SciTech Publishing Corporation (Pvt) Ltd.
Environment

තිරසර නො කළොත් පරිසරේ – ලොවෙන් හරි අඩක් අනතුරේ

“මේ මහපොළොව මිනිසාට අයිති නැත. මිනිසා අයිති වන්නේ මහපොළොවට ය. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” රතු ඉන්දියානු නායක සියැටල් මෙම ප්‍රකාශය අයත් ලිපියක් සුදු ජාතික ජනපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් වෙත ලියා යවන්නේ මහපොළොව කෙරෙහි වූ අතිමහත් ආදරය විදහා දක්වමිනි. සැබවින්ම භුමිය අපට සම්පතකි. ජීවය පවත්වා ගැනීමට අවැසි ජලය හා ආහාර ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ මේ මහපොළොව ය. ලොව පුරා අතිමහත් ජනතාවක් ජීවිකාව සරි කර ගන්නේ මහපොළොවේ ගොවිතැනි කිරීමෙනි.

කෙසේ නමුත් අභාග්‍ය සම්පන්න ලෙස වනාන්තර විනාශය, ගොඩබිම් කාන්තාරීකරණය, ලවණීකරණය,  පහත බිම් ජලයෙන් යට වීම, ජනගහනය සීඝ්‍රයෙන් වැඩිවීම වැනි විවිධ කාරණා නිසා ලොව පුරා ප්‍රයෝජනයට ගත හැකි භුමියෙන් වැඩි ප්‍රමාණයක් අපට අහිමි වෙමින් පවතී. මේ සඳහා සෘජුවම වගකිව යුත්තේ මානව ක්‍රියාකාරකම් ය. ලෝකයේ ඇති ප්‍රයෝජනවත් භුමි කාන්තාරීකරණය වීම පිටුදැකීම හා නියං තත්ත්ව ඇතිවීම  වළක්වාලීම සඳහා ලෝක ජනයාගේ අවධානය යොමු කරනු වස් සෑම වසරකම ජුනි මස 17 වැනි දා ලෝක කාන්තාරීකරණ පිටු දැකීමේ දිනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමරයි. වසර 1994 දී එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ දී සම්මත වූ යෝජනාවක් අනුව 1995 වසරේ සිට මෙම කාන්තාරීකරණ පිටු දැකීමේ දිනය සෑම වසරකම සැමරේ. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ කාන්තාරීකරණය පිටුදැකීමේ සම්මුතියට (The United Nations Convention to Combat Desertification (UNCCD) ) අත්සන් තබන රටවල කාන්තාරීකරණය පිටු දැකීමට හා නියඟ වළක්වාලීම සඳහා (විශේෂයෙන් අප්‍රිකානු රටවල) සහය දැක්වීමට අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීමේ අරමුණින් මෙම දිනය යොදා ගෙන ඇත.

කාන්තාරීකරණය යනු ශුෂ්ක, අර්ධ ශුෂ්ක හා වියලි අඩු තෙතමනයකින් යුත් භුමි, මානව ක්‍රියාකාරකම් හා දේශගුණ විපර්යාස නිසා ප්‍රයෝජනයට ගත නොහැකි බිම් බවට පරිවර්තනය වීම ය. එහිදී කාන්තාර විශාල වීමක් අදහස් නොවේ. කාන්තාරීකරණය බහුල වශයෙන් සිදු වන්නේ ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 1/3ක් පමණ පවතින වියළි බිම් පරිසර පද්ධතිවල ය. මෙම පරිසර පද්ධති අධි භාවිතය හා අවධිමත් භාවිතය නිසා වේගයෙන් කාන්තාරීකරණය වන බව හඳුනා ගෙන ඇත. දරිද්‍රතාව, දේශපාලන අස්ථාවරත්වය, වනාන්තර විනාශය, තරුණ බිම් අධික උලා කෑමට ලක්වීම හා වැරැදි කෘෂිකාර්මික වත් පිළිවෙත් නිසා දිනෙන් දින මෙම ප්‍රයෝජනවත් භුමිය හායනයට ලක් වෙමින් පවතී. එනම් එම භුමියේ සාරවත් බව අඩු වී ප්‍රයෝජනයට ගත නොහැකි භූමියක් බවට පත්වීම සරලව කාන්තාරීකරණය ලෙස හැඳින්විය හැකි ය.

වියළි බිම් කාන්තරීකරණයට ලක් වීම නිසා ලොව පුරා මිලියන 250කට අධික පිරිසක් පීඩා විඳී. එමෙන්ම රටවල් 100කට වැඩි ගණනකට අයත්වන බිලියනයකට අධික ජනගහනයක් අවධානම් තත්වයේ පසු වේ. ලෝකය පුරා රටවල් 196කින් රටවල් 100ක් පමණ ම අවධානම් තත්වයේ වීම ලෝකයෙන් 50%කට ආසන්න ප්‍රමාණයකි. එබැවින් මෙය හදිසි අවධානයක් යොමු විය යුතු ගැටලුවක් බව පැහැදිලි ය. තවත් සුවිශේෂත්වයක් වන්නේ මේ අතරින් වැඩි ප්‍රමාණයක් ලෝකයේ දුප්පත්ම, අදේශපාලන වශයෙන් අසරණ තත්වයේ රටවල් වීම ය.

මෙවර තේමාව වුයේ, “අපේ භුමිය, අපේ නිවස – අපේ අනාගතයයි” යන්න ය. මෙම තේමාව යටතේ ප්‍රයෝජනවත් භුමිය කාන්තාරීකරණය වීම වළක්වාලීම සඳහා ලෝක වාසීන්ගේ අවධානය දිනා ගැනීමත්, එමගින් හායනයට ලක්වූ බිම් ප්‍රයෝජනවත් බිම් බවට පත් කිරීමත්, හායනය වළක්වාලීමත්, ඒ සඳහා ඉහත සම්ම්මුතියට අත්සන් තැබූ රටවලට ආධාර වීමත්, ආයෝජන දිරි ගැන්වීමත්, මේ පිළිබඳ පර්යේෂණ දියුණු කිරීමත් අපේක්ෂා කෙරිණ.

විශේෂයෙන්ම මේ වසරේ දී, කාන්තාරීකරණය හා නියං ඇති වීමට භුමි හායනය හා සංක්‍රමණය වීම් කෙලෙස බලපානේ ද යන්න පිළිබඳව අවධානය යොමු කෙරිණ. පරිසර හායනය, ආහාර සුරක්ෂිත නොවීම, දුප්පත් කම, දේශපාලනික අස්ථාවරත්වය හා යුධ ගැටුම් නිසා මිනිසුන් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට සංක්‍රමණය වීම ආදිය මීට හේතු ලෙස දැක්විය හැකිය. පසුගිය වසර පහළොව තුළ, සංක්‍රමණිකයන් මිලියන 173 ක සිට මිලියන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය ලෝක සංවර්ධනය කෙරෙහි බරපතල ලෙස බලපාන සාධකයකි. ලෝකය පුරා සාරවත් බිම්වලින් යැපෙමින් එම බිම් ආරක්ෂා කරගත් ජනයා ඉහත කී හේතු මත වෙනත් ස්ථානවලට සංක්‍රමණය වීම එම ප්‍රයෝජනවත් බිම් හායනය වීමට එක් සාධකයකි. අප්‍රිකාව එහි ඉහළින්ම සිටින්නේ එහි ජනතාවගෙන් වැඩි කොටසක් හා එහි ආර්ථිකයෙන් 90%ක පමණ කොටසක් ම යැපෙන්නේ වැහි දිය මෙන්ම දේශගුණික විපර්යාසවලට ඉතාමත් සංවේදී ගොවිතැන්වලින් බැවිනි.

මේ වනවිට අප සතුව ඇති භුමි භාගය අර පරිස්සමෙන් පාවිච්චි නො කළ හොත් ඉදිරි වසර 30ක කාලය තුළ තිබෙන භූමියට යුධ වැදීමට හෝ පලා යෑමට සිදු වනු ඇත. එසේනම් මේ භුමි රැක ගත යුතු ය. තිරසර භාවිතයක් හරහා එම ඉලක්කය ලඟා කරගත හැකිබව 2017 ලෝක කාන්තාරීකරණය පිටු දැකීමේ දිනයේ දී පෙන්වා දෙන ලදී. එලෙස භුමියේ නිසි භාවිතය නිසා ලෝක ආහාර සුරක්ෂිතතාව, රැකියා අවස්ථා විවර කිරීම, දිළිඳු කම පිටු දැකීම, වනාන්තර විනාශය අවම කිරීම ආදී එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා ලඟා වීම ද මෙහි දී සාකච්චාවට ගැනිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *