SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

උපතට පෙර ම සෞඛ්‍ය හඳහන හදන්න ලේ පරීක්ෂාවකින් පුළුවන්

වසර 1996  සරත් සෘතුවේ එක්තරා දවසක මධ්‍යම රාත්‍රිය පසු වී සුළු මොහොතකට පසුව යුක් මිං ඩෙනිස් ලෝ (Yuk Ming Dennis Lo) නැමැත්තෙක් නුතන වෛද්‍ය විද්‍යාව වෙනස් කළ හැකි සොයා ගැනීමක් සිදු කළේ ය. රුධිරයෙහි පාවෙමින් පවතින ඩීඑන්එ් (DNA) හෙවත් න්‍යෂ්ටික අම්ල අණු සොයා ගැනීම එතෙක් මෙතෙක් සඟවා තැබූ නිධානයක් හමු වූවා වැන්න. මෙම සොයා ගැනීම නිසා ගර්භනී මාතාවන්ට ඉතා ආරක්ෂාකාරීව තම නුපන් ළදරුවන්ගේ සෞඛ්‍ය තත්වය, විශේෂයෙන්ම ප්‍රවේණිගත රෝග පිලිබඳ පරීක්ෂා කර ඔවුන් සුවෙන් පසු වේ දැයි යන්න දැන ගැනීමට අවස්ථාව උදා විය. තවද, පිළිකාවල මූලික අවධි පවා කළල අවදියේ දී ම දැන ගැනීම හේතුවෙන්, ඊට අවශ්‍ය ප්‍රතිකාර කොට ජීවිත ගණනාවක් බේරා ගැනීමට ද හැකිවිය.

මහාචාර්ය යුක් මිං ඩෙනිස් ලෝ

ලෝ ගේ පළමු සොයා ගැනීම වූයේ, නූපන් ළදරුවෙකුගේ න්‍යෂ්ටික අම්ල අණු මවගේ රුධිර ප්ලාස්මයෙහි නිදහසේ පාවෙමින් පවතින බව ය. එම අණු, ළදරුවාගේ සෞඛ්‍ය තත්වය හා අනාගතය හෙළි කරන විස්මිත ද්වාරයක් ලෙස ඔහු විසින් හඳුනා ගැනිණි.

කෙසේ වුවද, ආරම්භයේ දී වෛද්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් අය මෙය එතරම් විශ්වාස නොකළ හ. ඔවුන් සිතුවේ උපදින දරුවා ගැහැනු ද පිරිමි ද යන්න දැනගැනීමට පමණක් (ලිංග නිර්ණයට) එය උපකාරී කරගත හැකි බව ය. තවත් අයෙක් එය මානව ආචාර ධර්මවලට පටහැනි බවක් දක්වමින් අධෛර්යයට පත් කිරීමට තැත් කළ බව ද ලෝ පවසන්නේ ය. එහෙත් ඒ හමුවේ නො සැලුණු හෙතෙම සිය කාර්යය ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව කරගෙන යන ලදී.
ලෝ ගේ පරීක්ෂණ කටයුතු ඇරඹෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි දී ය. එහි දී ඔහුට ප්‍රමුඛ පෙළහි විද්‍යාඥයෙකු වන මහාචාර්ය ජෝන් බෙල් මහතා හමු වීමත් තවත් සුවිශේෂත්වයකි. මහාචාර්ය බෙල්ගේ දේශනයකට සවන් දුන් ඔහුට Polymerase Chain Reaction (PCR) නම් තාක්ෂණය ගැන අසන්නට ලැබිණි. එම තාක්ෂණයෙන් ඉතා කුඩා DNA ප්‍රමාණයක් පවා විශාල ප්‍රමාණයක් බවට පරිවර්තනය කර ගැනීමට පුළුවන.
ඔහු කල්පනා කළේ එය ප්‍රායෝගිකව භාවිත කළ හැකි අවස්තාවක් ගැන ය. එහිදී ඔහුගේ අරමුණ වූයේ මිනිසාගේ ප්‍රවේණිගත රෝගයක් වන ඩවුන්ස් සහලක්ෂණය (Down’s Syndrome) හඳුනා ගැනීම සඳහා හානිකර නොවන පරීක්ෂණයක් සෙවීම ය. සාමාන්‍ය සාම්ප්‍රදායික පරික්ෂාවක දී කලලය වටා ඇති ඇම්නියෝටික තරලය (amniotic liquid) ලබා ගැනීමට සිදු වේ. එහිදී එම තරලයේ ඇති සෛල ඩවුන්ස් සහලක්ෂණය ඇතුළු රෝග ගණනාවක පරීක්ෂණ සිදු කිරීමට යොදා ගනී. එහිදී විශාල කටුවක් මවගේ ගර්භාෂය තුළට ඇතුළු කිරීමට සිදු වන අතර මෙම ක්‍රියාවලිය නිසා ගබ්සා වීම් පවා සිදුවිය හැකි බව එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය පවසයි. වෛද්‍යවරුන්  මෙතරම් භයානක මෙන්ම අවදානම් සහගත ක්‍රියාවලිකකට යොමු වන්නේ ඇයි දැයි යන්න පුදුමයට කරුණක් බව ඔහු සිතුවේ ය.
කලලයේ න්‍යෂ්ටික අම්ල අණු මවගේ ගර්භාෂයට පැමිණෙන්නේ මව හා දරුවා සම්බන්ධ කරන කලල බන්ධය හරහා ය. ඔහු සිසු අවධියේ දී, මවගේ හා දරුවාගේ රුධිරය සම්බන්ධයක් නැති වෙන වෙන ම  තරල ලෙසට හඳුනා ගෙන තිබුණි. දැඩි  අධිෂ්ඨානයෙන් වැඩ කළ ලෝ, සිය පරීක්ෂණය අවුරුදු 8ක් පුරා කරගෙන ගියේ ය. මේ කාලයේම ඔහු චීනයේ හොං කොංග් නුවරට සංක්‍රමණය විය. ඔහුගේ විස්මිත සොයා ගැනීමට මග පෑදුණේ එහි දී ය. එම සංක්‍රමණයට මාස තුනකට පමණ පෙර ඔහු කිය වූ පර්යේෂණ පත්‍රිකාවක සටහන්ව තිබු කරුණක් සම්බන්ධයෙන් ඔහුගේ අවධානය යොමු විය. එහි සටහන්ව තිබුණේ පිළිකා රෝගීන්ගේ පිළිකා ඩීඑන්ඒ ඔවුන්ගේ රුධිර ප්ලාස්මයෙහි නිදැල්ලේ සැරිසරමින් ඇති බවකි.

විද්‍යාඥයයින් අවබෝධ කොට ගෙන තිබුණේ, Circulating tumor DNA (ctDNA) ලෙසින් හැඳින්වූ එම අණු සිරුර තුළ මරණයට පත්වන පිළිකා සෛලවලින් රුධිරයට නිකුත් වන බව ය. මෙම අදහස සැලකිල්ලට ගෙන ලෝ සිය සිතුවිලි ඒ ඔස්සේ මෙහෙය වීය. මවගේ  කුස තුළ වැඩෙන දරුවා රෝගියෙකු තුළ වර්ධනය වන පිළිකාවක් ලෙස සිතිය හැකි ය. කුඩා පිළිකාවකට වුව ද රෝගියාගේ රුධිර ප්ලාස්මයට ඩීඑන්ඒ අණු නිකුත් කළ හැකිනම් මවගේ රුධිරයට ඒවා නිකුත් කිරීමේ හැකියාවක් කළලයට ද තිබිය යුතු යැයි ඔහු සිතුවේ ය.

ඔහු ඊළඟට සිදු කළේ, ගර්භනී කාන්තාවන්ගෙන් ලබාගත් රුධිර ප්ලාස්මය රත්කර එහි වූ ඩීඑන්ඒ අණු විනාශ කළ හැකි ප්‍රෝටීන විනාශ කර දැමීම ය. එමගින් වෙන් කරගත් ඩීඑන්ඒ අණු, මවගේ හා කළලයේ ලෙස වෙන් කොට ගෙන කලලයේ ඩීඑන්ඒ අණුවලට පරීක්ෂණ සිදු කරන ලදී. ඩවුන්ස් සහලක්ෂණය ඇති වන්නේ, මිනිසාගේ සාමාන්‍යයෙන් පැවතිය යුතු වර්ණදේහ යුගල් 23න් 21 වැනි වර්ණදේහය වැඩිපුර යුගලක් පිහිටා තිබීමෙනි. ඉහත මවගේ රුධිරයෙන් නිස්සාරණය කරගත් ඩීඑන්ඒ අණු අධ්‍යයනය කිරීමෙන් නූපන් ළදරුවාට මෙම රෝගී තත්වය ඇත්දැයි දැනගැනීමට පුළුවන. එමෙන්ම වෙනත් රෝග ගණනාවක් පිළිබඳ පෙරයීම් කිරීමට ද, මෙම නව සොයාගැනීම උපකාරී විය. එමගින් ඩවුන්ස් සහලක්ෂණය ඇති කලලයක් හඳුනා ගැනීම පහසු වේ.
තවත් දශකයක පමණ කාලයක් පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ඔහු මෙම සොයාගැනීම ලෝකයා හමුවට ගෙන ආවේ ය. ඔහුගේ සොයාගැනීම අනුව මෙම සහලක්ෂණය ඇති දරුවන් 21 වන වර්ණදේහය වැඩිපුර සාදනවා මෙන්ම ඒවා වැඩි ප්‍රමාණයක් මවගේ රුධිරයට නිකුත් කරන බව ද සොයා ගැනුණි. එහෙත් එම සොයා ගැනීමෙන් අනතුරුව ද ඒ සඳහා කළ යුතු වන PCR ක්‍රියාවලි ගණන වැඩි හෙයින් මිනිසුන් මේ පිලිබඳ එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. රුධිර ප්ලාස්මයේ ඉතා කුඩා ඩීඑන්ඒ ප්‍රමාණයක් පැවතණ බැවින් ඒවා විශ්ලේෂණය සඳහා අවශ්‍ය ප්‍රමාණයට විශාල කර ගැනීමට ද සැබවින්ම විශාල PCR ක්‍රියාවලි ගණනාවක් සිදු කිරීමට සිදුවිය.
වාසනාවකට මෙන් 2008 වසරේ දී, ඊළඟ පරම්පරාවේ ඩීඑන්ඒ අනුක්‍රමණය කිරීමේ (next generation sequencing) තාක්ෂණය මගින් කුඩා ඩීඑන්ඒ අණු ප්‍රමාණයකින් ඩීඑන්ඒ අණු මිලියනයක් පමණ ඉතා කුඩා වේලාවක දී නිපදවාගත හැකි වූ බැවින්, ඔහුගේ සොයා ගැනීමට එය මහත් උපකාරයක්ම විය.
අවසානයේ 2011 වසරේ දී ඔහු සිය සොයාගැනීමට පේටන්ට් අයිතිය ලබා ගන්නා ලදී. එය ඩවුන්ස් සහලක්ෂණය සඳහා වඩාත් ආරක්ෂාකාරී පරීක්ෂාවක් ලෙස තහවුරු කෙරුණු අතර එම තාක්ෂණය වර්තමානය වන විට ලොව පුරා රටවල් 90කට අධික සංඛ්‍යාවක් විසින් භාවිත කරනු ලබයි. මේ වනවිට මිලියන දෙකකට අධික ගර්භනී කාන්තාවන් පිරිසක් මෙම පරීක්ෂණය සඳහා යොමු වී ඇත. ආරම්භයේ සිට ම මානව අචාර ධර්ම පිළිබඳව පැන නැගුණු ගැටලුව නිසා මෙම ක්‍රමය ලිංග නිර්ණයට භාවිත කළ නොහැකි වන පරිදි නීතියක් ගෙන ඒමට ද හෙතෙම ක්‍රියා කළේ ය.
වර්තමානයේ ඔහුගේ අවධානය යොමුව ඇත්තේ සාමාන්‍ය සම්ප්‍රදායික  පරීක්ෂණවලින් මූලික අවස්ථාවේ දී හඳුනා ගත නොහැකි අක්මාවේ, නාසයේ හා උගුරේ හට ගැනෙන පිළිකා මෙම පරීක්ෂණය මගින් හඳුනා ගැනීමට ය. පිළිකා සෛල වෙතින් රුධිරයට නිකුත් කරන නිදහස් ඩීඑන්ඒ මගින් පිළිකා ඇති දැයි මුල් අවධියේ දී ම හඳුනා ගත හැකි ය.
මෙම රුධිර පරීක්ෂණ නිසා, ලෝකය පුරා සිය දහස් ගණනක ගේ ජීවිත මරණයෙන් ගලවා ගැනීමට හැකි වී ඇත. අවයව බද්ධ කිරීම්වලදී, නව අවයවය දේහයෙන් ප්‍රතික්ෂේප කෙරෙන්නේ ද යන්න සොයා බැලීමටත් මෙය උපකාරී කරගත හැකි බව ලෝ වැඩි දුරටත් පවසන්නේ ය. අලුතින් බද්ධ කළ අවයවයක් සිරුරෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙරේ නම් එමගින් රුධිරයට නිදහස් න්‍යෂ්ටික අම්ල නිකුත් කෙරෙන අතර ඒබව ඉහත කී පරීක්ෂාව මගින් හඳුනාගෙන ඊට අවශ්‍ය පිළියම් යෙදීම ද සිදු කළ හැකි ය.
ඔහුගේ  ඊ ළඟ ඉලක්කය වී ඇත්තේ ගර්භණී මාතාවන්ගේ මුත්‍රාවලින් ඉහත ආකාරයේ පරීක්ෂණ සිදු කරමින් වඩාත් ආරක්ෂාකාරී පරීක්ෂණ අවස්ථා ලබා දීම ය. ඔහු පවසන පරිදි ළදරුවා උපත ලබා පැය දෙකකට පමණ පසුව කලල ඩීඑන්ඒ රුධිරයෙන් ඉවත් වෙයි. ඔහු සැක කරන්නේ, එම ඩීඑන්ඒ මවගේ මුත්‍රා සමග පිටවන බව ය. වෛද්‍ය විද්‍යාවේ තවත් අලුත් සොයා ගැනීමකට ඔහුගේ මෙම සිතුවිල්ල මග පාදනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *