SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

ගංවතුර විපතින් ගැලවීමට නම් කළ යුත්තේ..?

ගං වතුර ලංකාවට අලුත් දෙයක් නොවේ. හරියටම මීට වසරකට පෙර ද දරුණු ජල ගැලීමක් රට තුළ සිදු විය. එවන් වාතාවරණයක් පවතින රටක් දිගු කාලීන විපත් අවම කරගැනීමේ වැඩ පිළිවෙලකට යා යුතුව ඇත. පමා වී හෝ දැන් එය කළ යුතුව තිබේ.

“ස්වභාවික විපත් (natural disaster)” කියා දෙයක් නැත. ඇත්තේ ස්වභාවික ආන්තික සිදුවීම් (natural extreme events) සහ මානව විපත් (human disasters) යන සංසිද්ධි දෙක පමණි. ස්වභාව ධර්මයේ නිරන්තර වෙනස් කම් සිදු වේ. සමහර වෙනස්කම් සිදුවන්නේ කලාතුරකිනි. වසර 2004ට පෙර ලංකාවේ වැසියන් සුනාමියකට මුහුණ දී තිබුණේ වසර 500 කට වඩා ඈත අතීතයේ ය. ඒ පෘතුගීසීන් මුහුදුබඩ පෙදෙස් අත්පත් කරගෙන සිටින සමයේ ය. ඊට පෙර ඒ පිළිබඳව ලියැවෙන්නේ විහාරමහා දේවියගේ යුගයේ දී ය. ඒ වසර දෙදහසකට පමණ පෙර දී ය. මේවා අපි ආන්තික සංසිද්ධි ලෙස හඳුන්වමු. ගං වතුර ඊට වඩා වැඩි සම්භාවිතාවයකින් ලංකාවේ ඇතිවන ආන්තික සිදුවීම් ය.

අරණායක කන්ද නාය ගියේ මිනිස් වාසයක් යට කරගෙන ය. එම ප්‍රදේශයේ මිනිසුන් පදිංචිව නොසිටියා නම් එය ස්වභාවික ආන්තික සිදුවීමක් පමණකින් කෙලවර වන්න තිබුණි. එහෙත් මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස එය මානව විපතක් බවට පත් විය. ස්වභාවික ආන්තික සිදුවීම් වළක්වාලීම සැහෙන අපහසු කර්තව්‍යයකි. එහෙත් මානව විපත් අවම කරගැනීමට හැකියාව ඇත. නැතිනම් අපි හැකියාවක් ඇතිකරගත යුතු ය.

ජල ගැලීම් විපත් අවම කරගැනීම පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන්ට 2016 සිදුවීම ඉතා වටිනා දත්ත සමුහයක් කරගත හැකිව තිබුණි. ඒ තුළින් නිසි පියවර පිළිබඳව වගකිව යුත්තන් දැනුවත් කර තිබුණි නම් මෙවර ගං වතුරේ ප්‍රතිඵල වෙනස් වන්න තිබුණා යැයි අපට සිතෙයි.

ජල ගැලීමක විපත් අවම කරගැනීම සඳහා කරුණු රාශියක එකතුවක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් නිවර්තන සහ උපනිවර්තන කලාපීය රටවල දේශගුණය පිළිබඳව අනාවැකි පළකිරීම තරමක් අපහසු ය. ඊට හේතුව දේශගුණයේ හැරුම් ලක්ෂ තීරණය කරන පරාමිති විශාල ප්‍රමාණයක් තිබීම ය. එහෙත් මේ සඳහා මේ වන විට පරිඝනක වැඩසටහන් සහ මෘදුකාංග රාශියක් බිහි වී ඇත. මෙම මෘදුකාංග මිළ අධික ය. එබැවින් වඩාත් උචිත වන්නේ අප රටට හෝ කළාපයට වඩාත් ගැලපෙන මෘදුකාංගයක් නිපදවීම ය. මේ සඳහා අපට මෘදුකාංග විශේෂඥයන් ඕනෑතරම් ඇත. එමෙන්ම අප රටේ සිටින හෝ වෙනත් රටවල සේවය කරන ලාංකික කාලගුණ විද්‍යාඥයන්ගේ දැණුම මේ සඳහා යොදාගත හැක. අවශ්‍යවන්නේ මේ දෙපිරිස එකතුකර කාර්යයට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපාදන සැළසීම ය. පෞද්ගලිකව මගේ මතය වන්නේ මේ සඳහා පසුගිය දශක කිහිපයක සිට කලාපීය දේශගුණ රටාවන් පිළිබඳව මහා පරිමාණයේ පර්යේෂණ පවත්වන ඉන්දීය විද්‍යාඥයන්ගේ සහයෝගය ගතයුතු බවයි. කලාපීය සහයෝගයෙන් තොරව දේශගුණික විපර්යාස පිළිබඳව පර්යේෂණ පැවැත්වීම උගහට ය.

ඉහත සඳහන් මෘදුකාංගයක් මගින් ඉදිරි වසර, වසර දහය, විස්ස, පනහ වැනි කාල වකවානු සඳහා ඇතිවිය හැකි ආන්තික වර්ෂාපතන පිළිබඳව අනාවැකි පලකළ හැක. අපගේ ගං වතුර විපත් අවම කරගැනීමේ සැලැස්ම ගොඩ නැගිය යුත්තේ මේ අනාවැකි මත ය.

ඊළඟ මෘදුකාංගය වර්ධනය කළ යුත්තේ ඇතිවන ආන්තික වර්ෂාපතනයක දී දිවයිනේ ඒ ඒ ප්‍රදේශවල ඇතිවිය හැකි උපරිම ජල මට්ටම්වල ව්‍යාප්තිය ගණනය කිරීමටයි. මේ සඳහා භූ තොරතුරු පද්ධති (GIS) දත්ත උපයෝගී කරගත යුතු ය. වසර 2016 දී අපි ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂමේ (NASTEC) අනුග්‍රහයෙන් ස්වභාවික ආන්තික සිදුවීම් වල බලපෑම අවම කරගැනීමේ ප්‍රතිපත්ති පිළිබඳව ජාත්‍යන්තර සමුළුවක් ලංකාවේ පැවැත් වීමු. මෙයට සහභාගී වූ මැලේසියානු විශේෂඥයා (මහාචාර්ය බිස්වජිත් ප්‍රධන්) කියා සිටියේ මේ කටයුත්ත ලංකාවේ ආරම්භ කරනවා නම් මැලේසියාවේ පුර්ණ සහයෝගය පර්යේෂණ මට්ටමින් ලංකාවට ලබා දීමට ඔවුන් කැමති බවයි. එහෙත් ලංකාවේ කිසිවෙකු මේ සඳහා තවමත් ඉදිරිපත් වී නැත.

මෘදුකාංගයෙන් ජල මට්ටම් විශ්ලේෂණය කළ පසු කළ යුතු ඊළඟ කාර්ය නම්, එය අවම කරගැනීමේ පියවර ගැනීමයි. මේ සඳහා ජල පිටාරක මාර්ග (water egress) ඇතිකිරීම හෝ පිළිසකර කිරීම, පහත් බිම් සැකසීම, ගංගා නිම්න සංවර්ධනය කිරීම, ජල පාලක සහ තාවකාලික රඳවන සැදීම ආදී පියවර රාශියක් ඇත.

මැලේසියාවේ ක්වාලාලම්පුර් නගරයේ ඇති බුහුටි උමග (smart tunnel) මේ සඳහා හොඳ උදාහරණයකි. කිලෝ මීටර 9 ක් පමණ දිගින් යුත් මෙම උමග කොටස් තුනකින් යුක්ත ය. ඉහළ මාල දෙක උපයෝගී කරගන්නේ වාහන දෙපැත්තට යෑම සඳහා මාර්ගයක් ලෙසට ය. යට ම මාලය නගරයට වැටෙන වර්ෂා ජලය එක්රැස් වන සුවිසල් ටැංකියක් ලෙස ක්‍රියා කරයි. ලංකාවටත් වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබෙන මැලේසියාවේ, ක්වාලාලම්පුර් නගරය දැඩි රථවාහන තදබදයක් සහිත එමෙන්ම ගං වතුරෙන් නිතර බැටකන ප්‍රදේශයක් විය. එහෙත් මෙම බුහුටි උමග නිසා ඉහත ගැටලු දෙකටම එකවර විසඳුම් සැපයිණි.

මෘදුකාංගයක ඇති වැදගත්කම නම් යොදන පිළියමින් ඇතිවන තත්වය කල් තබා ගණනය කිරීමට ඇති හැකියාව ය. මේ නිසා යෙදිය හැකි විවිධ උපක්‍රම සහ ඒ සඳහා යන වියදම් ව්‍යාපෘතිය සැළසුම් කිරීමට පෙරම දන ගත හැක. මේ පුර්ව විශ්ලේෂණය, ලංකාව තුළ මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොවූ කරුණකි.

ඉහත ක්‍රියාකාරකම්වලින් ගං වතුර උපද්‍රව අඩු කරගත හැකි ය. එහෙත් එමගින් මානව විපත් ශුන්‍ය කරගැනීමට හැකි නොවේ. ඊට පෙර සුදානමක් සහ මනා විපත් කළමනාකරණයක් අවශ්‍යවේ. මේ සඳහා ඉදිරියෙන්ම ඇති විසඳුම තාක්ෂණයයි. අප නොයෙක්වර මේ පිළිබඳව අදහස් පළකර ඇත.

ගං වතුර කළාපයක (flood plain) පදිංචි ජනතාව සඳහා උභයජීවී නිවාස (amphibious houses) ලබා දීම ඉක්මණින් ඇති කළ යුතු ව්‍යාපෘතියකි. නිතර ගං වතුරට ලක්වන ප්‍රදේශවල පහත සඳහන් පියවර වහා ගත යුතු ය.

සියලු ප්‍රාදේශීය ලේඛම් කාර්යාලවලට ඩිංගි බෝට්ටු සහ හුළං පුරවන යන්ත්‍ර ලබා දීම. මෙය නිවාස මට්ටමින් කළ හැකි නම් ඉතා අගනේ ය.

සියලු පාසල්වල ගං වතුර සහ නාය යෑම් අවස්ථාවල දී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම. මෙය පංසල් සහ දේවස්ථානවල ද ක්‍රියාත්මක කළ හැකි නම් ඉතා අගනේ ය.

නාය යෑමට ඉඩ ඇති උස් බිම් හඳුනාගෙන පදිංචි කරුවන් ඉවත් කිරීම (සුදුසු ආදේශක සහිතව) හෝ නාය යෑම වැලැක්වීම සඳහා රඳවා තබා ගැනීමේ බිත්ති (retention walls) ඉදිකිරිම. මෙම පියවර දෙකම අධික වියදම් සහ ගැටලු සහගත කාර්යයන් බැවින්, අඩුම ගණනේ අන්තරායකර නිවාසවල පදිංචි කරුවන්ට නාය යෑමක පුර්ව ලක්ෂණ හඳුනාගැනීම පිළිබඳව පුහුණු සැසියක් ගම් මට්ටමින් පැවැත්වීම.

ගං වතුර බැස යන්නේ ද ව්‍යසන රාශියක් ඉතිරි කරමිනි. පස බුරුල් වීම, වගා පාලු වීම, පානීය ජලය අපවිත්‍ර වීම මින් කිහිපයකි. විශේෂයෙන්ම කලින් නාය යෑමක් ගැන අවධානය යොමු නොවූ උස් බිම් පිළිබඳව ද දැන් සලකා බැලිය යුතුව ඇත. එසේම අධි වේගී මාර්ගවල පාර පස් පුරවා ඉහළට එස වූ කොටස්වල ගිලා බැසීම් (sink holes) ඇතිවීමට ද ඉඩකඩක් ඇත.

 

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *