SciTech Publishing Corporation (Pvt) Ltd.
Environment

ගං වතුර බැස යන විට

“ගං වතුර බහු-සංසිද්ධීන්වලට (multiple flood events) ලංකාවේ තියෙන සුදානම කුමක්ද?” මහාචාර්ය බිස්වජිත් ප්‍රධාන් මගෙන් විමසන්නේ, වැල්ලවත්තේ මුහුදු වෙරළට සමාන්තරව ඇවිදගෙන යන අතරතුර දී ය. ඒ පසුගිය වසරේ දී ය.

ඉකුත් වසරේ දී ලංකාවේ පැවති ස්වභාවික විපත් අවම කරගැනීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට ඔහු සහ මා ලංකාවට පැමිණියේ එකම සරසවියේ එකම ඉංජිනේරු පිඨයේ සිට ය. ඔහු ස්වභාවික විපත් අවම කරගැනීමේ තාක්‍ෂණය පිළිබඳව ලෝකයේ සිටින ඉහළ ම පෙළේ විශේෂඥයෙකි.

මට කිව යුත්තේ කුමක්දැයි නොතේරෙයි. බහු-සංසිද්ධි තියා ඒක-සංසිද්ධියකට වත් අප සුදානම් දැයි මම නොදනිමි.

“මේ වෙනකොට ලෝකයේ ගං වතුර බලපෑම් පිළිබඳව නිවැරැදිව පුර්ව නිගමන කළ හැකි මෘදුකාංග දියුණු කරලා තියෙනවා. පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙසටවත් එහෙම මෘදුකාංගයක් මගින් දත්ත සහ මිනුම් විශ්ලේෂණයක් සිදුකර බලපෑම් අවම කර ගැනීමට නිසි පිළියම් යෙදුවේ නැත්නම් රටටම පසුතැවෙන්න වෙයි”. එදා බිස්වජිත් අනතුරු ඇඟවූයේ එලෙස ය. ඔහු මේ කාරණා පිළිබඳව තම දේශණයේ දී ද සවිස්තරව අදහස් දැක්වීය. කී දෙනෙකුට ඒ පිළිබඳව හැඟීමක් ඇති වුණා දැයි මම නොදනිමි.

සාමාන්‍යයෙන් ලංකාවට නිරිතදිග මෝසම් සුළං ඇතුළු වන්නේ (breaking of monsoon) මැයි මස අවසන් සතිය තුළ ය. එහෙත් මේ වසරේ එම ආරම්භය ම අතිශයින් සක්‍රිය වූයේ ය. එහි ප්‍රතිඵලය වූයේ ජීවිත සිය ගණනක් නැතිවීම මෙන්ම මිලියන ගණනාවක දේපළ හානියකට මුහුණ පෑමට සිදුවීමයි. ජූනි මස අග සහ ජූලි මස මුල් සති කිහිපය වන විට නැවතත් අපට අධික වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇත. මේ තත්වය අනුව නැවතත් මෙම වසරේම දී ම ගං වතුරකට මුහුණ දීමට අප සුදානම් විය යුතු ය. එය පහසු අභියෝගයක් නොවන බව නම් සහතික ය.

ජල ගැලීම් ඇතිවන විට මිනිසුන් දරුණු පීඩාවට පත්වන්නා සේම ජලය බැස යන විට ඇතිවන අවදානම පිළිබඳව ද අප සාවධානව කල්පනා කර බැලිය යුතු ය. විශේෂයෙන්ම මෙවර ගං වතුර තත්වය ඇති වූ කාලය අනුව සිදුවිය හැකි අනුක්‍රමික බලපෑම් වෙනත් අවස්ථාවලට වඩා වෙනස් විය හැක.

ගං වතුර පහව යන්නේ නොපෙනෙන කඩතොළු රාශියක් ඉතිරි කරමිනි. ඉක්මනින්ම ඇතිවන බලපෑම නම් ජලයේ ඇතිවන විෂමතා ය.

නාගරික ගං වතුර සහ ගම්බද ගං වතුර අතර ඇත්තේ තරමක වෙනසකි. ජනගහණය අඩු ගම්බද ප්‍රදේශවල ගං වතුර බොහෝ විට තද බොර පැහැයක් ගනියි. මීට හේතුව අවට කඳු සහ හිස් බිම් හරහා වේගයෙන් ගලන ජලයට රොන් මඩ එකතු වීමයි. මේ රොන් මඩ ළිං ජලයට එකතු වූ විට අප්‍රසන්න පෙනුමක් ඇතිවෙයි. එහෙත් පිරිසිඳු රෙදි කඩකින් කිහිප වරක් පෙරා ගැනීමෙන් පසු මේ ජලය පානය කිරීම එහෙමට හානිකර නැත. එසේම වැසි නොමැතිව දින කිහිපයක් ගතවන විට මෙම මඩ ළිං පතුලේ තැම්පත් වන අතර ඉන් පසු ලිඳ සාමාන්‍ය ආකාරයෙන් භාවිත කළ හැක.

එහෙත් නාගරික ගං වතුර ඊට වෙනස් ය. මෙම වතුර බොහෝ විට අපැහැදිලි අළු පැහැති ස්වරූපයක් ගනී. මලකඩ, ග්‍රීස්, තාර, නොයෙකුත් තෙල් වර්ග එකතු වූ මෙම ජලයේ මල මුත්‍ර සහ නොයෙකුත් සත්‍ව අපද්‍රව්‍ය ද ඉහළ ප්‍රතිශතයක් ඇත. එබැවින් මෙම ජලය බැක්ටීරියා සහ අනෙකුත් රෝගකාරකවලින් ඉතා පොහොසත් ය. මේ හේතුවෙන් පානය සඳහා පමණක් නොව ඇඟ පතේ ස්පර්ශ වීමට පවා එම ජලය නුසුදුසු ය.

මෙම ජලය ළිංවලට එකතු වූ විට ඒවා පිරිසිඳු කිරීම ඉතා අපහසු ය. එමෙන්ම කාලයත් සමග මෙම අපද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය අඩු වන්නේ ඉතා සෙමෙනි. මීට අමතරව සිදුවන තවත් අවාසනාවන්ත තත්වයක් ඇත. ජල ගැලීමත් සමගම එම ප්‍රදේශවල නල ජල සැපයුම නැවැත්වීම සිදුවෙන අවස්ථා අප දැක ඇත. මෙබඳු අවස්ථාවක දී ගං වතුරට යටවන ජල නලයක් කැඩී ගියහොත් හෝ ජල කරාමයක් විවෘතව තිබුණ හොත් එය තුළින් මෙම අපවිත්‍ර ජලය නළ පද්ධතියේ බොහෝ ඈතකට ඇදී යයි. මෙහි දී මෙම අපිරිසිඳු ජලයේ ඇති විෂබීජ නැවත ජල සැපයුම ඇරඹුණු විට පිරිසිඳු ජලයට මිශ්‍ර වෙයි. එපමණක් නොව නාගරික ගං වතුරේ ඇති ඉහත කී අපවිත්‍ර ද්‍රව්‍ය නළ පද්ධතියේ ඇතුළු පැත්තේ තැවරේ. මේවා සෑහෙන කාලයක් නළ තුළ රැඳී පවතී.

ඉහත කරුණු පිළිබඳව ජනතාව පමණක් නොව බලධාරීන් ද සිය අවධානය යොමු කළ යුතු ය.

ජල ගැල්ම පැමිණීමට දින කිහිපයකට පෙර වැල්ලවත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයට යාබදව වූ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටුණි. ඇළ මාර්ග සහ ගඟවල් අසල ගොඩනැගිළි ඉදිකරන්නන් සැලකිය යුතු ඉතා වැදගත් කරුණක් වෙයි. එනම් ගලා යන ජල මාර්ගයක හරස්කඩ වපසරිය ඇසට පෙනෙන මානයට වඩා අධික වන බවයි. ජල මාර්ගයේ මායිම් කණ්ඩියට වඩා සමහර විට මීටර් කිහිපයක් ඈතට භුමිය අභ්‍යන්තරයෙන් ජල පහර ඇදී යයි. ගංවතුරේ අවර භාගයේ දී ජලය මුහුදට හෝ විශාල ගංගාවකට ඇදී යන්නේ මෙම ඇළ මාර්ග ඔස්සේය. මෙහි දී සාමාන්‍යයෙන් ගලන ජලයට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් හැසිරවීමට මෙම ඇළ මාර්ගවලට සිදුවෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ඇළ මාර්ගයේ මායිම් බොහෝ සෙයින් පුළුල් වීමයි. ඇළ කණ්ඩිය කොන්ක්‍රීට් බැම්මක් යොදා නිර්ණය කර ඇති විට එම කොන්ක්‍රීට් බැම්මට යටින් පස සෝදාගෙන යෑමට ඉඩ ඇත. මෙය ඒ අවට ඇති විශාල ගොඩනැගිලිවලට ඉතා අන්තරායදායක ය.

ඇළ මාර්ග ඉවුරු ආසන්නයේ ඇති අභ්‍යන්තර ජල ගැලීම් පරාසය, ගැඹුර සහ ජලය ගලන වේගය පවා සෙවිය හැකි ස්කෑන් යන්ත්‍ර දැන් පහසුවෙන් ලබාගත හැකි ය. එහෙත් සාමාන්‍ය ජනතාවට මෙම යන්ත්‍ර මිළදී ගැනීම පහසු නොවේ. එබැවින් රජය හෝ වෙනත් ආයතනයක් මැදිහත් වී මෙම කාර්ය ඉටු කිරීම ඉතා වැදගත් වෙයි.

මෙම ගං වතුරේ ඊළඟ ව්‍යසනය මාර්ග ගිලා බැසීමට ඇති ඉඩකඩ ය. විශේෂයෙන්ම අධි වේගී මාර්ග සෑදීමේ දී පස් කඳු යොදා මාර්ගය ඉහළට එසවූ ප්‍රදේශවල ගං වතුර මගින් පසට එල්ලවන පීඩනය නිසා පස බුරුල් වී තිබීමට ඉඩ ඇත. මේ හේතුවෙන් බර වාහන ගමන් කරන විට මාර්ගය ගිලා බැසීමට අවකාශය නොමැති යැයි සහතිකයක් දීම අපහසු ය. මේ සඳහා මාර්ගයේ අදාළ සියළුම කොටස්වල කඩිනමින් භූ තත්ත්ව පරීක්ෂාවක් කළ යුතුව ඇත.

අප නැවත නැවතත් ලියු කරුණක් මෙහිදී නැවතත් සිහිපත් කිරීමට සිදුව ඇත. එනම් උඩරට දුම්රිය මාර්ගයේ ඇති අවදානම් තත්වයයි. විශේෂයෙන්ම රෝසැල්ල, වටවල ආදී ප්‍රදේශවල දුම්රිය මාර්ගය දිගටම ස්ථායිතාවය පිළිබඳව ස්කෑන් කිරීමක් සිදුකර ආරක්ෂාව තහවුරු කරන්නේ නම් මැනවි (මේ වන විටත් එසේ කර නැත්නම්).

ගං වතුර බැස ගියේය. තව සති කිහිපයකින් ඊළඟ ගං වතුර පැමිණිය හොත් අප සුදානම්ද?

ලෝකය වෙනස් වී ඇත. නොඑසේ නම් මිනිසා විසින් එය වෙනස් කර ඇත. ඒ බව තහවුරු කරගන්න අපි තව ජිවිත කීයක් නැතිවන තෙක් බලා සිටිමු ද?

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *