SciTech Publishing Corporation (Pvt) Ltd.
Books

අයින්ස්ටයින් – ජීවිතය සහ සිද්ධාන්ත

විද්‍යාඥයකුගේ ජීවන වෘත්තාන්තයක් කෘතියක් හැටියට එළිදැකීම, යම් වැදගත්කමකින් යුක්ත වෙයි. යම් හෙයකින් එම කෘතිය විද්‍යාඥයාගේ විද්‍යා ජීවිතය ද සම සේ හාරාවුස්සන්නට පෙලඹේ නම්, එහි වැදගත්කම ඉහළ යයි.
මෙකී විද්‍යා ජීවිතය දැකිය හැකි වන්නට නම්, කෘතිය රචනා කරන කවර කෙනකු හෝ එම ක්ෂෙත‍්‍රයෙහි ලා ප‍්‍රාගුණ්‍යයක් වඩා සිටීම අත්‍යවශ්‍ය ය. විද්‍යාඥයකු විසින් ලියනු ලබන විද්‍යාඥ චරිතාපදානයක් යනු එබඳු කෘතියකි. එබන්දක් සිංහල බසින් පළ වීමට තිබෙන භව්‍යතාව ම කොතරම් අල්පදැ යි සිතාගැනීම අපහසු නො වේ. ජ්‍යෙෂ්ඨ සෙද්ධාන්තික භෞතික විද්‍යාඥවරියක වන මහාචාර්ය විජේවර්ධන ගමලත් විසින් රචිත ‘අයින්ස්ටයින්: ජීවිතය සහ සිද්ධාන්ත’ යනු, එබඳු දුලබ ගණයේ කෘතියකි.
විද්‍යාඥයකුගේ හෝ ගණිතඥයකුගේ සොයාගැනීම්, සිද්ධාන්ත සහ සූත‍්‍රාදිය, විද්‍යා පාඨග‍්‍රන්ථවල සහ ශාස්ත‍්‍රීය පත‍්‍රිකාවල එයි. විද්‍යාඥයාගේ ජීවන තොරතුරු, සිතුම්-පැතුම් සහ ඔහු අළලා ගෙතුණු සරදම් කථාදිය, ජනප‍්‍රිය සඟරාවල එයි. එහෙත් මේ දෙකෙන් එකක් හෝ සමස්ත චිත‍්‍රය අප හමුවේ නො තබයි.
නිදසුනක් ලෙස, ආකිමිඞීස් ව සිය අසිරිමත් නියමය මතකප‍්‍රාප්ත කරන්නට පෙලඹවූ මනසිකාරයට එබී බලන්නට අවශ්‍ය නම්, ඉපිලූම් නියමයෙහි ගණිත සංකේත පමණක් නො ව, දිය රැුළි ද – නාන බේසම ද අප විසින් දැකිය යුතු වේ. මේ වනාහි, භෞතික විද්‍යා පාඨ ග‍්‍රන්ථවලින් හෝ ජනප‍්‍රිය කථා ප‍්‍රවෘත්තිවලින් හෝ නො පියවිය හැකි හිඩැසකි. විද්‍යාඥ චරිතාපදානයක් ලියන කවරකු අතින් හෝ පිරවිය යුත්තේ, සමස්ත චිත‍්‍රය දැකීමෙන් අප වළක්වා සිටින බාධකය වන මෙම රික්තය යි.
එහි දී අතිශයෝක්තියට නො වැටී සිටීම ඉතා වැදගත් වේ. නිරවද්‍යතාව රැකගැනීම ද සම සේ වැදගත් වේ. මෑතක ජනප‍්‍රියතාවට පැමිණි ‘බියුටිෆුල් මයින්ඞ්’ වැනි චරිතාපදාන සිනමාපට පවා මෙකී තාක්ෂණික නිරවද්‍යතාව ගැන සැලකිලිමත් නො වූ බව මඳක් විමසීමේ දී පෙනී යයි. මහාචාර්ය ගමලත්ගේ කෘතිය, ඉහළ නිරවද්‍යතාවකින් යුතු ව, කිසිදු අතිශයෝක්තියකට නො වැටී, අයින්ස්ටයින්ගේ ජීවන වෘත්තාන්තය ද, ඔහුගේ සිද්ධාන්ත ද පාඨකයාට ඉදිරිපත් කරයි.
මිථ්‍යාව දුරු කිරීම විද්‍යාඥයාගේ කාර්යයකැ යි යමකු සලකන්නේ ද, ‘විද්‍යාඥයා’ පිළිබඳ මිථ්‍යාව දුරු කිරීම, එපමණට ම, චරිතකථා රචකයකුගේ කාර්යයක් වෙයි. විද්‍යාව යනු සර්වව්‍යාපී සංශුද්ධ යමක් ලෙස ගත් විට හෝ විද්‍යාඥයා යනු සර්වදෘෂ්ටික ඥානය සහිත ඉන්ද්‍රජාලිකයකු ලෙස සැලකූ විට හෝ සිද්ධ වන්නේ, එක් වචනයක් තවත් වචනයකින් ප‍්‍රතිස්ථාපනය වීම මිස, විචාරාක්ෂියකින් විමසාබැලීමක් නම් නො වේ.
මධ්‍යතන යුගයේ දී මනුෂ්‍යයාගේ කුහුල් සිත පිනවනු ලැබුණේ, මායාකාරයා පිළිබඳ අරුම කථාප‍්‍රවෘත්ති විසිනි. මායාකාරයා පහන පිරිමදින විගස භූතයා එහි ප‍්‍රාදුර්භූත වන බව මිස – මායාකාරයා රහස් වදනක් මිමිණුව විගස ගල් ලෙනෙහි දොර විවර වන වග මිස, එම ක‍්‍රියාවන් කෙසේ නම් සිදු වී ද යන වග ඒ ප‍්‍රවෘත්ති අසා සිටි පැරණි මනුෂ්‍යයාට වැදගත් නො වී ය. ජනමාධ්‍යයෙහි නැඟීමත් සමඟ, නූතන යුගයේ දී විද්‍යාඥයාට අත් කරගන්නට සිද්ධ වී තිබෙන්නේ, අර මධ්‍යකාලීන මායාකාරයා මිය යෑමෙන් ඇති වූ සමාජ රික්තය නො වේදැ යි විමසා බලන්නට වටී.
මේරි ෂෙලීගේ ‘ෆ‍්‍රෑන්කස්ටයින්’ ප‍්‍රබන්ධය, මායාකාරයාගෙන් විද්‍යාඥයාට මේ භූමිකාව මාරු වීමේ සංක‍්‍රාන්ති කාලය නිරූපණය කරයි. සාපේක්ෂතාවාදී සිද්ධාන්ත ඉදිරිපත් කොට සියවසක් පමණ ගත වීමෙන් පසුත්, අයින්ස්ටයින් නමැති විද්‍යාඥයාට ෆ‍්‍රෑන්කස්ටයින් වැනි මායා ජීවියකුගේ සළු හැඳ ඉන්නට සිදු වීම, අයින්ස්ටයින් කොතරම් බුද්ධි ප‍්‍රභාවකින් යුක්ත වූයේ ද යන්න පමණක් නොව, මිනිස් වර්ගයා සමස්තයක් හැටියට මේ සියවස තුළ ද පුරුදු කළුවරෙහි ම ගැලී සිටිය වග ද හෙළි කරයි.
බුද්ධි ප‍්‍රභාව සහ විද්‍යා-ගණිත ක්ෂෙත‍්‍රයන්හි ප‍්‍රගමනයට දායකවීම් අතින් අයින්ස්ටයින්ට නො දෙවෙනියැ යි සැලකිය හැකි වොන් නොයිමාන් වැන්නකු වටා එබඳු සමාජ ප‍්‍රතිරූපයක් ඉදි නො වූ බව ද මෙහි ලා සලකනු වටී. ඒ අනුව, ජනකාන්ත මූලාශ‍්‍ර විසින් අතිශයෝක්තියට නංවනු ලැබූ අයින්ස්ටයින් නම් මනුෂ්‍ය-විද්‍යාඥ චරිතය, නිසි ගැඹුරින් යුතු ව, නිසි අයුරින් ඉදිරිපත් කිරීම වනාහි, අභියෝගයකි. මහාචාර්ය ගමලත් අත පොවා ඇත්තේ එම භාරධූර කාර්යයට ය.
විශේෂ සාපේක්ෂතාවාදය, සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ පෞරාණික කොන්ටම් න්‍යාය යන විෂයක්ෂෙත‍්‍රයන්හි ලා අයින්ස්ටයින්ගේ දායකත්වය ඉතා නිරවද්‍ය ව සහ සවිස්තර ව මෙම කෘතියෙහි ලියැවී තිබේ. කොන්ටම් න්‍යායෙහි වඩා නූතන විවරණ අරබයා අයින්ස්ටයින් තුළ වූ සියුම් විරෝධය ද එහි දාර්ශනික පැතිකඩ ද මැනැවින් විස්තර කෙරේ.
කෙසේ වුවත්, මෙම කෘතියෙහි නමට අනුගත පරිදි ම එය ‘ජීවිතය’ සහ ‘සිද්ධාන්ත’ ලෙස කොටස් දෙකකට වෙන් කොට ඉදිරිපත් කිරීම නිසා, අඟුරුත් පුළුනුත් දෙපසකට කර තැබුවා සේ, දැල්වෙන්නට හැකි ව තිබුණු ඇතැම් සියුම් ම පුලිඟු නො දැල්වී තිබෙනු දැකිය හැකි ය. ඇතැම් තැනෙක එන භාෂා සංකූලතා කිහිපය ද මඟහරවාගත හැකි වී නම් වඩාත් අගනේ ය. එසේ වී නම්, විද්‍යාව සහ දර්ශනය එකිනෙක මත වැටෙන අසිරිමත් ඡේදන කලාපය හොඳ හැටි එළිය කරගන්නට තිබිණ.
විද්‍යාවේත් දේශපාලනයේත් ඡේදන කලාපය නම්, සෑහෙන දුරට එළිය වී තිබේ. වරක් ජර්මානු විද්‍යාඥ ගුරුකුලයක් විසින් යුදෙව් විද්‍යායැ යි ගර්හා කොට අයින්ස්ටයින්ගේ ඉදිරිපත්කිරීම් පිළිකෙව් කළ අන්දම ද, ඔහුගේ ඇමරිකානු සංක‍්‍රමණය ද, නිරාගමික යුදෙව් රාජ්‍ය ආස්ථානය සේ ම දෙවන ලෝක යුද්ධය ද යන සියල්ල, විද්‍යා දේශපාලනයේ ගතිසොබා තේරුම් ගන්නටත් – යළි හැරී පසුගිය සියවස කෙරෙහි විවේකී බැල්මක් හෙළන්නටත් අප පොලඹවයි.
මැදහත් සිතින් – පැසුණු සිතින් ඉදිරිපත් කොට ඇති අයින්ස්ටයින්ගේ ජීවනප‍්‍රවෘත්ති, කිසියම් ජීවිතාවලෝකනයකට ද අප පොලඹවයි. මහත් ප‍්‍රභාවකින් හෙබි උපරි-මනස දරා සිටි සිරුර, අප සිරුරු සේ ම, වෙරළෙහි සරන – වයලින් වයන – වරදෙහි බැඳෙන එකකැ යි අපට මතක් කර දෙයි.
අයින්ස්ටයින්ගේ භූමිකාව මෙසේ පැති කිහිපයකින් විමසා බලන්නට විශ්වසනීය දොරටුවක් විවර වීම, සතුටට කාරණයකි. එම දොරටුවෙන් වැසී තිබෙන අසිරිමත් ඥානෝද්‍යානයට පිවිස, එහි අනඟි ඵල භුක්ති විඳින්නට සිංහල පාඨකයාට සම අවස්ථා ලැබීම ද සතුටට කාරණයකි.
– ආචාර්ය අනුරාධ මහසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *