SciTech Publishing Corporation (Pvt) Ltd.
විදු වැකිය

අතීතය දකින රේඩාරය හොරුන්ගේ අතට යයි ද?

වර්ණවත් සරමක් සහ කමිසයක් හැඳගත් කඩවසම් තරුණයෙක් රුපවාහිනී කැමරාව ඉදිරියේ ගල්තලාවක් මත හිඳගෙන සිටියි. ඔහු ඈත කදු වළල්ලක් පෙන්වමින් ගැඹුරු හඬින් කතා කරයි.

“රාවණාගේ දේහය මිහිදන් කර ඇත්තේ අතන. අර කඳු පවුරෙන් වසා ගෙන ඇත්තේ රාවණාගේ මාලිගාවයි. පුලස්ති සෘෂි වරයාගේ බෙහෙත් වට්ටෝරු නිදන් කොට ඇත්තේ මෙතැනයි”. තරුණයා ප්‍රාග් ඓතිහාසික යුගයක් තම දෑසින් දුටුවාසේ පවසයි.

උපකරණය ක්ෂේත්‍රෙය් භාවිත කරන අයුරු

පසුගිය වකවානුව පුරා මෙවැනි වැඩසටහන් මාලා රාශියක් විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය විය. මහාවංශය ඉක්මවා ගිය දීර්ඝ ඉතිහාසයක් පිළිබඳව ඔවුහු නොයෙකුත් දේ ප්‍රකාශ කළහ. මෙහි රසවත් අංගය නම් මේ ප්‍රකාශකයන් බොහෝ දෙනෙක් පුරා විද්‍යාව හෝ විද්‍යාත්මක ගවේෂණ පිළිබඳව මෙලෝ හසරක් නොදැන සිටීමයි. ඔවුන් මෙම කරුණු හෙළි කරන්නේ ගුප්ත ක්‍රමවේද, භාවනා ක්‍රම හෝ අධි මානසික බලය මගින් බවය ඔවුන් පවසන්නේ. වැඩසටහන් මෙහෙයවන්නන්ගේ නිර්මාණශීලිත්වය හේතුවෙන් නරඹන්නා තාවකාලිකව ලබන වින්දනයෙන් ඔබ්බට මෙම ප්‍රකාශවලින් මෙතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ඇති වී ඇත්දැයි අපි නොදනිමු.

බිම් විනිවිද රේඩාරය (Ground Penetrating Radar) පිළිබඳව අද අප කරුණු ගෙන එන්නේ මේ පසුබිම තුළ ය. කෙටියෙන් යමක් පවසා මෙම සාකච්චාවට අවතීර්ණ වනවා නම් කිව හැක්කේ “ඉතා නුදුරු අනාගතයේ දී අප දන්නා ඉතිහාසය උඩු යටිකුරු විය හැකි බවයි”. ඒ කිසිඳු පදනමක් නොමැතිව පේන කීමෙන් නොව නිරීක්ෂණ ප්‍රයෝගිකව තහවුරු කළ හැකි ක්‍රමවේදයක් මගිනි.

බිම් විනිවිද රේඩාරය රේඩියෝ තරංග, ක්ෂුද්‍ර තරංග සංඛ්‍යාත පරාසයේ ඇති ස්පන්දක භාවිත කරමින් පොළොව අභ්‍යන්තරය නිරීක්ෂණය කළ හැකි භූ භෞතික (geophysical) උපකරණයකි. මෙය පුරා විද්‍යාවට පමණක් අදාළ වන තාක්ෂණයක් නොවේ. පොළොව මතුපිට සිට අඩි 100ක් පමණ ගැඹුරකට ඇති තල ස්කෑන් කිරීමට මෙම උපකරණයට හැකි ය. ඉන් පසු එම දත්ත ද්විමාණ හෝ ත්‍රිමාණ වීඩියෝ පටයක් ලෙස ඔබට දැකිය හැක. මෙය අධි ධ්වනි (ultra sound) තරංග මගින් කුසේ සිටින ළදරු කළලය ස්කෑන් කිරීමට බොහෝ සෙයින් සමාන ය. විද්‍යුත් චුම්බක තරංග අධාරයෙන් සිදුකෙරෙන සියලුම ස්කෑන් ක්‍රමවේද මෙන්ම මෙහිදී ද නිරීක්ෂණය කළ හැකි ගැඹුර සහ ලබාගත හැකි විස්තරාත්මක බව (resolution) ප්‍රතිලෝමව ගැලපේ. එනම් වඩා ගැඹුරක් නිරීක්ෂණය කිරීම සඳහා අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග භාවිත කළ යුතු අතර එවිට නිරීක්ෂණය කරන වස්තුවේ විස්තරාත්මක බව අඩු වෙයි. වස්තුව විස්තරාත්මකව නිරීක්ෂණය කිරීම සඳහා සංඛ්‍යාතය ඉහළ තරංග යොදා ගත යුතු අතර එවිට තරංගය ගමන් කරන ගැඹුර අඩුවෙයි.

මෙමගින් භූගත ජල ස්ථරයේ (underground water table) සහ බිම් පාෂාණ ස්ථරයේ (bedrock) විස්තර, මතුපිට පසෙහි ස්වභාවය, කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ගොඩනැගිලි, උමන් මාර්ග, තෙල් නළ, වාහන, පුරා වස්තු, මිහිදන් කළ මිනිස් සිරුරු, අවි ආයුධ සහ පුපුරා නොගිය බෝම්බ ආදිය මැනවින් නිරීක්ෂණය කළ හැක. මීට අමතරව ගොඩනැගිළි, මහාමාර්ග, පාලම් ආදියෙහි පාදමට යටින් ඇතිවන ඉරිතැලීම් සහ පිපිරීම් මෙන්ම පාදමෙහි යම් යම් කොටස්වල කාලයත් සමග සිදුවන වෙනස්කම් සහ අස්ථාන ගත වීම් ද සොයාගැනීමට බිම් විනිවිද රේඩාරයට හැකියාව තිබේ. සිරස්ව පහළට ඇති ස්තර පමණක් නොව කඳු ගැට, වැසුණු ගොඩනැගිලි, ස්මාරක ආදිය තිරස්ව නිරීක්ෂණය කිරීමට ද මෙම උපකරණයට හැකි ය.

බිම් විනිවිද රේඩාරයක්

ඉහත කරුණු අනුව පෙනී යන්නේ බිම් විනිවිද රේඩාරය කෘෂිකර්ම, ජල විද්‍යා (hydrology), යුද හමුදා, සිවිල් ඉංජිනේරු, පුරා විද්‍යා ආදී කටයුතු රාශියකට උපකාරී වන බවයි. ලොව බොහෝ රටවල පරිසර ශක්‍යතා අධ්‍යයනවල දී බිම් විනිවිද රේඩාරය දැන් අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. උමා ඔය ව්‍යාපෘතිය වැනි මතබේදයන්ට ලක්ව ඇති ක්‍රියාවලියක දී මෙම උපකරණයේ සහය ලබා ගත්තා නම් ඇතැම්විට ශක්‍යතා අධ්‍යන වාර්තාව මීට වඩා වෙනස්වන්නට ද ඉඩ තිබුණි.

අප නැවතත් පුරා විද්‍යාව දෙසට හැරෙමු. මෙතෙක් ලංකාවේ පුරා විද්‍යාත්මක ගවේෂණ සඳහා නවීණ ක්‍රමවේදයක් ලෙස යොදා ගන්නේ චන්ද්‍රිකා තාක්ෂණයයි. මෙහිදී චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කිරීම මගින් බිම් මට්ටමේ කෙරෙන කැනීම් කටයුතු සඳහා වඩාත් නිවැරැදි තොරතුරු ලබා ගනී. මේ වන විට ලොව සමහර රටවල ඉතා වේගයෙන් ප්‍රචලිත වන ලිඩර් තාක්ෂණය (Lidar: Light Detection and Ranging) ලංකාවේ යොදාගන්නවා දැයි අපි නොදනිමු. ලීඩර් තාක්ෂණයේ දී සිදු කෙරෙන්නේ පොළවට ආසන්නයෙන් පියාසර කරන ගුවන් යානයක් මගින් ලේසර් තරංග යොදාගෙන භූමිය විශ්ලේෂණය කිරීමයි. මෙය චන්ද්‍රිකා තාක්‍ෂණයට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් පවතී. ලීඩර් තාක්‍ෂණය උපයෝගී කරගෙන කාම්බෝජයේ පසෙන් සහ වනාන්තරයෙන් වැසුණු පෞරාණික නගර කිහිපයක් සොයාගැනීම පසුගිය කාලයේ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියට පත්වූ පුරා විද්‍යා පුවතක් විය.

මීට වසර කිහිපයකට පෙර ලීඩර් තාක්‍ෂණය ඉතා වියදම්කාරී ක්‍රමවේදයකි. ඊට හේතුව වූයේ මේ සඳහා පියාසර කාලය ලබාගැනීමට සැලකිය යුතු මුදලක් ගුවන් සමාගමකට ගෙවිය යුතු වීමයි. එහෙත් ඩ්‍රෝන තාක්‍ෂණය වැඩි දියුණු වීමත් සමගම ලේසර් ස්කෑන් උපකරණ ඩ්‍රෝනයක සවිකර පියාසර කරවීමට විදු නෙත යොමු වී ඇත. මේ සමගම මෙම ක්‍රමවේදය සඳහා වැය කලයුතු මුදල විශාල වශයෙන් අඩු වී ඇත.

බිම් විනිවිද රේඩාරය වරකට ආවරණය කරන්නේ කුඩා බිම් කඩකි. එබැවින් බිම් විනිවිද රේඩාරයක් භාවිත කිරීමට පෙර චන්ද්‍රිකා හෝ ලීඩර් තාක්‍ෂණය උපයෝගී කරගෙන පුරා විද්‍යා බිම් කඩ හඳුනා ගැනීම සිදු කළ යුතු ය. නො එසේ නම් කලින් හඳුනා ගෙන ඇති පුරා විද්‍යා බිමකට මෙය යොදා ගත හැක. මෙම ක්‍රමවේදයේ ඇති වැදගත්ම ප්‍රයෝජනය වන්නේ කැනීම් සිදු කිරීමට පෙර නිරාවරණය කරගැනීමට නියමිත වස්තුවේ ස්වභාවය සහ හැඩතල පිළිබඳව මනා දැනුමක් පුරා විද්‍යාඥයාට ලබා ගත හැකි වීමයි. මේ නිසා පුරා වස්තුවට කිසිඳු හානියක් නොවන පරිදි එය මතු කරගැනීමට හැකිවෙයි.

මෙම ක්‍රමවේදයේ තවත් වැදගත් අංගයක් වන්නේ පුරා වස්තුවක් ඉවතට ගන්නේ නැතිව එය පිළිබඳව අධ්‍යනය කළ හැකි වීමයි. උදාහරණයක් ලෙස පෞරාණික දාගැබක ගර්භයේ ඇති සියලු දෙය මෙම තාක්‍ෂණය මගින් නැරඹිය හැක. බොහෝ විට මෙම නිරීක්ෂණ ඉතිහාසය නැවත ලිවීමක් දක්වා විහිදෙනු ඇත.

පෘථිවියේ පමණක් නොව චන්ද්‍රයාගේ මතුපිට පසෙහි සැඟ වී ඇති වස්තු නිරීක්ෂණය කිරීමට ද බිම් විනිවිද රේඩාර් තාක්‍ෂණය දැන් උපයෝගී කරගනියි. වසර 2013 දී ගුවන් ගත කළ මිනිසුන් රහිත යුටූ (Yutu) නමැති චන්ද්‍ර රෝවරයේ ද බිම් විනිවිද රේඩාරයක් සවි කර ඇත.

මෙහිදී එක් වැදගත් කරුණක් පිළිබඳව විශේෂයෙන්ම අදාළ බලධාරීන්ට මතක් කරදීමට අපි කැමැත්තෙමු. ලෝකයේ සමහර රටවල නිදන් හාරන්නන් ලෝහ අනාවරක (metal detectors) රැගෙන ගිය කාලය දැන් ඉකුත් වී තිබේ. ඒ තැන දැන් බිම් විනිවිද රේඩාරය අත් කරගනිමින් පවතී. තවමත් මෙම උපකරණය රිසි සේ භාවිත කිරීමට නිදන් සොරුනට ඇති බාධක වන්නේ එම උපකරණයේ දැනට පවතින අධික මිලත්, එය භාවිත කිරීමට තිබිය යුතු තාක්‍ෂණික දැනුමත්ය. එහෙත් අවශ්‍යතාවය අනුව ඔවුන් මෙම බාධක ජයගන්නවා ඇත.

ලෝහ අනාවරකය මෙන් නොව බිම් විනිවිද රේඩාරය මගින් පොළොව යට සැඟවූ මුදල්, මිනි මුතු, පිඟන් මැටි සහ කිරි ගරුඬ පිළිම, වැනි ලෝහ නොවන වස්තූ පවා පහසුවෙන්ම සොයා ගත හැක. ලංකාව කවදත් නිදන් සොරුනට පාරාදීසයක් වූ රටකි. බිම් විනිවිද රේඩාරය පිළිබඳව අසාවත් නැති කාලයක සිට අපගේ වටිනා පුරා වස්තු ගොඩගනිමින්, විනාශ කරමින් සහ රටින් පිට කරමින් සිටින බව ප්‍රචලිත රහසකි. එබඳු පසුබිමක බිම් විනිවිද රේඩාරය ඉතිහාසය මට සිලිටු කළ හැකි අගනා තාක්‍ෂණයක් වනවා වෙනුවට ඉතිහාසය අළු දුහුවිලි කරන භයානක අවියක් ද විය හැකි ය. මේ නිසා මෙම උපකරණ රට තුළට ආනයනය කිරීම සීමා කිරීමට කඩිනමින් පියවර ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

සමහර විට දැනටමත් අප පමා වුවා විය හැක.

Professor of Engineering, UPM, Malaysia and Chief Advicer, ACLENet, Uganda Universiti Putra Malaysia Uppsala University Selangor, Malaysia Consultant for a large number of companies in many parts of Asia in Lightning and Transient Protection, Grounding & Bonding, and EMI/EMC One of the Leading Trainers in Lightning Protection and Electrical Safety in Asia and an experienced Engineering Consultant, Professor of Engineering and Physics and a writer Specialties: Inspection, Designing and installation of Lightning Protection and Grounding systems for Structures, High risk installations (Petrochemical, explosive, defence etc.), Electrical and electronic systems (surge protection), LV, MV and HV power systems,Special cases (windmills, hydro-power, water vessels, recreation units etc) Training Programs and workshops on Lightning and Surge Protection, Risk assessment and management, Grounding and Bonding, and Power system Protection.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *