SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

ගං වතුරේ නිවුන් සොහොයුරිය – නියඟය

යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් පවුල් 33,000 කට අයත් පුද්ගලයින් 121,000 ක් දෙනාට පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා ප්‍රකාශ කරයි”.

පුවත්පතක් කියෙව්වත්, රූපවාහිනිය නැරඹුවත් නිරන්තරයෙන් ජල ගැලීම් ගැනම කතා කෙරුණු පසුගිය සතියේ, අපට ඇසුණු තවත් පුවතකි මේ.

නියගය සහ ජල ගැලීම් අත්වැල් බැඳගෙන විවිධ දේශවලට  පහර දෙනු අපි පසුගිය වකවානුව තුළ කිහිප වාරයක් දැක ඇත්තෙමු. චීනය වැනි රටවල එකම ප්‍රදේශයක් කාල වකවානු දෙකක දී නියගයෙන් සහ ගං වතුරෙන් විපතට පත් වීම සාමාන්‍යයෙන් දක්නට සිදු වීමකි. එහෙත් ලංකාව වැනි කුඩා රටක එකම අවස්ථාවක දී එක ප්‍රදේශයක් ජල අතිරික්තයකින් බැටකන අතර තවත් කොටසක් ජල හිඟයෙන් පීඩා විඳීම කුමන අවාසනාවන්ත තත්වයක් ද?.

යාපනය පමණක් නොව ඌව, වයඹ, උතුරු මැද, නැගෙනහිර ආදී පළාත් රාශියක ජනතාව දැන් දශක කිහිපයක් තිස්සේ නිතර ඇතිවන නියගයෙන් හෙම්බත් වී සිටිති. බොහෝ විට මෙම තත්වයට පැලැස්තර ඇටවීමක් මිස ස්ථිර විසඳුම් ලබාදීමට කිසිදු රජයක් මෙතෙක් සමත්ව නැති බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කරුණකි.

ගං වතුර මෙන්ම නියගයට ද මුලික වන්නේ ජලයයි. අවශ්‍යවන කාරණා තුනක් අනුව අපට ජලය වර්ගීකරණය කළ හැක. එනම් පානීය ජලය, පිරිපහදු ජලය (පිරිසිඳු කිරීම් කටයුතුවලට අවශ්‍ය ජලය) සහ වගා ජලයයි. අදාළ ප්‍රදේශය අනුව මෙම එක් එක් කරුණ සඳහා අවශ්‍ය ජලයේ හිඟතාවය වෙනස් වේ.

මීට වසර 10කට පෙර මට පර්යේෂණ කටයුත්තක් සඳහා පකිස්ථානයේ බටහිර දේශ සීමාව ආසන්නයේ පිහිටි ගම්බද ප්‍රදේශයකට යෑමට සිදු විය. මෙම ප්‍රදේශයට ආසන්න වෙද්දී පරිසරය ඉතා වියළි අර්ධ-කාන්තාර ස්වභාවයක් ගත්තේ ය. එම උදෑසන අපගේ ජීප් රථය මාර්ගයේ දුහුවිලි අවුස්සමින් වේගයෙන් ඇදී ගියේ වෙනත් වාහන කිසිවක් කිට්ටුව පාතක නොතිබුණ බැවිණි. එක් ප්‍රදේශයක දී, අප ගමන් කළ මාර්ගයට සමාන්තරව කුඩා කණ්ඩායම් වශයෙන් ඇවිදගෙන යන කාන්තාවන් පිරිසක් අපි දුටුවෙමු. මොවුන් සියලු දෙනාගේ හිස් මත එක පිට එක ඉහළට තැබූ කළගෙඩි 3-4 ක් විය. වර්ණවත් ඇඳුමෙන් සැරසී සිටි ඔවුන් එතරම් කළගෙඩි ප්‍රමාණයක් හිස මත තබාගෙන ලතාවකට ඇවිදගෙන යන ආකාරය ඉතා දැකුම්කළු විය.

මොවුන් යන්නේ කුමකට දැයි දැන ගැනීමේ ආශාවක් මට ඇතිවිය. රියදුරු තැන වාහනය පසෙකින් නැවැත් වූ අතර අප අතර සිටි එකම කාන්තාව වන ආචාර්ය ෂහීනා රථයෙන් බැස එක් කාන්තා කණ්ඩායමක් වෙත පිය නැගී ය.

ෂහීනා අපට කියු ආකාරයට ඔවුන්ගේ කතාන්දරය එතරම් සුන්දර නැත. මේ කාන්තාවන් පියනගන්නේ කිලෝමීටර 8 ක් පමණ ඈතින් ඇති ලිඳක් වෙත ය. ඒ ඉදිරි දින කිහිපයට පිරිමසා ගත හැකි පමණට ජලය රැගෙන ඒමට ය. ඔවුන් ජලය පිරුණු කළගෙඩි තුන හතරක් හිසේ තබාගෙන තවත් කිලෝමීටර 8ක් ආපසු යා යුතු ය.

මොවුන්ගේ කථාව එතනින් නතර නොවේ. එම ගමේ පිරිස වසර දහසකට වැඩි කාලයක් ජලය ලබාගෙන ඇත්තේ ගමේ සිට කිලෝමීටර දෙකක් පමණ ඈතින් වන වෙනත් ලිඳකිනි. ඊට වසර 15කට පමණ පෙර රාජ්‍ය නොවන සංවිධානයක් මගින් එම ළිදට යාබද ගමේ නළ ළිං දෙකක් සවි කර ඇත. ඉන් පසු ගමේ සිටින බලවතෙක් එම නළ ළිං දෙක අයිති කරගෙන බවුසර් යොදාගනිමින් එතැන් සිට කිලෝමීටර 70ක් පමණ දුරින් වූ නගරයේ ජලය විකිණීමේ ව්‍යාපාරයක් අරඹා ඇත. වසර කිහිපයක් ගතවෙද්දී, මේ මිනිසුන් වසර දහස් ගණනක් ජලය ලබාගත් ලිඳ ක්‍රමයෙන් වියළී ගිය අතර පසුව එයට පස් වැටීම නිසා සම්පුර්ණයෙන්ම අත් හැර දමා ඇත.

මේ කතාව අපට හොඳ පාඩමකි. ජල හිඟයට පිළියම් යොදන විට ඇතිවිය හැකි අතුරු ඵල පිළිබඳව මනා තාක්‍ෂණික අධ්‍යනයක් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

ලංකාවේ කිසිම ප්‍රදේශයක් කාන්තාර හෝ අර්ධ-කාන්තාර ස්වභාවයෙන් නොපවතී. ජල ගැටලුවට මුහුණ දීමේ දී මෙම කාරණය සැළකිල්ලට ගැනීම ඉතා වැදගත් ය.

ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ වගා ජල හිඟයයි. කාලානුරූපව හොඳ වර්ෂාපතනයක් ලැබෙන බැවින් චිරාත් කාලයක සිට ලාංකික ගොවියා ජලය අධිකව අවශ්‍යවන වගාවන්ට යොමු වී සිටියේ ය. වියළි කාලයේ දී ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට ප්‍රමාණවත් ජල ගබඩාවක් වැව් පොකුණුවල රඳවා ගැනීමට ඔවුහු හුරු වී සිටිය හ. එහෙත් කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. ජනගහණය විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් වගා කළයුතු බිම් ප්‍රමාණය, ලබාගත යුතු අස්වැන්න මෙන්ම අස්වැන්න ලබාගැනීමේ වාර ගණන ද කිහිප ගුණයකින් වැඩි කළ යුතු ව ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ, වැසි ජලය මෙන්ම රදවා ගත හැකි ජල ප්‍රමාණය ද වගාව සඳහා මඳ වීම ය. ගැටලුව තවත් උග්‍ර වන්නේ ගෝලීය දේශගුණික වෙනස්වීම් ද පත්තර පිටුවෙන්, රූපවාහිනියෙන් ඔබ්බට ගොස් සාමාන්‍ය ජනතාවගේ ඇඟට දැනෙන පරිදි ව්‍යාකූල වන්නට පටන් ගත් විට ය.

ලංකාවේ ඇති වැව් පොකුණු පිළිසකර කිරීම යහපත් කටයුත්තකි. එහෙත් මෙය කෙතරම් සාර්ථකව කළත් රට ආහාරයෙන් ස්වයං පෝෂිත කිරීමට දැනට අප අනුගමනය කරන වගා ක්‍රමවේදවලට හැකි දැයි බලවත් සැකයක් මතු වේ. එසේ නම් කළ හැක්කේ එකම දෙයකි. එනම් ජලය ඉතා මඳ වශයෙන් අවශ්‍ය වන වගා ක්‍රමවලට නැඹුරු වීම ය. අප රටේ ඉතිහාසය දෙස බලන විට මෙය අමුතු දෙයක් නොවේ. ජලය ඉතා අල්ප වශයෙන් අවශ්‍ය වන වී වර්ග ලංකාවේ පැවතී ඇත. මෑතක දී ද මෙවන් ගස් වී වර්ගයක් පිළිබඳව පුවත් මෙන්ම ඡායාරූප ද මාධ්‍යයයේ පළ විය. මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වනවා මෙන්ම සොයාගන්නා ක්‍රමවේද ජනතාව අතර ප්‍රචලිත කිරීම ද වැදගත් ය.

පසුගිය වසරේ සැම්බියාවේ සිදු කළ චාරිකාවක දී අපි විශේෂ සිද්ධියක් දුටුවෙමු. එහි සාමාන්‍යයෙන් වගා කටයුතු කරන්නේ ග්‍රීෂ්ම සමයේ දී පමණි. එහෙත් ඒවන විට සැම්බියාවේ ප්‍රදේශ කිහිපයක ම වෙනදා කෘෂි කටයුතු නොකරන ශීත කාලයේ ද ඔවුන් ප්‍රධාන ආහාරය වන බඩ ඉරිඟු ඇතුළු තවත් වගා රාශියක් අරඹා ඇති බව පෙනුණි. මේ කාලයේ වගා කිරීමට ඇති ප්‍රධානම ගැටළුව ජල හිඟයයි. මෙයට රජයේ කෘෂි පර්යේෂකයන් ඔවුන්ට හොඳ විසදුමක් ලබා දී තිබුණි. වැසි සමයේ ඔවුන් පොලවේ සකස් කළ විශාල ටැංකියකට ජලය රැස් කර ගනී. වැසි නොවැටෙන ශීත කාලයේ දී ඔවුන් මෙම ජලය වගාවට යොදා ගනී. වෙනස ඇත්තේ මෙම ජලය යොදා ගන්නා ආකාරයේ ය. පොළවට ජලය වත්කරනවා වෙනුවට ඔවුන් පැළ මතට ජලය බිඳිති වශයෙන් ඉසියි. මේ සඳහා වගා බිම පුරා විසිරුණු බට පද්ධතියක් (සාමාන්‍ය පයිප්ප බට) භාවිත කෙරෙයි. මෙම බටවල සිහින් සිදුරු විද ඇත. දවසට කිහිප වරක් ටැංකියේ ඇති ජලය මෙම බටවලට පොම්ප කරයි. මේ සඳහා සුර්ය කෝෂයකින් ක්‍රියාත්මකවන කුඩා මෝටරයක් භාවිත කෙරේ. මෙමගින් අඩු ජලය ප්‍රමාණයකින් වැඩි වගා ප්‍රදේශයක් නඩත්තු කළ හැකි බව එහි දී හමුවූ කෘෂි නිලධාරීන් විස්තර කළේ ය. ලංකාවට මෙම රටවලින් ලබාගත හැකි දැනුම සහ පුහුණුව ඉතා අගනේ ය.

පානීය ජලය නොමැතිවීමට ප්‍රධාන සාධක කිහිපයකි. ඒවා නම්, දීර්ඝ කාලීන ඉඩෝරය හේතුවෙන් ළිං සිඳී යෑම, ළිං ජලය අපවිත්‍රවීම හෝ විෂ වීම, භූගත ජලයේ ඇති කිවුල් හෝ ලවණ ස්වභාවය ආදිය වේ. වසරේ මාස කිහිපයක් ළිං සිඳී යන තරම් ඉඩෝරයක් ඇතිවන බදුල්ල, හම්බන්තොට, වන්නිය සහ යාපනය ආදී ප්‍රදේශවලටත් පානීය ජලයේ ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇති උතුරු මැද පළාතටත් වසරේ මාස කිහිපයක් තද වර්ෂාවක් ඇති වේ. එබැවින් මෙම ප්‍රදේශවල වැසි ජලය රැස් කරගත හැකි ආකාරයෙන් නිවාස සහ ආයතන මට්ටමින් ටැංකි බැඳ ගැනීමට ජනතාව උනන්දු කළ යුතුය. වැසි ජලය රැස් කිරීමෙහිලා ලෝකයේ ඉතාම සාර්ථක වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ ය. එහි බොහෝ ප්‍රදේශවල සියළු රාජ්‍ය ආයතනවලට ගොඩනැගිල්ලේ වහලට වැටෙන වැසි ජලය රැස් කර තබා ගැනීම අනිවාර්ය කර ඇත. පෞද්ගලික ආයතන සහ නිවාසවල ද නීති නැතත් බොහෝ දෙනා මෙය පිළිපදිති. රැස් කරගන්නා ජලය දීර්ඝ කාලයක් පිරිසිඳුව තබාගත හැකි අයුරින් ටැංකිය හා ජලය නඩත්තු කිරීමේ ක්‍රමවේද ප්‍රදේශයේ ජනතාවට කියාදී ඇත. ලංකාවේ අදාළ අංශවල නිලධාරීන් පිරිසක් මේ ප්‍රදේශවලට යවා මනා පුහුණුවක් ලබා දීමෙන් පසු ලංකාවේ ද එම ක්‍රමවේද දියත්කිරීම ඵලදායක වනු ඇත.

නළ ළිං මගින් භූගත ජලය ලබාගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා නම් පළමුවෙන්ම කළයුතු ශක්‍යතා අධ්‍යයන රාශියක් ඇත. අදාළ ප්‍රදේශයේ ඇති භූගත ජල ව්‍යාප්තිය හා අවට ඇති ජල මුලාශ්‍ර, ජලය ලබාගත හැකි ප්‍රමාණාත්මක සීමාව සහ දිනකට ලබාගත හැකි උපරිම ධාරිතාව, ජලයේ සංයුතිය (සමහර ප්‍රදේශවල භූගත ජලයේ අධික බැර ලෝහ සාන්ද්‍රණයක් පවතී) සහ පොළොවේ ස්ථායිතාවය ආදී කරුණු ඊට ඇතුළත් වේ.

ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන විට ඔවුන් කබලෙන් ලිපට නොවැටෙන තැනට වග බලා ගැනීම වග කිවයුත්තන්ගේ යුතු කම ය. ජනතාව විද්‍යාඥයන් හෝ අදාළ කරුණ පිළිබඳව විශේෂඥයන් නොවන බව අප මතක තබා ගත යුතු ය.

 

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *