SciTech Publishing Corporation (Pvt) Ltd.
Astronomy

ජීවය නැංවෙන ලොවෙන් එහා සාගර ලෝක

හිරුමඩලලේ ග්‍රහලෝක ගැන සොයාබලන නාසා මෙහෙයුම් දෙකකින්, සෙනසුරු සහ බ්‍රහස්පතිගේ ‘සාගර ලෝක‘ දෙකක් ගැන අලුත්ම තොරතුරු හෙළි කරනවා. ඒ අතරින් කැසිනි මෙහෙයුමේ විද්‍යාඥයන් පවසන්නේ, සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන එන්සිලඩස් මත ජීවී පෝෂණයට තුඩු දෙන රසායනික ශක්ති ප්‍රභවයක් පෙනෙන්නට ඇති බවයි. හබ්ල් දුරේක්ෂයට සම්බන්ධ විද්‍යාඥයන් පවසන්නේ, බ්‍රහස්පතිගේ චන්ද්‍රෙයකු වන යුරෝපාගෙන් ඉහළට විදින දහරා ගැන අලුත් ම තොරතුරු පිළිබඳවයි.

“ජීවීන්ට හිතකර පරිසරයක් ගැන මෙතෙක් ලැබී ඇති හොඳම තොරතුර මේකයි“ එහෙම කියන්නේ වොෂිංටන්හි නාසා විද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලයේ සම පරිපාලක තෝමස් සුර්බුචෙන්.

එන්සිලාඩස්ගේ භූ අභ්‍යන්තරයේ පිහිටි සාගර පතුලෙන් ජලතාප ක්‍රියාකාරකම් නිසා නිකුත්වන හයිඩ්රජන් වායුව, ජීවය සඳහා රසායනික ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කළ හැකි බව සයන්ස් ජර්නලයේ පර්යේෂණ පත්‍රිකාවක් පළ කරමින් කැසිනි මෙහෙයුමේ විද්‍යාඥයන් පවසනවා.

මේ චන්ද්‍ර සාගරයේ ඔනෑතරම් හයිඩ්රජන් තියෙන නිසා, ඒ හයිඩ්රජන් සාගර ජලයේ දියවෙලා තියෙන කාබන්ඩයොක්සයිඩ් එක්ක එකතු වෙලා එහි ක්ෂුද්‍රජීවීන් ඉන්නවානම්, එයින් එයාලට ශක්තිය ලබා ගන්න පුළුවන්. මේ රසායනික ප්‍රතික්‍රියාව හඳුන්වන්නේ ‘මෙතනොජෙනිසිස්‘ කියල. මන්ද ඉන් අතුරු ඵලයක් ලෙස මෙතේන් නිපදවනවා. පොළොවේ ඇති ශාක මූලවල ද මෙවැන්නක් සිදු වෙනවා. ඒ විතරක් නොවෙයි අපේ ග්‍රහලෝකෙ ජීවය බිහිවෙන කොටත් මේ ක්‍රියාවලිය ඉතා තීරණාත්මක වෙන්න ඇති.

මේ රූපයෙන් පෙනෙන්නේ 2015 වසරේ දී එන්සිලඩස් උපග්‍රහයාගේ දූම විදාරණයක් හරහා කැසිනි යානය ගමන් කරන අයුරු ය. Credits: NASA/JPL-Caltech

අප දන්න විදියට ජීවය සඳහා මූලික කාරණා තුනක්, ඒ කියන්නෙ ද්‍රව ජලය, පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා ශක්ති ප්‍රභවයක්, සහ මූලිකවම කාබන්, හයිඩ්රජන්, නයිට්රජන්, ඔක්සිජන්, පොස්පරස් සහ සල්ෆර් වගේ නියමිත රසායනික අඩුවැඩිය තියෙන්න ඕන. පොළොවට වඩා සැතපුම් බිලියන ගණනක් හිරුගෙන් ඈත්ව පිහිටන මේ පුංචි අයිස් චන්ද්‍රයාගේ ජීවය සඳහා තුඩු දෙන මේ කරණා සියල්ලම පාහේ තියෙන බව මේ නව සොයාගැනීමෙන් පෙනී යනවා. එත් තවමත් පොස්පරස් සහ සල්ෆර් කියන මූලද්‍රව්‍ය දෙක මේ සාගරයේ තියෙන බවට විද්‍යාඥයන්ට සාධක හමුවෙලා නැහැ. ඒත් ඔවුන් හිතනවා ඒ මූලද්‍රව්‍ය දෙකත් එහි තියෙන්නට ඉඩකඩ ඇති බව. මොකද, එන්සිලඩස් හැදිල තියෙන පාෂාණයට සමානකම් දක්වන උල්කාවල මේ මූලද්‍රව්‍ය දෙකම ගැබ්වෙලා තියෙනවා.

“මෙවැනි පුංචි අයිස් ලෝකෙක සාගරයෙ ජීවයට අවශ්‍ය රසායනික ශක්තිය ඇති බවට තහවුරු වූවා කියන්නෙ පොළොවෙන් එපිට ජීවයක් සොයා යන ගමනෙ දි, එය වැදගත් සැතපුම් කණුවක්“ එහෙම කියන්නෙ නාසා ජෙට් ප්‍රචාලන ආයතනයේ කැසිනි ව්‍යාපෘති විද්‍යාඥවරියක වන ලින්ඩා ස්පිල්කර්.

කැසිනි යානය 2015 ඔක්තෝබර් 28 වැනි දා එන්සිලාඩස්ගෙන් ඉහළට විහිදුණු වායු හා අයිස් මිශ්‍ර දුමාරයක් හරහා ගමන් කිරීමේ දී එහි හයිඩ්රජන් ඇති බවට අනාවරණය කර ගත්තා. මින් පෙර ද මෙවැනි දුමාරයක් හරහා ගමන් කිරීමේ දී සිදු කළ විශ්ලේෂණ අනුව එම දුමාරයේ සියයට 98ක් ම ඇත්තේ ජලය බවත්, සියයට එකක් පමණ හයිඩ්රජන් ද ඉතිරිය කාබන්ඩයොක්සයිඩ්, ඇමෝනියා හා මෙතේන් අණුවලින් සංයෝජනය වී ඇති බවත් සොයා ගැනීමට හැකි වුණා.

 

කැසිනි යානය නිර්මාණය කොට තිබුණේ මෙවැනි දුමාරයක ජීවයේ සලකුණු සොයන්නට නොවෙයි. ඇත්තෙන්ම යානය සෙනසුරු වෙත යන තුරුම, මෙවැනි දුමාරයක් පිළිබඳව විද්‍යාඥයන් දැනුවත්ව සිටියේ නැහැ.

“අපට එහි ජීවය සොයාගන්න බැරි වුණත්, ජීවයට ඕන කරන ආහාර ප්‍රභවයක් එහි තියෙන බවට සොයා ගන්නට හැකි වුණා. ඒක හරියට ක්ෂුද්‍රජීවීන්ට රසකැවිලි කඩයක් වගෙයි“ එහෙම කියන්නෙ කැසිනි අධ්‍යයනයේ ප්‍රධාන විද්‍යාඥ හන්ටර් වේට්.

හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් අනාවරණය කර ගත් දත්ත අනුව, ඇස්ට්‍රොෆෙසිකල් ජර්නල් පේපර්ස් හි පර්යේෂණ පත්‍රිකාවක් පළ කරන විද්‍යාඥයන් සඳහන් කරන්නේ, බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත 2016 දී දුටු විදාරණය, 2014 දී හබ්ල් දුරේක්ෂයෙන් දුටු විදාරණය සිදු වූ තැනින් ම හටගත් බවයි.

අලුතෙන් ලබා ගත් ඡායාරූපවල දුමාරය කිලෝමීටර් 100ක් පමණ ඉහළට නැගෙනු දැකින්න පුළුවන්. 2014 දී සිදු වූ විදාරණයේ දී එය විහිදුණේ කිලෝමීටර් 50ක් විතර ඉහළටයි. එහි අයිස්තට්ටුවේ පැල්මකින් මෙය සිදු වූ බවට විද්‍යාඥයින් සිතනවා. මෙය ග්‍රහලොවේ ඇතුළත සිට පිටතට ජලය විදාරණය වන බවට සාක්ෂියක්.

මෙසේ ඉහළට විදෙන ජලවාශ්ප පොළවට පතිතවන ස්ථානවල සෑහෙන කාලයක් උෂ්ණත්වය රැඳිල තියෙනවා. එය ජීවයට හිතකරයි.

හයිඩ්රජන් වායුව ජනනය කරමින් එන්සිලඩස්ගේ පාෂාණ තට්ටුව හා ජලය අන්තර්ක්‍රියා කරන ආකාරය. Credits: NASA/JPL-Caltech

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *