SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

බදුල්ලට ජලය දෙන්න ඛනාට් වාරි උමගක්!

ගසක් කොළක් පෙනෙන තෙක් මානයේ නැති, සැතපුම් සිය ගණනකින් මෙපිට ගංගාවක් හෝ මිරිදිය ජලාශයක් නොමැති ඉරානයේ ඇතැම් නගරවල පුදුමය දනවන කරුණක් දැකිය හැකි ය. එනම් එම නගරවලට අවශ්‍ය තරමට පිරිසිඳු ජලය ලැබෙන බව ය. මීට වසර තුන්දහසකට පමණ පෙර සිට මැද පෙරදිග කාන්තරබද ජනාවාසවලට පිරිසිඳු ජලය ලබා දීමේ තාක්‍ෂණ කිහිපයක් පැවතුණි. අදටත් මේ ක්‍රම මගින් ඔවුන් තම ජල අවශ්‍යතා සපුරා ගනී. මින් එක් ක්‍රමයක් වන්නේ ඛනාට් (qanat) උමං මාර්ගයි.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල මතු පිට ජලය නොමැති වුවත් භූගත ජලය රැඳී පවතී. ඛනාට් උමං මාර්ගයකින් කෙරෙන්නේ ඉහළ භූමියක ඇති මෙම භූගත ජලය ගුරුත්වය යටතේ ඉතා කුඩා ආනතියක් සහිත උමං මාර්ගයක් ඔස්සේ ගොවිබිම් හෝ ජනාවාස කරා රැගෙන ඒමයි. ඛනාට් උමං මාර්ගයක් සෑදීම තරමක් විශාල ආයෝජනයකි. එහෙත් එහි ඵල සියවස් ගණනාවක් හෝ සහශ්‍රක ගණනාවක් මිනිසා භුක්ති විඳිනු ඇත. මෙහි වියදම සලකන විට මෙවැනි උමගකින් ජලය ලබාගැනීම සඳහා පැවතිය යුතු තත්ත්ව කිහිපයක් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය.

එනම්, පානීය ජලය සඳහා හෝ කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමාණවත් විශාල ගංගා හෝ වැව් නොමැති වීම, වර්ෂාපතනයෙන් පොහොසත් කඳුවැටියක් තරමක හෝ ආසන්නයේ තිබීම, මතුපිට ජලාශ හා ඇළ මාර්ගවල ජල ධාරිතාවයට විශාල වශයෙන් බලපෑම් කළ හැකි පරිදි මතුපිට සිදු වන වාෂ්පීකරණය සහිත වියළි දේශගුණය යන කාරණා ය.

සාමාන්‍යයෙන් පොළොවේ ඇති භූගත ජල ස්ථරය (water table) පිහිටි පාෂාණ ස්ථරයට (bedrock) ඉහළින් අවසාදිත පාෂාණ අතර පවතී. කඳුකර ප්‍රදේශයක දී එය පොළොව මතුපිටට ආසන්න වන අතර පහත් බිමක දී වඩා ගැඹුරින් පවතී. මෙම භූගත ජල ස්ථරයේ පිහිටුම භූ විනිවිද රේඩාරයකින් (ground penetrating radar) පහසුවෙන් නිර්ණය කළ හැකි ය. ඉපැරණි පර්සියානු තාක්‍ෂණවේදීන්ට මේ පිළිබඳව ඉතා ඉහළ දැනුමක් තිබී ඇති බව නව තාක්‍ෂණය ඔස්සේ කරන ගවේෂණවලින් පැහැදිලි වේ.

ඛනාට් උමගක ජලය ගලා යන අයුරු

ව්‍යාපෘතියේ මුල් කැණීම් සිදුවන්නේ කඳු බෑවුමේ භූගත ජල ස්ථරයට පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථානයකින් ලිඳක් හෑරීමෙනි. මෙය මූලික ලිඳ හෝ මව් ලිඳ (mother well ) ලෙස හැඳින් වේ. මෙම මූලික ලිඳ තුළින්, ලබා ගත හැකි ජල සැපයුම පිළිබඳව බොහෝ කරුණු සාක්ෂාත් කරගත හැකි ය. ඉන් පසු මුලික ලිඳේ සිට ජනාවාස දෙසට, තරමක් ඈතින් ඊ ලඟ ලිඳ හාරනු ලැබේ. මෙවැනි ලිං කිහිපයක්ම හෑරිය යුතු අතර ඒවා ප්‍රවේශ කුහර (access shafts) ලෙස හැඳින් වේ. මෙම ප්‍රවේශ කුහර මගින් ඛානට් උමග කැණීම මෙන්ම එහි නඩත්තුව ද පහසු කරවයි. ප්‍රවේශ කුහර එකින් එක යා කරමින් ජනාවාසය දෙසට උමග හාරාගෙන එනු ලැබේ. ඉන් අනතුරුව මූලික ලිඳේ පතුළහි සිට ඊට ලඟම පිහිටි ප්‍රවේශ කුහරයේ පතුළ යාවෙන පරිදි උමං කොටස හාරා ඛානට් වාරි මාර්ගය නිම කරනු ලැබේ.

ඛනාට් උමං මාර්ගයක් මගින් ජලය ලබා ගැනීම දීර්ඝ කාලීනව අගනා ආයෝජනයකි. එසේම එය විශ්වසනීය ජල සැපයුම් ක්‍රමවේදයකි. ඊට හේතු කිහිපයකි. ඛනාට් ජල උමන් මාර්ග භූ කම්පන, නාය යෑම්, ගං වතුර ආදී ස්වභාවික විපත්වලට එතරම් සංවේදී නොවේ. එසේම එය වර්ෂාපතනය මත රඳා නො පවතී. මේ නිසා දීර්ඝ කාලීන නියගයක දී වුවත් අවශ්‍ය තරමට ජල සැපයුම පවතී. තවද මෙහි දී විශාල වාරි ව්‍යාපෘතියක් සිදු නො කරන බැවින් භෞතික පරිසරයට, ජෛව ගෝලයට සහ මතුපිට ජල උල්පත්වලට වන හානිය අවම වේ. ඉරානයේ සහ ඉරාකයේ ඇති ඛනාට් උමං මාර්ගවලින් සැපයෙන ජලය ඉතා පිරිසිඳු, පානීය තත්වයේ පවතී. අවසාදිත පාෂාණ ස්ථරවල ගෙන්දගම් සාන්ද්‍රණය අධික නම් හෝ බැර ලෝහ ඇත් නම් පමණක් මෙම ජලය භාවිත කිරීම අන්තරාදායක විය හැක. මේ බව රසායනික විද්‍යාත්මක පර්යේෂණයක් මගින් පහසුවෙන්ම සොයා ගැනීමට පුළුවන.

වසර දහස් ගණනකට පෙර පටන් පැවත එන තාක්ෂණයක් බැවින් මෙහි අහිතකර ප්‍රතිඵල ඇත්නම් ඒවා මේ වනවිට මිනිස් දැනුම් සම්භාරයට එකතු වී තිබෙනු ඇත. කෙසේ නමුත් නව පරිසර සහ භූගෝලීය පද්ධතියකට මෙවන් ක්‍රම වේදයක් හඳුන්වා දීමේ දී, මනා ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඉතා කල්පනාකාරීව ව්‍යාපෘතිය සැලසුම් කළ යුතු ය.

ලංකාවේ මධ්‍යම කදුකරයේ නැගෙනහිර බැවුම්වල ඇති බදුල්ල, මොණරාගල වැනි දිස්ත්‍රික්කවල මේ ක්‍රමවේදය යොදා ගැනීම සඳහා අධ්‍යනයක් කිරීමට අපි යෝජනා කර සිටිමු. එසේම උතුරු මැද පළාතේ ඇති හුදෙකලා කඳු ගැට ආශ්‍රිතව ද ඛානට් උමං මගින් ජලය ලබා ගැනීමේ ශක්‍යතාවයක් පැවතිය හැක. එකවරම මෙගා ව්‍යපෘතිවලට ආයෝජනය නොකර මෙවැනි කුඩා පරිමාණ ක්‍රමවේද කෙරේ අවධානය යොමු කිරීම සමහර විට ඉතා සුබදායක ප්‍රතිඵල අත් කර දෙනු ඇත.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda
Universiti Putra Malaysia Uppsala University
Selangor, Malaysia
Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC

One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer

Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc)

Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *