුමක් ඇති විශේෂඥයන් ලවා පුර්ණ විශ්ලේෂණයක් කිරීම වැදගත් වේ. ඉන්පසු පිළිගත් තාක්‍ෂණ ක්‍රමවේදයකට අනුව ආරක්‍ෂණ පද්ධතිය සකස් කරගත යුතු ය. මේ වන විට ලංකාවේ විශාල වශයෙන් ජාතික හෝ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල නොවූ ආරක්ෂණ පද්ධති යොදා ඇත. මේවා අනවශ්‍ය අන්තරායන්ට අත වනයි. උදාහරණයක් ලෙස කුරුණෑගල ඇතාගල මත ඉදිකළ බුදු පිළිමයට කලකට පෙර සිදු වූ හානිය සඳහන් කළ හැක. එම බුදු පිළිමයට ප්‍රමිතියෙන් තොර අකුණු ආරක්ෂණ පද්ධතියක් යොදා තිබුණි ( දැන් වෙනස් කර ඇත් දැයි නො දනිමු ). එයට එල්ල වූ අකුණු පහරකින් පිළිම වහන්සේගේ ගෙල ප්‍රදේශයට හානි සිදු වී තිබුණි. අප එකල කළ නිරීක්ෂණ චාරිකාවක දී පෙනී ගියේ අකුණු සන්නායකයේ ඉහළට වැදුණු අකුණු පහරකින් ගැලූ ධාරාව ඊට පහළ කොටසක දී පිළිමයට හානි පමුණුවාගෙන කොන්ක්‍රීට් ව්‍යුහයේ ඇති යකඩ රාමුවට ඇතුළු වී ඇති බවයි.

වසර දහස් ගණනකට පෙර අපේ මුතුන් මිත්තන් විශාල දාගැබ් සඳහා තාක්ෂණයෙන් ඉහළ අකුණු ආරක්ෂණ උපක්‍රමයක් යොදා ගෙන තිබුණි. ඒ ක්‍රමවේදය අපි ජාත්‍යන්තරයට පෙන්වා දුන්නෙමු. එය නව ලෝකයට අළුත් ක්‍රමයක් වන අකුණු ආරක්ෂණ තාක්ෂණයක් බිහි කිරීමට මුල් වෙමින් පවතී. එබඳු යුගයක අපේ පුරාවිද්‍යාත්මක වස්තු අකුණු ප්‍රහාරවලින් ආරක්ෂා කරගැනීමට නොහැකි වේ නම් එය ජාතියේ අවාසනාවකි.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *