SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

සංවර්ධනය වෙනුවෙන් දිවි දෙන අපේ මුහුදු වෙරළ

වරාය නගර ව්‍යාපෘතිය ඉදි කිරීමේ දී එමගින් ජලජ ජීවින්ට හා ජලජ පැළෑටිවලට කිසියම් බලපෑමක් එල්ලවන්නේ ද යන්න සොයා බැලීම සඳහා නාරා ආයතනයට මිලියන 63ක මුදලක් පර්යේෂණ දීමනාවක් ලෙස ලබා දී ඇති බව පසු ගිය දිනෙක වාර්තා විය. මීට වසර කිහිපයකට ඉහත කළ යුතුව තිබූ මෙම කර්තව්‍ය කෙරේ දැන්වත් බලධාරීන්ගේ දෑස යොමුවීම අගය කළ යුතු කරුණකි.

මුහුදු වෙරළ යනු ජෛව පද්ධති රාශියකට රැකවරණය දෙන පරිසර ජාලයකි. වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ මෙන්ම පරිසරය හැඩගන්වන විවිධ ජීවීන් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ජීවන චක්‍රයේ වැදගත් කොටසක් වෙරළ ආශ්‍රිතව ගත කරති. වෙරළේ වැලි අතර ගැවසෙන ඉතා කුඩා මේයෝෆෞනා (meiofauna) ජීවීන්ගේ සිට වෙරළ ආසන්න මුහුදු තිරය තුළට ඇතුළුවන විශාල මෝරුන් වැනි විලෝපිකයන් දක්වා පුළුල් සත්ත්ව පරාසයක් මෙම ජෛව පද්ධතියේ දක්නට ලැබේ. මත්සයන්ට අමතරව විවිධ පක්ෂී වර්ග ද, කැස්බෑවන් වැනි උභය ජීවීන් ද, කකුළුවන් වැනි අපෘෂ්ඨ වංශිකයන් ද (crustaceans), කොරල් පර ද වෙරළ තීරය හැඩ කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ වෙරළ තීරය නිරන්තර වෙනස් වීම්වලට ලක්වෙමින් පවතී. මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බටහිර මුහුදු වෙරළ තීරයට ය. කොරල් පර කැඩීම නිසා ස්වභාවිකව පැවති රළ බිඳීමේ යන්ත්‍රණය බිඳ වැටී ඇත. එහි ප්‍රතිඵලය අධික පාංශු ඛාදනයයි. මෑතක සිට ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා මුහුදු වැලි යොදාගැනීම හේතුවෙන් මෙම පාංශු ඛාදනය තීව්‍ර වෙමින් පවතී. පාංශු ඛාදනය අවම කිරීම සඳහා ප්‍රදේශ ගණනාවක විශාල ගල් වැටි දමා ඇත. එමගින් වෙරළ පරිසරය තව ආකාරයකින් වෙනස් වීමට භාජනය වේ.

වෙරළ ආශ්‍රිත ජෛව පද්ධතියට වැඩිම හානියක් සිදුවන්නේ මානව ක්‍රියාකාරකම් හේතුවෙනි. ගොඩනැගිලි ඉදිවෙද්දී පරිසරයට මුදාහැරෙන අපද්‍රව්‍ය (විශේෂයෙන්ම සිමෙන්ති කුඩු සහ අනෙකුත් රසායනික අපද්‍රව්‍ය) බොහෝ ජෛව පද්ධතිවලට හානි පමුණුවයි. මාර්ග ඉදිවීම හෝ පුළුල් වීම නිසා පරිසරයට වැලි පර අහිමිවෙයි. කැළිකසල, මිනිස් අපද්‍රව්‍ය, වාහන සහ අනෙකුත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මුදා හැරෙන වායු සහ දුම මෙන්ම එන්ජින් පද්ධතිවලින් බැහැරවන තෙල් වර්ග ද වෙරළ පරිසරය දුෂණය කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන මීටර 100 වෙරළ ආරක්‍ෂණ තීරුව (buffer zone) පරිසරය සුරැකීමේ ලා වැදගත් මෙහෙයක් ඉටු කරයි. මුහුදු වෙරළට ඉතා ආසන්නයෙන් ගොඩනැගිළි ඉදිකිරිම එම ගොඩනැගිළිවලට මෙන්ම වෙරළ පරිසරයට ද ඉතා අහිතකර ය. කෙසේ නමුත් පසුගිය දා කොළඹට දකුණින් පිහිටි වෙරළ තීරුවේ සංචාරය කළ අපට මෙම මීටර 100 ආරක්ෂණ තීරුව කෙතරම් දුරට සාර්ථකව ක්‍රියාත්මක වේ දැයි ඇතිවූයේ දැඩි සැකයකි. ලංකාවේ වෙනත් ප්‍රදේශවල තත්වය පිළිබඳව ද සැහීමකට පත්විය නොහැකි බව අප සමග අදහස් හුවමාරු කරගත් කිහිප දෙනෙක් ම පැවසූහ. රටට හිතකර අණ පනත් නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවේ නම් එය කණගාටුදායක තත්වයකි. මේ පිළිබඳව අදාළ බලධාරීන් අවධානය යොමුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

වෙරළ කළාපයට සිදුවිය හැකි විනාශය පිළිබඳව පුළුල් කථිකාවතක් නැවත කරළියට ගෙන ඒමට දැන් කාලය පැමිණ ඇත. ඒ කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘතිය හේතුවෙනි. ශ්‍රී ලංකා ආර්ථික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ව්‍යාපෘතිය මුහුදෙන් අක්කර 576ක් ගොඩබිමට එක් කරයි. මෙවැනි ගොඩකිරීමක් වෙනුවෙන් කළු ගල් වර්ග මීටර මිලියන 3-4ක් වැනි ප්‍රමාණයක් අවශ්‍යවන අතර මුහුදින් ඉවත් කළ යුතු වැලි සහ රොන් මඩ ප්‍රමාණය ද (dredging) වර්ග මීටර මිලියන 60-70 පමණ වෙයි. මීට අමතරව ව්‍යාපෘතිගත කර ඇති නගරය ඉදිකිරිම සඳහා අවශ්‍යවන ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණ දැයි මේවන විටත් ගණනය කර ඇත්දැයි අපි නොදනිමු. මේ සා විශාල භෞතික වෙනසක් පරිසරයේ සිදුවන විට ඒ හරහා ඇතිවන ජෛව ගෝලීය විපර්යාස දැවැන්ත ප්‍රමාණයක පවතින බව සුවිශේෂී අධ්‍යනයකින් තොරව වුවත් අනුමාන කළ හැක.

දැනටමත් ගොඩ කිරීම් කටයුතු වේගයෙන් නිම වෙමින් තිබෙන බැවින් කළයුතු පර්යේෂණ ව්‍යාපෘතිය හැකිතාක් කඩිනමින් සම්පුර්ණ කිරීම රටට සුබදායක ය. මෙවැනි පර්යේෂණයක් නිමවූ පසු එහි නිගමන වාර්තා අධ්‍යනය කිරීමටත් ඉන් පසුව අදාළ පියවර ගැනීමටත් සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් ගත වේ. ඉන්පසු එම පියවර ක්‍රියාත්මක කිරීමට තවත් කාලයක් ගත වේ. මේ අනුව ඉහත පර්යේෂණ අරමුදල් ලබාදීම කලානුරූපව සිදුවූවා දැයි සාංකාවක් මතුවීම ද සාධාරණ ය.

ලංකාවේ සිදුවන මෙම කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘතියට සමගාමීව චීනය, දකුණු චීන මුහුදේ ස්පාර්ටලී දිවයින් අසල ගොඩනගමින් සිටින කෘතීම ගොඩබිම් කෙරෙහි ද මේ වන විට ලොව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත. වසර 2014 පෙබරවාරි මාසයේ සිට 2015 මැයි මස වන විට චීනය මුහුදෙන් වර්ග කිලෝමීටර 10.7ක් ගොඩබිම බවට පත් කර තිබුණි. චන්ද්‍රිකා චායාරූප අනුව මෙම ගොඩබිම චීනයට ලැබෙද්දී මුහුදේ ඒ ප්‍රදේශයේ වූ කොරල් පර වර්ග කිලෝමීටර 11.6ක් ලොවට අහිමි විය. මෙය එම ප්‍රදේශයේ තිබූ කොරල් පර ප්‍රමාණයෙන් 27% ක් පමණ වෙයි. මුහුද ගොඩකිරීම නො නවත්වාම සිදුවෙයි. එයට සමාන්තරව ප්‍රදේශයේ ඇති කොරල් පර ප්‍රමාණය ද අඩුවෙයි. මෙහි අනිසි ඵල විඳීමට සිදුවන්නේ චීනයටත් වඩා ඒ අවට ඇති වියට්නාමය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවලට බව බොහෝ දෙනාගේ මතයයි. මෙම කොරල් පර ලෝකයේ ඇති විශාලතම ජෛව විවිධත්වයක් ඇති පරිසර පද්ධතියකි. එම ප්‍රදේශයටම ආවේණික ජලජ ජීවින් රාශියක් කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙති. එය නැතිවීම මුළු ලොවට ම අවැඩකි.

සංවර්ධනය නැවැත්විය යුතු නැත. එහෙත් එහි අනිසි ඵල අවම කරගැනීමට කල් තබා ප්‍රත්‍යක්‍ෂ වූ පියවර ගැනීම නුවණට හුරු ය.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *