SciTech Publishing Corporation (Pvt) Ltd.
Health/Medicine

ඇලජික් නම් ලේසි නෑ!

සමහර උදවියට යමක් ආහාරයට ගත් පසු කැසීමක්, පළු දැමීමක් හෝ උගුර හිරවීමක් වැනි රෝග තත්ත්‍වයක් ඇති වූ විට බොහෝ දෙනා පවසන්නේ ඒ පුද්ගලයාට යමක් ඇලජික් වී ඇති බවයි. සාමාන්‍ය වහරේ යෙදෙන මේ ඇලජික් යන්න ඉංගිරිසියේ Allergies යන්නෙන් ආ වදනක්. මෙය ඇති වන්නේ යම් යම් දේවලට ශරීරය දක්වන අධිසංවේදීතාවය නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය දක්වන ප්‍රතික්‍රියා හේතුවෙනි. ම‍ෙ ද්‍රව්‍ය ඉංගිරිසියෙන් Allergens කියා හඳුන්වනු ලබනවා. මේවා විවිධ පුද්ගලයනට ආසාත්මික වන්නේ විවිධාකාරයෙන්. සමහරුන්ට මුහුදු ආහාර, මස් වර්ග, උෂ්ණාධික එළවළු-පළතුරු වර්ග, ආදී ආහාර ආසාත්මික වන අතර, සමහරුන්ට මල්වල රේණු, සතුන්ගේ ලොම්, ආදිය ආසාත්මික වනවා. සමහර අවස්ථාවල තවත් සමහරුන්ට සුවඳ විලවුන් වර්ග, විවිධ පරිසර පද්ධති, මීමැස්සන් – කූඩැල්ලන් දෂ්ඨ කිරීම් ආදිය මාරාන්තිකව ආසාත්මික වන අවස්ථා ද තිබෙනවා. මේවා සිදුවන්නේ ඒ ඒ ආසාත්මිකතා ඇති කරන ද්‍රව්‍යවලට ශරීරය දක්වන ප්‍රතික්‍රියාවල ප්‍රබලතාව අනුවයි.

Allergy යන්න මුලින්ම හඳුන්වා දී ඇත්තේ වියානාවේ ළමාරෝග වෛද්‍යවරයෙක් වූ Clemens von Pirquet විසින් 1906 දී. ඔහුගේ රෝගීන් සමහරක් දූවිලි සහ මල්රේණුවලට දක්වන ආසාත්මිකතා හේතුවෙන්  ඔහුට කිරීමට සිදු වූ “අමතර වැඩ” නිසා,‍ ග්‍රීක ශබ්ධකෝෂයේ වූ Allos (වෙනත්) Ergon (වැඩ) ලෙස මෙය හඳුන්වා තිබෙනවා.

ආසාත්මිකතා ඇති වීමට හේතු

හේතු දෙවර්ගයකි,

  1. අදාළ පුද්ගලයාගේ ජානමය සහ පාරම්පරික හේතු
  2. පාරිසරික සාධක

සමහරුන්ට පාරම්පරිකව ද මේ ආසාත්මිකතා උරුම වෙනවා. දෙමාපියන්ට ඇදුම රෝගය වැළඳී ඇත්නම් ඒ පවුලේ දරුවන් විවිධ ද්‍රව්‍යවලට ආසාත්මිකතාවක් දැක්වීම බොහෝ සුලභ දසුනක්. එසේ වී මුත් දැන් දැන් වැඩි වන ආසාත්මිකතාව පාරම්පරික ලක්‍ෂණ නිසා ම ඇති වන ඒවා නොවෙයි. පසුගිය වසර 10ක කාලය ඇතුළත ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වන ආසාත්මිකතා රෝගීන් ප්‍රමාණය 10%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ බොහොමයකට හේතු වශයෙන් දක්වා ඇත්කේ පාරිසරික සාධක සහ වැරැදි ආහාර පුරුදුයි.

ආහාර ආසාත්මිකතා

සමහරු මස් වර්ගවලට, මුහුදු ආහාරවලට අන්නාසි වැනි පළතුරුවලට දැඩි සංවේදීතාවයක් දක්වනවා. අමෙරිකාවේ නම් ආසාත්මිකතාවයන් නිසා සිදුවන බොහෝ මරණ සංඛ්‍යාවකට දායක වී ඇත්තේ රටකජුයි. බොහෝ රටකජු-ආසාත්මිකතා මාරාන්තිකයි. මෙහිදී සිදු වන්නේ ආසාත්මිකතාවය නිසා ක්‍ෂණිකව ශ්වාසනාලය අභ්‍යන්තරයෙන් ඉදිමීඅවහිර වීමයි. රටකජු කෑ පෙම්වතා විසින් දෙතොල සිපගත් පෙම්වතියක් ක්‍ෂණිකව මරු වැළඳගැනීමේ සිද්ධියක් වගේම රටකජු පාර්සලයක් පන්තිකාමරයේ දී විවෘත කිරීම නිසා සිසුන් රෝගී වූ පුවත් ඇමරිකාවෙන් ආරංචි වනවා. ආසාත්මිකතා ඒ තරම් ප්‍රබලයි. අමෙරිකාවේ බොහෝ ප්‍රාථමික පාසල් ඇට වර්ගවලින් තොර (Nut Free Schools) කර ඇත්තේ මේ ඇට වර්ගවලට කුඩා දරුවන්ගේ ඇති සංවේදීත්වය මනාව කියා පාමින්. එසේම සමහරුන් ඇතැම් ප්‍රෝටීන අධික ආහාරවලට සංවේදීතාවයන් දක්වනවා. කිරි, බිත්තර, කිරි ආහාර, මාළු, මෙන්ම ආහාරවලට දමන විවිධ රසායනික රසකාරක, වර්ණක ආදියටත් සමහරු සංවේදීතාවයක් දක්වනවා. බිත්තර, කිරි ආදියට සංවේදීතාවයක් දක්වන කුඩා දරුවන්ගෙන් 50%ක් පමණම අවුරුදු 5 වනවිට ඒවාට හුරු වීමත් දක්නට ලැබෙනවා.

ආහාර නොවන ආසාත්මිකතා

සමහරු විවිධ ඖෂධ වර්ගවලට, පෙර සඳහන් කළ පාරිසරික තත්ත්‍වවලට මෙන්ම විවිධ කෘත්‍රිම ද්‍රව්‍යවලට ද ආසාත්මිකතාවයන් දක්වනවා. ප්‍රකට ගායිකා මාලිනී බුලත්සිංහල මහත්මිය මරණයට පත් වූවේ හිස ගැල් වූ ඩයි වර්ගයක් ආසාත්මිකවීමෙන් බව ප්‍රචලිත වූවා. පෙනිසිලින් වැනි දේවලට සංවේදීතාවයන් දක්වන පුද්ගලයන් ප්‍රමාණය තරමක වැඩිකමක් දක්වනවා. එසේම තවත් සමහරු ලේටෙක්ස්වලින් තැනූ ද්‍රව්‍යවලට සංවේදීයි. මගේ මිතුරියක් ටෙට්‍රාහයිඩ්‍රෝ ෆියුරෑන් (Tetrahydrofuran- THF) නම් රසායන ද්‍රව්‍යයට සංවේදී වීම හේතුවෙන් ඇගේ රසායන විද්‍යා ආචාර්ය උපාධිය අත්හැරීමට සිදුවුණා. සමහරු ලේටෙක්ස්වලට සංවේදීවීම හේතුවෙන් ජීවිත කාලයටම ලේටෙක්ස්වලින් තැනූ කිසිම දෙයක් ස්පර්ශ වීම අකැපයි. හදිසියේවත් රෝහල්ගත කළ හොත් වෛද්‍යවරුන් පවා ලේටෙක්ස් අත්වැසුම් පාවිච්චියෙන් වැළකිය යුතුයි.

කහඹිලියා, දළඹුවන් ස්පර්ශ වීම නිසා ඇතිවන කැසීම, මීමැස්සන් ඇණීම, කූඩැල්ලන් කෑම ආදිය  නිසා ඇතිවන ආසාත්මිකතාවයන් ද අයත් වන්නේ ආහාරමය නොවන ආසාත්මිකතා වර්ගයටයි. එසේම පූසන් බල්ලන් වැනි සුරතල සතුන්ගේ ලොම් නිසා සමහරුන්ට ඇති වන ප්‍රතික්‍රියා ද මේ ගණයටම අයත් වෙනවා.

අනෙකුත් සාධක

බොහෝ යුරෝපීය රටවල්, අමෙරිකාව වැනි කාර්මීකරණය වූ දියුණු රටවල ආසාත්මිකතා රෝග ලක්‍ෂණ දක්වන්නන්ගේ  ප්‍රමාණය ආසියානු සහ අප්‍රිකානු රටවල රෝගීනට වඩා වැඩියි. ඒ විශේෂයෙන්ම ඒ රටවල්  දියුණු වීමත්, පෞද්ගලික සනීපාරක්‍ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව අඩු වීමත් නිසා බවයි වෛද්‍ය මතය. දියුණු වන රටවල් බොහොමයක් කෘෂිකාර්මික වීම නිසා ඔවුන් ඒ ඒ ආසාත්මිකතා සාධකවලට නිරාවරණය වීමේ අවස්ථා වැඩියි. ඒ නිසාම ඔවුන්ගේ ශරීර ඒ ඒ ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්තයි. එසේම ආසියානු රටවලින් සංක්‍රමණය වූ අය යුරෝපීය සහ අමෙරිකානු රටවල දී ඒ ඒ ද්‍රව්‍යවලට සංවේදීතා පෙන්වනවා. ඒ ඔවුන් ආසාත්මිකතා සාධකවලට නිරාවරණය නො වීම නිසයි.

රෝග ලක්‍ෂණ

දූවිලි, මල්රේණු වැනි සුළඟ උපයෝගී කරගෙන සංසරණය වන්නා වූ ද්‍රව්‍ය නිසා සෑදෙන ආසාත්මිකතා ශරීරයේ ඒ ඒ ස්ථාන ඉලක්ක කරගන්නවා. උදාහරණ වශයෙන් සමහරුන්ට අධික කඳුළු ගැලීම්, සොටු බේරීම වැනි බාහිර ප්‍රතික්‍රියා දක්වන්නේ ඉහත කී ද්‍රව්‍ය මඟින්. එසේම ආශ්වස කිරීම මඟින් පෙනහළුවලට ඇතුළුවන දේවලින් ඇතිවන ආසාත්මිකතාවයන් පිටතට පෙනෙනුයේ ඇදුම, හතිය වැනි රෝග ලක්‍ෂණ මඟින්. ආහාර, මුඛ මාර්ගයෙන් ගන්නා බෙහෙත්වර්ග ආදියේ ආසාත්මිකතා රෝගලක්‍ෂණ බඩරිදුම, වමනය, පාචනය වැනි දේවලින් මෙන්ම කැසීම, පළු දැමීම වැනි දේවලින් පිටතට පෙන්නුම් කරනු ලබනවා. ඒ ඒ දෑ ඉතාම අධික ලෙස ආසාත්මික වූ කල්හි හුස්ම හිරවීම, මරණය වැනි අතිශයින් භයානක ප්‍රතිඵල ද මේ ආසාත්මිකතාවයන් නිසා ඇතිවන බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතු වෙනවා. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් එන්නත් දීමෙන් පසු බාලිකාවියන් කිහිපදෙනෙකු මිය යෑමේ සිද්ධීන් පිටුපසත් මේ ආසාත්මිකතාවයන් ඇති බවට සැක කළ හැකියි.

ආසාත්මිකතා රෝග ලක්‍ෂණ දෙආකාරයි. ක්‍ෂණික ප්‍රතිචාර සහ පසුව දක්වන ප්‍රතික්‍රියා වශයෙන්. ක්‍ෂණික ප්‍රතිචාර ඇතිවන්නේ යමෙකු ඒ ආසාත්මිකතා සාධකයට නිරාවරණය වූ වහාම දක්වන ක්‍ෂණික ප්‍රතික්‍රියාව මඟින්. මෙය කැසීම, පළු දැමීම ආදී සුළු ප්‍රතිචාරයක සිට හුස්ම සිරවීම හෝ මරණය වැනි භයානක තත්ත්‍වයක් දක්වා වෙනස් වන්නට පුළුවන්. පසුව දක්වන ප්‍රතිචාරවලට මුහුණ දීම තරමක් ලෙහෙසියි, ඒ නිරාවරණයේ සිට පැය 2ත් 24ත් අතර කාලයක් තුළ ප්‍රතික්‍රියා දක්වන නිසයි. මෙවැනි සංවේදීතාවයන්ට අත්බෙහෙත් මඟින් ප්‍රතිකාර කළ හැකි වන අතර ඒවා මරණයෙන් කෙළවර වන්නේ ඉතාම කලාතුරකින්.

රෝගය හඳුනාගැනීම

Prick Test පරීක්ෂණය

සමහර ආසාත්මිකතා හඳුනාගැනීම පහසු වන අතර සමහර දෑ හඳුනා ගැනීම ඉතාම අපහසුයි. මස්, කිරි, වැනි ආහාරවලට දක්වන සංවේදීතාව ඒ ඒ ආහාර ගත් පසු දක්වන ප්‍රතික්‍රියා මාර්ගයෙන් හඳුනාගතහැකි වනවා. ඒවා බොහෝ දුරට කාලයාගේ ඇවෑමෙන් මඟහැරී යන අතර තවත් සමහරක් ඒ ඒ ආහාර ස්වල්ප වශයෙන් ගැනීම මඟින් ශරීරය ඒ සඳහා පුරුදු කරවාගෙන මඟහරවාගත හැකියි. එහෙත් සමහර ආසාත්මිකතා එසේ සරළව හඳුනාගත නොහැකියි. ඒ සඳහා වෛද්‍ය සහාය පැතිය යුතුයි. පිළිගත් ආසාත්මිකතා පරීක්‍ෂණ ලෙස කටු ඇනීමක් මඟින් සමට ඇතුළු කර නිරීක්‍ෂණය කරන Prick Test සහ අදාළ ද්‍රව්‍ය පැලැස්තරයක් සම මත අලවා නිරීක්‍ෂණය කරන Patch Test යන ක්‍රම දෙක ප්‍රවලිතයි. මීට අමතරව රුධිර පරීක්‍ෂණ, ආහාර මාර්ගයේ ඇතුළත කැමරාවක් මගින් රූපගත කරන Endoscopy පරීක්‍ෂණ සහ අදාළ ආහාර කෑමට ලබා දී වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කරන පරීක්‍ෂණ ද ආසාත්මිකතාවයන් නිර්ණය කරන පරීක්‍ෂණවලට ඇතුළත්. ලංකාවේ අයට ආසාත්මිකතා ඉතා සරළ දෙයක් වුවත් සමහරක් ආසාත්මිකතා මරණයෙන් කෙළවර වන බැවින්, බොහෝ රටවල මේ පරීක්‍ෂණ ඉතා බැරෑරුම් ලෙස සළකා වෛද්‍ය අධීක්‍ෂණය යටතේ කරනු ලබනවා.

ප්‍රතිකාර විධි

ඉමියුනෝතෙරපි ක්‍රමයට එන්නත් කිරීම

ලොව දියුණු රටවල් වැඩිපුර මෙයින් බැටකන නිසාදෝ මේ ගැන ඉතා ඉහළ ලෙස පර්යේෂණ පැවැත්වීම හේතුවෙන් බොහොමයක් ආසාත්මිකතාවයන් පාලනය කර තිබෙනවා. ආසාත්මිකතාවයන් පාලනය කිරීමේ මූලික කටයුත්ත ඇරඹෙන්නේ ඒ මගින් ඇති වන ක්‍ෂණික කම්පනය (Anaphylaxis) පාලනයෙන්. සරළ තත්ත්‍ව  බෙහෙත් මගින් පාලනය කෙරෙනවා. ප්‍රතිහිස්ටැමීන්, ග්ලූකොකෝටිකොකොයිඩ, ඇඩ්‍රිනලින්, තියෝෆිලීන් ආදිය මේවාට අයත්. ඖෂධීය නාමයෙන් වඩාත් ප්‍රචලිත බෙනඩ්‍රිල්, සර් ටෙක්, සහ එෆිනෙෆ්රින් මේවාට අයත් ඖෂධ වෙනවා. එසේම ඒ ඒ ආසාත්මිකතා සාධක ක්‍රමාණුකූලව ශරීරයට එන්නත් කිරීම මඟින් ස්වභාවික ප්‍රතිශක්තියක් ශරීරය තුළින්ම ගොඩනැංවීමේ Immunotherapy ප්‍රතිකාර ක්‍රමය දැන් දැන් වැඩි වශයෙන් අත්හදා බැලෙනවා. මෙමඟින් ඒ ඒ ද්‍රව්‍යවලට ඇති අධිසංවේදීතාවය අවම කිරීම හෝ නැත්තටම නැති කිරීමට පුළුවන්.

ඉතින් මෙසේ ඇතිවන ආසාත්මිකතා සමහර විට ගණන් නොගෙන සිටීමෙන් මඟහැරී යෑමට හැකිවාක් මෙන්ම ගණන් නොගැනීමෙන් මරණය අත්වන්නටත් පුළුවන්. විශේෂයෙන් රටකජු වැනි දේවලට ඇති ආසාත්මිකතා ඉතා භයානක වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් වෛද්‍යවරු බෙනඩ්‍රිල්, සර් ටෙක් වැනි බෙහෙත් නියම කරන්නේ ඒවා සරළ ආසාත්මිකතා සුවකරන නිසාවෙන්.

ඒ වගේම සමහරු නිතරම එෆිනෙෆ්රින් අඩංගු එන්නතක් ළඟ තබාගන්නේ ඔවුන් සමහර ද්‍රව්‍යයනට දක්වන දැඩි සංවේදීතාවය නිසා. මේ නිසා කවදාවත් කිසිකෙනෙකුට නො අසා කෑමක් දෙන්නට යන්න එපා. මා දන්නා කුඩා දරුවකු බිත්තර, මාළු, කිරි, ආහාර වර්ණක, රටකජු ආදී ඇට වර්ග සහ තිරිඟු පිටි ආහාරවලට ආසාත්මිකතා පෙන්වනවා. දිනක් ඇඟිලි පුරුකක් තරම් පොඩි කේක් කැබැල්ලක් ආහාරයට ගෙන පැයක් පමණ යනවිට ඔහු සිහිනොමැතිව ඇඟ නිල්පැහැ ගැන් වී සිටියා. හැකි පමණින් ඔහුව අවදි කර එවේලේම ඖෂධ ලබා දුන් පසු වමනය දමා පියවි සිහියට පැමිණියා. නිසි අවස්ථාවේ ඖෂධ ලබා නොදුන්නේ නම් ඒ දරුවා අද ජීවතුන් අතර නැති වන්නට පුළුවන්.

දැන් දැන් පාරිසරික සාධක වෙනස් වීම නිසා ලංකාවේ පවා ආසාත්මිකතාවයන් දකින්නට පුළුවන්. මේ ලිපිය ලියන මා පවා හරක්මස් සහ ඌරුමස්වලට ආසාත්මිකයි. මේ නිසා කිසිම කෙනෙකුට ඔවුන්ගෙන් නො අසා කිසිම ආහාරයක් දෙන්නට යන්න එපා. විශේෂයෙන් කුඩා දරුවන්ට ආහාර දීමේ දී ඔවුන්ගේ දෙමාපියන්ගෙන් දරුවා කිසිවකට ආසාත්මික දැයි ඇසිය යුතුමයි. දැන් දැන් වෛද්‍යවරුන් නම් බෙහෙත් නියම කිරීමේ දී රෝගියා යම් යම් ඖෂධවලට ආසාත්මික දැයි විමසනවා. එය ඉතා හොඳ පුරුද්දක්.

කිසිවෙක් ආසාත්මිකතාවයක් පෙන්වයි නම් ක්‍ෂණිකව කළ යුතු දෙයක් වන්නේ ප්‍රතිහිස්ටැමීන් ඖෂධයක් ලබා දීමයි. එවැන්නක් සොයා ගැනීමට අපොහොසත් නම්, පොල් වතුර හෝ තැඹිලි වතුර පෙවීමෙන් ටික වේලාවකින් ආසාත්මිකතාවය මඟහරවා ගැනීමට පුළුවනි. කෙසේ නමුත් රෝගියාගේ තත්ත්‍වය අසාධ්‍ය නම් පොල් වතුර වැනි දෑ පෙවීමෙන් වැළකිය යුතුයි.

ආසාත්මිකතා විහිළුවෙන් බැහැර කළ යුත්තක් නොවෙයි. ඒ පිළිබඳ අවදියෙන් සිටින්න. සමහරවිට ඔබටත් වෙනකෙකුගේ ජීවිතයක් බේරාගන්න මේ ලිපිය ආධාරයක් වේවි.

ආචාර්ය පියල් ආරියනන්ද

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *