SciTech Publishing Corporation (Pvt) Ltd.
Technology

ලෝකෙ ලොකුම බැටරිය හදන ටෙස්ලා

දිනෙන් දින උග්‍ර වන බලශක්ති අර්බුදයට පිළියම් ලෙස විවිධ විදුලි ජනන ක්‍රම යොදාගත්ත ද ප්‍රධාන ම ගැටලුව වනුයේ එම විදුලිය ගබඩාකර තබා ගන්නේ කෙසේ ද යන්නයි. ඊට කදිම විසදුමක් ලෙස පුනර් ආරෝපණ ලිතියම් අයන බැටරි තාක්ෂණය උපයෝගී කර ගැනීමට ලෝකප්‍රසිද්ධ ටෙස්ලා (TESLA) ආයතනය සමත්ව ඇත.

ඔවුන් ලොව විශාලතම ලිතියම්-අයන බැටරි සමුච්චය දකුණු ඔස්ට්‍රේලියවේ ජේම්ස් නුවර උතුරු මැද පෙදෙසේ ඉදිකිරීමට බලාපොරොත්තු ‍වේ.  මෙය යොදාගනු ලබන්නේ ඉතා විශාල පෙදෙසක ව්‍යාප්ත වූ සුළං බලයෙන් විදුලිජනනය කරන පද්ධතියකටය. විකල්ප බලශක්තියක් වන සුලං මගින් උත්පාදනය කරන විදුලිය, වැඩිපුර ජනනය කරනු ලබන අවස්ථාවේ දී බැටරි  ආරෝපානය සදහා යොදාගනු ලබන අතර විදුලිය වැඩියෙන් අවශ්‍යවන දෛනික අවස්ථාවන් හී දී බැටරි තුළ ගබඩා කර ගැනුණ එම විදුලිය ඉන්වර්ටර (DC/AC හා Step up and down)  හරහා යළි පරිභෝජනය සඳහා මුදා හැරීමට මින් අරමුණු කෙරේ. තවද උත්පාදන පිරිවැය අඩු අවස්ථාවේ උත්පාදනය කෙරෙන විදුලිය ගබඩාකර, උත්පාදන පිරිවැය වැඩි අවස්ථාවේ ඒවා බෙදා හැරීම ද මෙහි තවත් අරමුණකි. මෙම විදුලිය නිවාස 30,000ක පමණ විදුලි පාරිභෝජන අවශ්‍යතාවන් වෙනුවෙන් යොදා ගැනීමට හැකි වනු ඇත.

විශාල ශීතකරණ වැනි ලෝහ කැබිනේට්ටු  පුරා පැතිර පවතින ලිතියම් අයන බැටරි දහස් ගණනක් සහ විශේෂ ඉන්වර්ටර මේ සඳහා යොදා ගැනේ. මෙගා වොට් පැය 100ක ධාරිතාවක් බලපොරොත්තුවෙනුයි මෙම දැවැන්ත නිර්මාණය ටෙස්ලා ආයතනය විසින් ඉදිකිරීමට භාරගෙන ඇත්තේ. එමෙන්ම 2017 දෙසෙම්බර් මාසයේ ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු ආරම්භවීමට කටයුතු යොදාගෙන  ඇති අතර දින 100ක් ඇතුළත එය සිදුකිරීමට අසමත් වුවහොත් කිසිදු මුදලක් අය නො කරම හෝ දඩමුදලකට යටත්ව පද්ධතිය ලබා දියයුතු වේ. එහෙත් ටෙස්ලා ආයතනය ඔවුන්ගේ තාක්ෂණය පිළිබඳ දැඩි විශ්වාසයකිනුයි පසුවන්නේ.

පළමු වරට, බැටරියෙන් ධාවනය වන විදුලි මෝටර් රථයක් නිපදවීමටත්, බැටරියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා බැටරි නිෂ්පාදනයටත් ටෙස්ලා ආයතනය හිමිකම් දරයි. ලෝකයේ තනි විශාලතම බැටරි කර්මාන්තශාලාව ඔවුන් සතු වනවා. ඒ ඇමෙරිකාවේ නෙවාඩා නුවරයි. බෝයින් වර්ගයේ විශාල ගුවන් යානා 100ක් වුවත් එකවර ගාල් කිරීමට වුවද යොදාගත හැකි වන වපසරියකිනුයි එම කර්මාන්තශාලාව සන්නද්ධ වන්නේ. එමෙන්ම ලොව ඇති විශාලතම ගොඩනැගිලිවලින් එකක් හැටියටටත් මෙය සලකනු ලබනවා. ඉහත තනනු ලබන ලොව විශාලතම ලිතියම් බැටරි සමුච්චය සඳහා යොදා ගැනීමට බලාපොරිත්තු වන බැටරි ද මෙම කර්මාන්තශාලවේ නිමවා රැගෙන විත් කෙලින්ම සවිකිරීමටයි බලාපොරොත්තුවන්නේ. කර්මාන්තශාලාව අධි තාක්ෂණය යොදාගන්නා අතරම රොබෝ තාක්ෂණය ද යෝදාගැනීම විශේෂත්වයක්.

 

ටෙස්ලා සමාගමේ මෙගා ව්‍යාපෘති පිළිබද පෙර අත්දැකීම්

මෙවැනි අති දැවෙන්ත ලිතියම් බැටරි ව්‍යාපෘතියක් නිමවීමට නොපැකිලව ටෙස්ලා ආයතනය යොමුවෙන්නේ කෙසේ දැයි මෙය කියවන පාඪක ඔබට එකවරම හිතෙන්නට පුළුවන්. ටෙස්ලා ආයතනය සතුව මෙගා මට්ටමේ ව්‍යාපෘති  පිළිබද සාර්ථක අත්දැකීම් තිබෙනවා.

මෙම වසරේ මාර්තුවේ දකුණු කෙලිෆෝනියාවේ දී මාස තුනක් ඇතුළත අවසන් කළ දැනට පවතින ලොව විශාලතම බැටරි සමුච්චය ඉන් ප්‍රධානයි. දකුණු කෙලිෆෝනිනු ව්‍යාපෘතියට පාදක වන්නේ කුඩා බැටරිවලින් සමන්විත (විශාල ශීතකරණ වැනි) ටෙස්ලා බැටරි 396ක් ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධකිරීමයි. ඒ සඳහා ඉන්වර්ටර 36කුයි යොදාගෙන ඇත්තේ.  එමගින්ද සිදුවන්නේ අතිරික්ත විදුලිබලයෙන් ආරෝපණය කරගන්නා විදුලිය බැටරි තුළ රදවාගෙන පසුව විදුලිය වැඩියෙන් අවශ්‍ය විටදී ප්‍රධාන ධාරාවට මුදා හැරීමයි. මෙහිදීද නිවාස 15,000 ක් බලගැන්වෙනවා.

පසුගිය වසරේ ටෙස්ලා සමාගම තවත් දැවෙන්ත ව්‍යාපෘතියක් නිමකළේ හවායි දුපත්වලට අයත් කුආයි දුපත බලගැන්වීම සදහා ය. කුආයි දුපත සාමන්‍යයෙන් හිරු රශ්මිය රිසිසේ ලැබෙනා වූ දුපතක්. බොහෝ හොලිවූඩ් චිත්‍රපට රුගත කිරීමට යොදාගන්නා මෙම දුපතට තෙල් නැව් ළගා වීමට ප්‍රධාන ප්‍රවිෂට මාර්ගයක් නැහැ. ඒ නිසා ඛනිජ තෙල් ආශ්‍රිත විදුලි උත්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවිය. එහෙත් සූර්යකෝශ 55,00‍ක් හා දැවැන්ත බැටරි කොටස් 272 කින් බලගැන්වුණු ටෙස්ලා ෆාර්ම් ව්‍යාපෘතිය නිසා මෙගා වොට් පැය 52ක විදුලියක් ඉපයීමට සමත්ව ඇති අතර ප්‍රධාන පත්ධතියට මෙගාවොට් පැය 13 ක් ලබාදීමටත් ඊට හැකි වී තිබේ. එහෙයින් කිලෝවොට් පැයකට නිෂ්පාදිත පිරිවැය වනුයේ ඩොලර් සත 13.9 ක් බවයි පැවසෙන්නේ. මෙම ව්‍යාපෘතිය අභිමුවේ වසරකට එම දුපතට ඛනිජ තෙල් ගැලුම් මිලියන 1.6 ක් ඉතිරිකර ගැනීමට සමත්වීම තවත් අපුරු සිද්ධියක්.

ගැටලු

රටකට අවශ්‍ය බලශක්ති ගැටලුවලට විසදුම්දීමට ලිතියම් අයන බැටරි යොදාගැනීම පරාස පුළුල්වීමක් (Scale up) හැටියට සැලකෙන්නේ මීට පෙර ලිතියම් අයන බැටරි භාවිතය සීමිත ජවයක් ලබාදීමට පමණක්යොදාගත් නිසාය. එහෙත් මෙවැනි මෙගා ව්‍යාපෘති සදහා නැවත ආරෝපණය කළහැකි ලිතියම් අයන බැටරි යෝදා ගැනීමේ දී ඒවා රත් වන නිසා සිසිල් කිරීමට සිසිලන පද්ධති යෝදා ගැනීම අත්‍යවශ්‍යය කාරණයක්. කාලයත් සමගම ජංගම දුරකථන බැටරිවල සිදුවන ආකාරයටම මෙගා බැටරිවල ද ගබඩාකිරීමේ ශක්තිය අඩුවීම හා බැටරි ඉදීමීම සිදුවීමට ද පුළුවන. එහිදී නව බැටරි ප්‍රතිෂ්ථාපනය කළ යුතුය. තවත් ගැටලුවක් වන්නේ ඉවත දමන බැටරි පරිසරයට හානියක් නොවන ආකාරයට බැහැර කිරීමයි. මෙම ද්‍රව්‍ය අන්තරාදායක නිසා එක් විදිහක් නම් අධික තාපය යටතේ පුළුස්සා දැමීමයි. එවිටද පාරිසරික හානියක් සිදුවන අතරම අධික පිරිවැයක් දැරීමට ද සිදුවනවා. එමනිසා ඒවා 100% ප්‍රතිචක්‍රීකරණය කළයුතු බැවින් නව බැටරි නිෂ්පාදනයට ඒවා යොදාගත යුතුයි (විශේෂයෙන් කැතෝඩය සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය). ටෙස්ලා ආයතනය සියලු ඉවතදමන බැටරි දුම්රිය මාර්ග ඔස්සේ කර්මාන්තශාලාව වෙත ගෙනෙවිත් නැවත ප්‍රතිචක්‍රීකරනබවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් දිගු කාලයක් මෙවැනි මෙගා ව්‍යාපෘතියක් අධ්‍යයනයකට ලක්නොකර ආර්ථික විද්‍යාත්මක ප්‍රතිලාභ නියත වශයෙන්ම විනිශ්චයකිරීමට අපහසු බව මෙහිදී ප්‍රකාශ කළ යුතුවනවා.

ඔබගේ කාර්යාලයට අවශ්‍යතාවට සරිලන ටෙස්ලා බැටරියක් මිලදී ගෙන අවශ්‍යනම් ඊට තවතවත් බැටරි එකතුකිරීම තුලින් ඔබ ඉන්නා නගරයටම වුවද බලශක්ති අවශ්‍යතාවය සපුරා ගත හැකි බවයි ටෙස්ලා ආයතානයනම් පවසා සිටින්නේ (smart Plug in and capacity scaling up).

ලංකාව වැනි රටකකට ද මෙවන් තාක්ෂණයක් සුදුසු බව පෙනීයන්නේ දකුණු ඔස්ට්‍රේලියවේ මෙවැනි ව්‍යාපෘතියක අවශ්‍යතාව මතුවුවූයේ ඇයි දැයි යන්න සොයා බැලීමේදී ය. දරුණු කුණාටුවක් හේතු කොටගෙන සිදුවූ නිවාස හා වෙළෙදසල් 110,000 ක් විනාශවීමෙන් මුළු නගරයේම විදුලිය ඇනහිටි බැවින් හදිසි අවස්තාවක දී පැය හතරක්වත් අඛණ්ඩව විදුලිය ලබාදියහැකි බැකැප් පද්ධතියක වුවමනාව ඔවුන්ට දැනුණි. අප රටේද දැන්දැන් ස්වාභාවික විපත් බහුලව සිදුවන බැවින් මෙවැනි ව්‍යාපෘති මගින් අනෙකුත් ප්‍රදේශවලට බිඳවැටීමකින් තොරව මෙන්ම අවම නිෂ්පාදන පිරිවැයක් යතටේ විදුලිය ලබාදිය හැකි වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *