SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

භාවනාවෙන් හිත මෙන්ම ගත ද සුවපත් වේ!

භාවනාවෙන් මනස සන්සුන් කෙරෙනවා පමණක් නොව ගත ද සුවපත් කරන බව නවතම පර්යෙෂණයකින් අනාවරණය වේ. බාහිර ආසදනයක දී දේහය දක්වන පළමු පෙළ ප්‍රතිචාරවලට හේතුවන ජානවල ක්‍රියාකාරීත්වය පවා භාවනාවෙන් වෙනස් කළ හැකි බව එහි දී හෙළි වී ඇත.

කය සහ මනස සංවර කිරීම බෞද්ධ ඉගැන්වීමවල ද ප්‍රධාන සංකල්පයකි. එහෙත් ඒවා ක්‍රියාවට නංවන්නේ ඉතා සුළු පිරිසකි. විවිධ වූ භාවනා ක්‍රම මගින් කය හා මනස එකම ස්ථානයකට ගෙනැවිත් නිවරැදි සිහියෙහි, බුදු දමට අනුව නම් සම්මා සතියෙහි පිහිටුවයි. කය මනස සංවර කිරීමට අමතරව දේහය තුළ සිදුවන ක්‍රියාවලි දේහයේ කුඩාම තැනුම් ඒකක වන ඩීඑන්ඒ අනුක මට්ටම දක්වා වෙනස් කිරීමට භාවනාව සමත් බවය  මේ පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ. විශේෂයෙන් ආතතිය, විශාදය වැනි තත්වවලින් සිතට ඇතිවන කරදරකාරී සිතුවිලි නිසා දේහ ජානවලට ඇතිවන හානි වළක්වා ගැනීමට භාවනාව උපකාරී වන බව ද හෙළි වී ඇත.

භාවනාවෙන් ආතතිය දුරු කෙරෙන බවට බොහෝ සාක්ෂි තිබුණ ද භෞතිකමය සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙනා බවට මේ දක්වා ඔප්පු කර නො තිබිණ. නවීන විද්‍යාවේ දියුණුවත් සමග දේහ සෛල තුළ ජාන ක්‍රියාකාරීත්වය පවා අධ්‍යයනය කළ හැකි නිසා එම ක්‍රියාවලි අධ්‍යයනයට පර්යේෂකයින් දැන් නැඹුරු වී ඇත. මනස සන්සුන් කළ විට අණුක මට්ටමේ අභ්‍යන්තර දේහ ක්‍රියාවලි කෙරෙහි එය කෙසේ බලපානේ ද යන්න පිළිබඳ මේ වන විට පර්යේෂකයන්ගේ වැඩි අවධානය යොමු වී ඇත.

කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලයේ ඉවානා බියුට්‍රික් නැමැති මනෝ විශේෂඥයා ඇතුළු කණ්ඩායම මෙවැනි ක්‍රියාවලි සම්බන්ධව ප්‍රථම වරට විදිමත් අධ්‍යයනයක නිරත වූහ. ඔවුන් විසින් පර්යෙෂණ වාර්තා 18ක් හා ඒ සඳහා සහභාගී වූවන් 846 දෙනෙකුගේ තොරතුරු අධ්‍යයනය කෙරිණි. වසර 2005 දී සිදු කළ ක්වීගොංග් පරීක්ෂණයේ සිට 2014 දක්වා සිදු කළ පර්යෙෂණ එහි දී අද්‍යයනයට ලක් විය. එමගින් ඉන්සොම්නියා තත්වයෙන් පෙළුණ රෝගීන්ගේ ජාන සඳහා තායි චී භාවනා ක්‍රමය කවර ආකාරයකට බලපා ඇත්ද යන්න සොයා බලන ලදී.

එම පර්යෙෂණවල ගුණාත්මක භාවය විවිධ වුවත්, ප්‍රතිඵල සංකීර්ණ වුවත්, ඒවා අධ්‍යයනයේ දී කිසියම් රටාවක් ඇති බව නිරීක්ෂණය විය. එම භාවනා ක්‍රමයේ නිරත වූ පුද්ගලයින්ගේ ප්‍රදාහක ප්‍රතිචාරවලට හේතුවන ජාන, අඩු ක්‍රියාකාරීත්වයෙන් යුත් බව නිරීක්ෂණය විය. එමෙන්ම එම ජාන ක්‍රියාත්මක වීමට අවශ්‍ය “යතුරු ප්‍රෝටීන” වලට මෙම භාවනාවෙන් බලපෑම් ඇතිවන බව ද හෙළි විය.

ප්‍රදාහක ප්‍රතිචාරය යනු දේහයේ ඇතිවන ආසාදනයකට එරෙහිව දේහය තුළ හටගන්නා පළමු පෙළ ප්‍රතිචාරයකි. එහෙත් එය දිගින් දිගටම ඇති වුව හොත් දේහයට යම් යම් හානි සිදු විය හැකි ය. එමෙන්ම දිගු කාලීනව යම් පුද්ගලයෙකු මානසික පීඩනයට ගොදුරු වී සිටිය හොත් එම පුද්ගලයාට රොගයක් හට ගැනීමේ හැකියාව ද වැඩි ය. විශේෂයෙන්ම ඇදුම, ආතරයිටීස්, හෘද රෝග, හා ඇතැම් පිළිකා වැනි භයානක රොගී තත්ව පවා මේ නිසා ඇති විය හැකි ය.

මෙම නවතම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉහත කී ගැටලුවට සහනදායී පිලිතුරක් ලබා දෙයි. කය හා මනස එක් තැනකට ගෙන එන භාවනාව මගින් ප්‍රදාහයන් ඇති බව හෙළි විය. එහෙත් මෙකී භාවනාව මගින් ජාන වෙනස් වීමේ ක්‍රියාවලිය ඉහත කී රෝග ඇතිවීම වළක්වන බව නිශ්චිතව තවුරු කර ගැනීමට නම් තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතුව ඇත. කෙසේ නමුත් මෙම පර්යේෂණය අවසානයේ ප්‍රතිඵල මගින් තහවුරු වූයේ විවිධ ආකාරයේ භාවනා ක්‍රම සිත කය සංවර කර ගැනීමට වැදගත් වන අතර ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ද මග හෙළි කරනු ඇතැයි යන්න ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *